දැඩි මහජන විරෝධය හමුවේ මන්ත්‍රී වාහන ගෙන්වීමත් රිවස් වෙයි !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රජයේ උසස් නිලධාරීන් සඳහා ජපානයෙන් ඇනවුම් කර තිබු සුඛෝපභෝගී වාහන ගනුදෙනුව අවලංගු කර ගැනීමට මුදල් අමාත්‍යාංශය, ජපාන සැපයුම්කරු සමග කළ සාකච්ඡා සාර්ථක වී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

අති සුඛෝපභෝගී වාහන 399 ක් ජපානයෙන් ඇනවුම් කොට තිබු අතර එයට මුදල් ගෙවීමට ලංකා බැංකුව මගින් ණයවර ලිපි ද නිකුත් කොට තිබිණි. සැපයුම්කරුගේ කැමැත්තකින් තොරව ගනුදෙනුව අවලංගු කළ නොහැකි තත්ත්වයට පත්ව තිබිණි.

මේ පිලිබඳ විමසීම්වල දී හෙළිදරව් වුයේ කැබිනට් තීරණ ලැබෙන්නටත් පෙර මුදල් ගෙවා ඇති බව යි.

මේ මොහෙතේ කොවිඩ් වසංගතය මැද සහ ආර්ථික අර්බුදය හමුවේ ගොවිතැනට අවශ්‍ය පොහොර ගෙන්වීම පවා නතර කොට තිබිය දී මෙලෙස මන්ත්‍රීවරුන් සඳහා වාහන ගෙන්වීම ගැන විශාල මහජන විරෝධයක් ප්‍රකාශ වී ය.

එම සංවාදයේ දී හෙළිදරව් වුයේ ගනුදෙනුව අවලංගු කළ නොහැකි පරිදි ණයවර ලිපි කලින් ම නිකුත් කොට ඇති බව යි.

කෙසේ වෙතත්, කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කොට ඇත්තේ මුදල් අමාත්‍යාංශය ජපාන සැපයුම්කරු සමග කළ සාකච්ඡා මගින් ප්‍රශ්නය විසඳා ගත හැකි වී ඇති බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *