නව ව්‍යවස්ථාව යථාර්තයක් කරන්නට ආණ්ඩුව පෙරමුණ ගතයුතු ය- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

පසුගියදා පාර්ලිමේන්තුවෙන් අනුමතවූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදන කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් නොවේ. මෙතන ව්‍යවස්ථාදායක සභාවක් යනුවෙන් එකක් නැත. අනුමත වී තිබෙන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයකි. ව්‍යවස්ථාදායක සභාවක් යන වචනයෙන් ඇගවෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කිසියම් සභාවක් පත්කළ බව කි. මෙතනදී වූයේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්වීම ය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඊයේ සභාපති මණ්ඩලයක් මෙන්ම මෙහෙයුම් මණ්ඩලයක් පත්කර ගත්තේ ය.
අනුකමිටු පත්කිරිම ඊ ළග පියවර වේ. මක් නිසා ද යත් මෙහෙයුම් කමිටුවට මේ සියල්ල කළ නොහැක. මේක වඩාත් කාර්යක්ෂම ව කරන්නට හැකි වන්නේ අනුකමිටු තිබුණොත් පමණි. මේ අනුකමිටු සියළුම දේශපාලන පක්ෂවල සාමාජිකයින් ඇතුළත්වන ආකාරයට සකසනු ලැබේ. අනුකමිටුවල කාර්ය වන්නේ තමන්ට පැවරෙන විෂය ගැන සාකච්ඡාකර නිර්දේශ ඉදිරිපත් කිරීම ය. අනුකමිටුවලට ඒ ඒ විෂයන් පිළිබඳ කටයුතු කිරීමට භාරදීමට නියමිත ය. උදාහරණයක් ලෙස මූලික අයිතිවාසිකම් ගතහැක. ඒ කමිටුව එම විෂය ගැන අවධානය යොමුකර අවශ්‍ය නම් විශේෂඥ දැණුම ලබාගෙන, තම කමිටුවේ නිර්දේශය ඉදිරිපත් කරනු ඇත. ඒ ආකාරයට අනුකමිටු කීයක් පත්කරනවා ද යන්න තවම තීරණයක් ගෙන නැත. ඒ අනුකමිටුවල වාර්තා ගැන සළකා බලා තමයි අවසාන කෙටුම්පත හදන්නේ. මේ මාසය අග වනවිට මහජන අදහස් විමසීමේ කමිටුවේ වාර්තාව ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එම වාර්තාව හා එහි නිර්දේශ සැළකිල්ලට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නැවත මැයි මුල දී රැස්වෙන්නට තීරණය කර තිබේ. මෙහෙයුම් කමිටුව නැවත අප්‍රේල්මස 28වෙනිදා රැස්වීමට නියමිත ය. ඊට පසුවයි ව්‍යවස්ථා සම්පාදන ක්‍රියා වලිය ඉදිරියට යන්නට නියමිතව තිබෙන්නේ.
මෙය කොතරම් කාලයකින් අවසන් කරන්නේ ද යන්න දින නියමයක් නැති නමුත් හැකි ඉක්මණික් නිමා කළයුතු ය. මක් නිසා ද යත් මේවා පිළිබඳව දැන් වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා කර තිබේ. විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම ගැන 1978 සිට කථාකර තිබේ. බලය බෙදා හැරීම පිළිබඳව 1982 සිට කථාකර තිබේ. සර්ව පාක්ෂික සමුළුවේ වාර්තාව තිබේ. මංගල මුණසිංහ කමිටුවේ වාර්තාව ඇත. ඒ නිසා අලුතෙන්ම පටන් ගන්නට දෙයක් නැත. ඒ නිසා මේක තව තවත් ඉදිරියට ඇදගෙන යන්නට අවශ්‍ය නැත. ඒ වගේම අද තිබෙන්නේ හවුල් ආණ්ඩුවකි. ප්‍රධාන පක්ෂ සියල්ල මේකට සහයෝගය ලබාදේ. මෙහෙයුම් කමිටුව පත්කර තිබෙන්නේ ද ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ද සාමාජිකයින් ඇතුලත්වන ආකාරයට ය. කෙසේ නමුත් සභාගයක සිටියත් පක්ෂ අතර ආතතියක් තිබීම වැළැක්විය නොහැක. ඒ ආතතීන් වැඩි වෙන්නට පුළුවන. ඒ සමගම සම්බන්ධතා කඩා වැටෙන්නට මෙන්ම ශක්තිමත් වන්නට ද ඉඩ තිබේ. ඒ නිසා මේක ඉක්මණින් කරගන්න තරමට යහපත් ය. ප්‍රභූ පංතියේ සමහර කොටස් මේ ගැන වසර ගණන් සාකච්ඡා කිරීමට කැමති ය. ඔවුන්ට මෙහි ඇති දේශපාලනය තේරෙන්නේ නැත. ඉතාමත් හදිසියේ මෙය අනුමත කළයුතු බව මෙයින් නොකියැවෙන අතර ඕනෑවට වඩා මේ කාර්ය දික්ගැස්සීම හොඳ නැති බවයි මෙයින් කියන්නේ.
සාකච්ඡාවේ දී තමයි නව ව්‍යවස්ථාවේ හැඩරුව සහ අන්තර්ගතය තීරණය වන්නේ. ඒ ඇරෙන්නට ආණ්ඩුවෙන් මේකට කිසිදු මග පෙන්වීමක් ලැබෙන්නේ නැත. මෙහිදි විරුද්ධ පක්ෂය නව ව්‍යවස්ථාව පිළිබඳ ඒ අයගේ අදහස් ඉදිරිපත් කරන අතර ආණ්ඩු පක්ෂය හැටියට අපේ අදහස් අපි ඉදිරිපත් කරන්නෙමු. හැම දෙයක් සම්බන්ධයෙන්ම එකගතාවයක් නැති බව කාටත් පැහැදිළි වියයුතු ය. නමුත් සමහර කරුණූ සම්බන්ධයෙන් එකගත්වයක් ඇති කරගන්නට පුළුවන. ඒ ආකාරයට පළවෙනි කෙටුම්පත සකස්කර, කෙටුම්පත විවාදකර, ඒ විවාදයේදි මතුවන කරුණු අනුව නැවත සංශෝධන සහිතව තමයි අවසාන කෙටුම්පත සකස් කරන්නට වෙන්නේ.
මෙහිදි ජාතික ප්‍රශ්නය මේ රටේ ඇති ප්‍රධාන ප්‍රශ්නයකි. ඒ නිසා සියලු දෙනාටම පිළිගතහැකි විසඳුමක් ලබාදීම අත්‍යවශ්‍ය ය. ඒ වගේම රාජ්‍ය ප්‍රජාතන්ත්‍රිය කිරීමේ ප්‍රශ්නය මුලටම පැමිණ තිබේ. විධායක ජනාධිපති ක්‍රමය නැති කිරීම එහි පළමුවෙනි පියවර වේ. මෙවැනි අවස්ථාවක් නැවත නොලැබෙන්නට පුළුවන. 72 ව්‍යවස්ථාව හැදුවා සමගි පෙරමුණට ඕනෑ ආකාරයට. 78 ව්‍යවස්ථාව හැදුවා එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ආකාරයට. අද පාර්ලිමේන්තුවේ 3/2ක් තියා සරළ බහුතරයක්වත් එකම පක්ෂයකටවත් නැත. මේ ආණ්ඩුවට සහයෝගය දක්වන පක්ෂ සියල්ලම එකට ගතහොත් තමයි 3/2ක ඡන්දයක් තිබෙන්නේ. අය වැය ලේඛණය සම්මත වූයේ 3/2කටත් වඩා වැඩි ඡන්දයකින්. ඒකෙන්ම තේරෙනවා නව ව්‍යවස්ථාවක් හදන්නට ඉඩකඩ තිබෙන බව.
විපක්ෂයේ සිටින අනිකුත් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත අරන් පුළුවන් තරම් එකගත්වයකින් නව ව්‍යවස්ථාව සම්මත කරගැනීමයි අපේ උත්සාහ ය. ඒ නිසා හැමදෙනාම නම්‍යශිලී බවක් දක්වයි කියා අපි බලාපොරොත්තු වෙමු. සමසමාජ පක්ෂයේ බහුරය හැටියට ව්‍යවස්ථාවක් හදන්නේ නම් ඒ ව්‍යවස්ථාව කුමක් ද යන්න අපි දනිමු. නමුත් මේ ව්‍යවස්ථාව ඒ වගේ එක පක්ෂයක් හදන ව්‍යවස්ථාවක් නොවේ. අවසාන වශයෙන් පාර්ලිමේන්තුවේ 3/2ක අනුමැතියක් ලබාගන්නට හැකි හා ජනමත විචාරණයකින් ජයග්‍රහණය කළ හැකි ව්‍යවස්ථාවක් තමයි හදන්නට වෙන්නේ. 72 සහ 78 හැදුණේ එකගතාවයෙන් හැදූ ව්‍යවස්ථාවන් නොවේ. සැම දෙනාටම එකගවිය හැකි ව්‍යවස්ථාවක් තමයි හදන්නට වෙලා තිබෙන්නේ. එක එක පක්ෂවල පරමාදර්ශ තිබෙන්නට පුළුවන. එහෙත් හැදෙන ව්‍යවස්ථාව ඒ පරමාදර්ශය සමග නොගැලපෙන තැන් තිබෙන්නට පුළුවන. හැදිය හැකි ව්‍යවස්ථාවක් මිස හැදිය යුතු ව්‍යවස්ථාවක් සැමවිටම හැදෙන්නේ නැත. අපේ ද්‍රෂ්ටිය අනුව හැදිය යුතු ව්‍යවස්ථාවට අනික් අය එකග වන්නේ නැත. ඒ නිසා එකගත්වයක් තමයි මෙතන දී අවශ්‍ය වන්නේ.
ඒ ඒ දේශපාලන පක්ෂවලට පරමාදර්ශ තිබුණත් ඒවා ඉටුකර ගැනිමට අදාළව තම තමන්ගේ ජන කොටස් සූදානම් කරන බවක් නැතිවීම විශාල අඩුවකි. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයට සම්බන්ධ පක්ෂ හැටියටත් ඔවුන් මහජනයා දැණුවත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කළ යුතු ය. මේ ගැන කථා කරනවිට හැමදෙනාම කියන දෙයක් තමයි අර 1994 සහ 2000 වසරේදි කළ උත්සාහ ය. සුදු නෙලුම් ව්‍යවාපාරය, තවලම වැනි වැඩසටහන් හරහා මිනිසුන්ට එදා ඒ ගැන තේරුම් කර දුන්නේ ය. ඒ තුළ දකුණේ තිබූ ජාතිවාදි රැල්ල නැතිවි ගියේ ය. ඒ නිසා ඒවගේ වැඩ පිළිවෙලක් අදට අත්‍යවශ්‍ය ය.
අද අපි ඉන්නේ පසුගිය වසර 10 තුළ රාජපක්ෂ පාලනය යටතේ සිංහළයින්ගේ මනස එක්තරා ආකාරයකට දූෂ්‍ය කර තිබෙන පරිසරයක ය. ඒ නිසා අන්තවාදි කණ්ඩායම් මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවස්ථාවාදි ලෙස ප්‍රයෝජනයට ගන්නට ඉඩ තිබේ. ඒවා සියල්ලම රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතියේ කොටස් බව අමතක නොකළ යුතු ය. එයින් විශාල හානියක් දැනටත් රටට සිදු වි තිබේ. එම නිසා ඒක නැවත යහපත් අතට හරවාගත යුතුව ඇත. අනික් අතට මේ අන්තවාදීන්ට බිය වි පසුබසින්නට අවශ්‍ය නැත. ඒ අය සිටින්නේ සුළු පිරිසකි. ජනතාවගෙන් වැඩිදෙනා සාධාරණ විසඳුමකට කැමති ය. ඒ නිසා මේ අන්තවාදය පරාජය කළ යුතු ව තිබේ.
ආණ්ඩුවේ නියෝග පමණක් නොව අධිකරණයේ නියෝග වලට පවා ආරක්ෂක හමුදා ඇහුම්කන් නොදෙන බවක් පිළිබඳව ඇසේ. එහෙයින් නව ව්‍යවස්ථාව පිළිබඳව හමුදාව සහ පොලීසිය වැනි ආයතන දැණුවත් කිරිම සම්බන්ධයෙන් කිසියම් වැඩ පිළිවෙලක්ද අවශ්‍ය ය. මේ සඳහා දැනටමත් පියවර ගනිමින් ඇත. මා දන්නා පරිදි මහජන අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති ලාල් විජේනායක මහතාට කිලිනෙච්චියේ හමුදා කඳවුරකින් කළ ආරාධනයකට හමුදාවේ කොටස් දැනුවත් කරන්නට ගොස් තිබේ. සමාජයේ විවිධ කොටස් මේකට සම්බන්ධ කරගෙන තේරුම් කරදිය යුතු ය. මහජන අදහස් ලබාගැණිමේ කොමිටියේ වාර්තාව ආවට පසු අපිට ජනමතය පිළිබඳව යම් ඇගවිමක් ලබා ගන්නට පුළුවන. ඒ අනුව රටට පණිවිඩය රැගෙන යෑම තවත් තීව්‍රර කළයුතුව ඇත. මේක සිවිල් සමාජයෙන් පමණක් බලාපොරොත්තු විය යුතු දෙයක් නොවේ. සිවිල් සමාජය තමන්ගේ යුතුකම් හැකිතරම් ඉටුකරනවාට සැක නැත. ඒ සඳහා විශේෂයෙන්ම ආණ්ඩුවේ ව්‍යාපාරයක් තිබිය යුතු ය. එතකොට තමයි සිවිල් ව්‍යාපාර වලටත් ශක්තියක් ලැබෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *