ප්‍රමිති ආයතනය ඇතුළු වැදගත් ආයතන හයක් ඇමති නාමල් යටතට

පොල්තෙල්වල අෆොලොටොක්ෂින් පරීක්ෂාව පිලිබඳ ප්‍රස්නයක් හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අලුතින්  රාජ්‍ය ඇමති ධුරයක දිවුරුම් දුන් නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථයට යටත් කොට තිබේ. ඒ සමග වැදගත් රාජ්‍ය ආයතන හයක් ඒ මහතා  යටතට පත් කොට ඇත.

තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා  (03 දා) ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීම ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සිදුවිය.

ඒ අනුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ කාර්යයන් හා කර්තව්‍යයන්, සුවිශේෂී ප්‍රමුඛතා සහ ආයතනික හා නෛතික රාමුව මේ වන විට ගැසට් කර තිබේ.

අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත.

ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම සහ ඉහල ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව පුළුල් කිරීම මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *