සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි. – අජිත් පැරකුම් ජයසිංහ

me

මේ පිංතූරෙ ගානට කොණ්ඩෙ වැව්වෙ රස්සාව නැති වෙලා මාස තුනකට විතර පස්සෙ.

ඇත්තෙන් ම ජීවිතාරක්ෂාව සඳහා රටින් පළා යන්නට වුණ කෙනෙක් තමයි දන්නේ ඒකේ දුෂ්කරකම.

අවුරුද්ද 2007. දරුවන් නැතිව වසර 10කට පසුව මගේ බිරි ගැබ්ගෙන හිටියා. දරුවා ලැබෙන්න නියමිත වුණේ අප්‍රේල් මාසේ. අපි ඒ වෙනුවෙන් සූදානම් වුණා. බිරිඳට මෝටර් බයිසිකලයේ යන්න හොඳ නැති නිසා ම අපි පුංචි මරුති කාර් පොඩ්ඩකුත් ගත්තා ලීසිං එකක් පිට. අතින් භාගයක් ගෙව්වා ණය වෙලා. ඉතිරි ටිකේ ලීසිං එකට මාසිකව ගෙවන්න තිබුණු රු. 12,000 මහ මෙරක් වගේ. ඒ ගාන මගේ මාසික පඩියට වඩා වැඩියි. රජයේ සේවයේ සිටි අපේ නැන්දා කෙනෙකුට ඒකෙ ඇපයට අත්සන් කරන්න කතා කළාම බැහැ කිව්වා. හැබැයි, ඒ කාලෙත් මං පරිවර්තන වැඩ කරපු නිසා අපට ආර්ථික අහේනියක් තිබුණෙ නැහැ.

මාර්තු මාසෙ අග භාගෙ ඉස්කෝලෙ ස්පෝට්මීට් එක. මහන්සි වෙලා වැඩ කළා. ඒ දවස්වල ම තමයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අපේ මිතුරෙක් හා තවත් කීපදෙනෙක් අතුරුදහන් වුණේ. මම හිටියෙ යුද විරෝධී ස්ථාවරයක. බලය බෙදීම ඔස්සේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවීම වෙනුවෙනුයි අපි කැම්පේන් කළේ. මම අන්තිමට හිටපු දේශපාලන කණ්ඩායම තුළ එකට සිටි දෙමළ හා සිංහල සහෝදරයන් ප්‍ර‍වර්ධනය කළේ සහසන්ධීය රාජ්‍ය විසඳුමක්.

පසුව ආරංචි වුණ හැටියට අප සමග තරමක් සමීපව සිටි කණ්ඩායමක් ම අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ පිරිසේ හිටපු මං අර කිව්ව දුම්රියේ වෘත්තීය සමිති සහෝදරයා අන්තිමට මගෙන් සමු ගත්තේ කටුනේරිය පැත්තේ පල්ලියකදී අපි කරපු සාකච්ඡාවකින් පසුවයි. 2003දී චම්පිකලාගේ සිහල උරුමය විසින් පහර දීපු, හිරු කණ්ඩායම විසින් සංවිධානය කළ සිහල දමිළ කලා උළෙලෙන් පසුවයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. අපි සාකච්ඡා කළේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම ගැනයි. ඒත්, හැමදාම වගේ එදාත් මේ කතා විධිමත් අවසානයකට ආවෙ නැහැ.

“අපි මෙතනින් වෙන් වෙමු. පස්සෙ පුළුවන් වුණොත් නැවත හමු වෙමු.” දුම්රියේ සහෝදරයා කිව්වා. ඉන් පසුව අපි අතර කතා බහක් තිබුණේ නැහැ. කොළඹදී රැස්වීම්, උද්ඝෝෂණවලදී අපි හමු වුණා විතරයි.

ඊට පස්සෙ අපි හිරු සතිපතා පුවත්පත පටන් අරගත්තා. මං කර්තෘ විදියට පුවත්පත කරන්නත්, භාෂණ දේශපාලන ව්‍යාපාරයක් හදන්නට මැදිහත් වන්නටත් තමයි අපි කතිකා කර ගත්තේ. මං හිටියෙ රස්සාව දාලා පූර්ණ කාලීන දේශපාලනයට එන්න. ඒක නො වුණේ අර දේශපාලන ව්‍යාපාරයේ වැඩේ කෙරෙන තැනකට ගේන්න භාෂණ වැඩ නො කළ නිසායි.

භාෂණ, ජූඩ් ලාල් යන දෙන්නා හිටියේ උතුරේ අරගලය සම්බන්ධයෙන් දැඩි භක්තිමත් ස්ථාවරයක. අපි උතුරු පෙරමුණේ පසුමුණක් පමණක් බව තමයි ඔවුන්ගේ අදහස වුණේ. එතකොට දකුණේ සිංහලයන් වන අපට දේශපාලනයක් නැද්ද කියන ප්‍ර‍ශ්නය මං දිගට ම මතු කළා.

අපේ කාර්යය දකුණේ දේශපාලන ව්‍යාපාරයක් හදන එක ය කියන ස්ථාවරයේයි අපි වැඩි දෙනෙක් හිටියෙ. කොහොම වුණත්, හිරු පත්තරය සම්බන්ධයෙන් අපි හිටිය ස්ථාවරය වුණේ උතුරේ අරගලය ගැන දකුණට තොරතුරු නැති ඒ තොරතුරු පරතරය අපි මාධ්‍ය මගින් පුරවන්නට ඕනෑ ය කියන තැන. ඒ වෙනුවෙන් අපි අනතුරුදායක ලෙස පෑන හැසිරෙව්වා.

හිරු කණ්ඩායම තුළ ගැටුම් උග්‍ර‍ වුණේ සුනාමිය දවස්වල. එක්ස් කණ්ඩායම කැඩුණේත් මේ වකවානුවේ ම තමයි. අභ්‍යන්තර ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, දේශපාලන ව්‍යාපාරයක් ලෙස පුළුල් වීමේ අවශ්‍යතාව, දකුණ කේන්ද්‍ර කරගෙන දේශපාලනය කිරීම වැනි කාරණා පදනම් කරගෙන අන්තිමට මම හා තවත් පිරිසක් හිරු කණ්ඩායමෙන් ඉවත් වුණා.

හිරු පත්තරේ නැවතුණා. අපි ලංකා ලෙෆ්ට් වෙබ් අඩවිය පටන් ගත්තේ ඉන් පසුවයි. ඒ කණ්ඩායමටත් වැඩි කල් එකට ඉන්න බැරි වුණා. දෙමළ සහෝදරවරු යුද්ධයේදී යුද විරෝධී ස්ථාවරය අතහැරියා. අපි විසිරුණා.

සිවරාම්ව උස්සලා මරපු එක අපි හැම කෙනෙකුට ම අපේ ඉරණම ගැන දීපු සංඥාවක් වුණා. ඒත්, කරන්න දෙයක් තිබුණෙ නැහැ.

2007 මාර්තු වෙනකොට අපි බොහෝ දුරට විසිරිලා. වැඩ කටයුතුත් නැවතිලා වගේ. මං දිගට ම රාවය පත්තරේට ලිව්වා. ඒකත් කළේ අපේ මිතුරන්ගේ උපදෙස් නො තකායි. ඔවුන් කිව්වේ එයත් නවත්වා නිහඩව ඉන්න කියලායි.

අපි නො දැන ම, අර දුම්රිය සහෝදරයා ඇතුළු කණ්ඩායම දුර ගමනක් ගිහින් තිබුණා. උතුරෙන් පුහුණුව හා ආයුධ අරගෙන දකුණේ සන්නද්ධ ව්‍යාපාරයක් හදන්නයි ඔවුන් උත්සාහ කළේ. ඒත්, ඇතුළේ ම ගැටුමක් එක්ක කවුරුන් හෝ එම සංවිධානය පාවා දීලා සියලු දෙනා ත්‍ර‍ස්ත විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත්තා. සිංහල කොටි කියලා හැඳින්වුණේ මේ අයයි.

ටෙරල් හිටියෙ හිරු කණ්ඩායමේ. මාර්තු මාසේ අගහරියේ දවසක ඔහු මට දුරකථන ඇමතුමක් දීලා ඇවිත් මතුගමදි මාව හමු වුණා. මං හිටියෙ මගුල් ගෙදරක යන්න ලැහැස්ති වෙලා. ඒකත් නවත්තලා අපි කතා කළා. පස්සෙ මගේ බිරිඳත් වැඩ ඇරිලා ආවා.

ටෙරලුයි, මායි, අපේ බිරියනුයි අපි එකට ඉන්න කාලෙ බෙදා ගත්ත පොදු ප්‍ර‍ශ්නයක් තිබුණා. ඒ දරුවන් ලැබීම පමා වීමේ ගැටලුව. ඒ වෙනකොට ටෙරල්ගේ බිරියට දරුවකු ලැබී තිබුණා. මගේ බිරිය ගැබ් අරගෙන.

ඒ කාලෙ තමයි, ත්‍ර‍ස්ත විරෝධී ව්‍යාපාරයෙන් අර වෘත්තීය සමිති කොටි, මාධ්‍ය කොටි ආදීන් මර්දනය කරනු කියලා අපව ටාගට් කරලා පෝස්ටරයක් ඇලෙව්වේ.

ටෙරල් කිව්ව කතාව මේක:

“මචං, කේ. විජේසිංහ රාවය පත්තරෙන් කෝල් එකක් දීලා තිබෙනවා ඒ ගැන අහන්න චම්පිකට. එතකොට චම්පික බැනලා තිබෙනවා රාවයේ අයත් ඔය එක්ක සම්බන්ධයි. අපි ළග තිබෙනවා අජිත් පැරකුම් ජයසිංහයා ට්‍රේනිං වෙන ෆොටෝ. අපි ඒවා ආමි වෙබ් සයිට් එකේ දානවා. උඹ උන් එක්ක ගනුදෙනු කළා ද?”

මේ මොන මළ හත්තිලව්වක් ද? මං ඒ වෙනකොට කළෙ රාවයට ලියන එකයි, කොළඹ රැස්වීම්, උද්ඝෝෂණ ආදියට එන එකයි විතරයි. මට හීන් දාඩිය දැම්මා. ඇයි යකෝ අපේ ගමේ එවුන් ඇවිත් ගෙට ගිනි තියාවිනේ. කරපු මගුලකට නම් කමකුත් නැහැ. අනෙක කොහේ යන්න ද තනි මං. ඒ වෙනකොට දේශපාලනිකව මගෙත් එක්ක සංවිධානගත වෙලා හිටියෙ මගේ බිරිඳ විතරයි. එයා හිටියෙ මාස අටක දරු ගැබක් දරාගෙන.

ටෙරල් කිව්වේ රට පලයං කියන එක. ඒත් මං කොහේ යන්න ද? ඒකට ක්‍ර‍මයක් හදන්නං කියලා ටෙරල් කිව්වා.

සන්ඩේ ඔබ්සර්වර් පත්තරේ ආරක්ෂක ලිපියේ ඡායාරූප වගයක් පළ වුණා. ඒවා අර කණ්ඩායමේ කොම්පියුටරයකින් ගත් එ්වා. ඉන් එකක මං වගේ පොරක් යුද පුහුණුවක් කරන දර්ශනයකුත් තිබුණා.

ඉන් පස්සෙ මං හැංගෙන්න පටන් ගත්තා. ඉස්කෝලෙ යාමත් නැවතුණා. අපේ පවුලේ අනෙක් අය මහින්දට ඡන්දෙ දීලා එහෙම තමයි හිටියෙ. හිතා ගන්න පුළුවන් නේ ආසන්න ම කවයේ තත්වය. දේශපාලන කණ්ඩායමකුත් නැහැ. මං තනි මිනිහෙක්.

දවසින් දවස තත්වය තීව්‍ර‍ වුණා. උච්ච ම තැනට ආවේ “සිංහල කොටින්ට සම්බන්ධ රජයේ ආයතනයක රැකියාව කරන අජිත් කෙනෙකු අත්අඩංගුවට ගන්නට සොයන බව” ලක්බිම පත්තරේ මුල පිටුවෙ පළ වුණාට පස්සෙයි.

එදා මං පරණ හිරු පත්තර, අරවා, මේවා ඔක්කොම පිච්චුවා. ඒ වෙලාවෙම මාව අල්ලන්න එයි කියලායි මං හිතුවෙ. ඉන් පසුව අර බඩ දරු අම්මවත් අරගෙන ගෙදරින් පිට වුණා. දවස් ගානක් අපි හිටියේ තැන් තැන්වල.

ටෙරල් උපදෙස් දුන්නේ වේලක්කන්නි පල්ලි යනවා ය කියා වීසා අරගෙන ඉන්දියාවට යන්න. මා ළග සල්ලිත් තිබුණෙ නැහැ. ටෙරල් ටිකට් එකක් ගෙනත් දුන්නා. සල්ලි ටිකකුත් දුන්නා.

පුංචි බෑගයක රෙදි කෑලි දෙක තුනක් දාගෙන යන්නේ කොහේද, වෙන්නේ මොනවද, ආපසු එන්න ලැබෙයිද කිසිවක් නො දැන මං ගුවන් තොටුපළට ආවා.

අද මහින්ද නිසා අන්ධ වී සිටින මගේ බිරියගේ මස්සිනා මාව ගුවන් තොටුපළට ඇරලලා මං නො පෙනී යනකල් බලා හිටියේ පාස්පෝට් කවුන්ටරයේදී මාව නවත්තා ගනියි ද කියලා බයෙනුයි. මගේ පපුව ඩිග් ඩිග් ගෑවා. මාව නැවැත්තුවේ නැහැ.

මස්සිනා කොළඹට යන්නට කලින් මං බැංගලෝර් ගුවන් තොටුපළෙන් බැස්සා.

මේ වකවානුවෙ ජවිපෙ හිටියෙ යුද්ධයට ආවඩන ස්ථාවරයකයි. විමල්ලාවත්, පෙසපවත් ජවිපෙන් කැඩිලා තිබුණෙ නැහැ. ඔක්කොම හිටියෙ එකට. නියමින් හා අනියමින් ඒ සියලු දෙනාම හිටියෙ ආණ්ඩුව එක්ක. උන් ඔක්කොම හිටියෙ අපට දෙන්නං ජම්බු කියන ස්ථාවරයේයි.

ඉතින් අපේ ඉස්කෝලේ හිටිය ජවිපෙ සහෝදරවරු මාසයක් යන්න කලින් මට සේවය හැර යාමේ ලියුම නිකුත් කරන්නට තරම් දක්ෂ වුණා. ඒක කළේ ස්පෝට්මීට් දවසෙ හැන්දෑවෙ අපිත් එක්ක එකට බීපු ප්‍රින්සිපල්ව අල්ලගෙන. මං රට ගියේ “අසනීපයි. නිවාඩු දෙන්න.” කියලා ටෙලිග්‍රෑම් එකක් ගහලායි.

මාසයක් ඇතුළත මට සේවය හැර යාමේ ලියුම් දෙකක් ම නිකුත් කළේ “ඔබ නො දන්වා විදේශගත වී ඇති බව විදුහල්පතිවරයා විසින් තහවුරු කර ඇති බැවින්” කියන කෑල්ලත් එක්කයි. ඒවා අර සහෝදරවරුන්ගේ දක්ෂකම්. ඒවා ජාතික මට්ටමේ වැඩ නෙමෙයි. ප්‍රාදේශීය මට්ටමේ වැඩ.

හිරු කණ්ඩායම දුන්නේ වෙන ගේමක්. ඔවුන්ට අවශ්‍ය වුණේ මාව සීන් එකෙන් අවුට් කරලා දාන්නයි. මාස තුනක වීසා අරගෙන ඉන්දියාවට ගිය මාව ඔවුන් ඉන් පසු අතහැර දැම්මා.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශය ඒ අජිත් මං නො වන බව දැනගෙන හරි අජිත් අත්අඩංගුවට ගත්තා. ඉන්දියාවෙ නන්නත්තාර වෙලා හිටිය මං හොරෙන් ම ආපහු ලංකාවට ඇවිත් කාටවත් නො කියා හැංගිලා හිටියා. රෝහිත භාෂණගෙ බිරිය කියලා තිබුණා මං ලංකාවට ආවෙ කාරෙක නිසා ය කියලා.

‘ජීවිත තර්ජන’ නිසා කුමාර් ගුනරත්නම් ඕස්ට්‍රේලියාවට ගියෙත් ඔය කිට්ටු කාලෙක.

පස්සෙ කාලෙක යුද්දෙ උත්සන්න වෙද්දි ආපහු හිරු කණ්ඩායම වරින් වර මාතෘකා වුණා. එතකොටත් අපි නැවත, නැවත හැංගෙමින් තමයි ජීවත් වුණේ. ඒ කාලෙ හිරු කණ්ඩායමේ එක්තරා බුවෙක් පල් හිනාවක් දාලා කියලා තිබුණා ඌට ආපහු ඉන්දියාවට යන්න කියපං කියලා. උන් බලාපොරොත්තු වුණේ ආණ්ඩුවෙන් මට කෙළියි කියලා වෙන්න ඇති.

ඒ කාලෙ අපි අන්ත මානසික දුකක් වින්දා. රස්සාව ලැබුණෙ අවුරුදු තුනහමාරකට පස්සෙ.

මං මේ දිග කතාවක් කෙටියෙන් කිව්වේ මේ දවස්වල ජීවිත තර්ජන නිසා රටින් පිට වන්නට සිදු වීම ගැන ගොඩක් ලොකු කතා කියවෙන නිසායි.

මේ පරිච්ඡේදය තවම ඉවර නැහැ. ඒ වගේ ම මේක සවිස්තරත් නැහැ. මේකෙ ඉතුරු ටික ලියනවද කියල මං තීරණය කරලාත් නැහැ.

හැබැයි, අද ඉන්න මාව මේ විදියට හැදුණෙ ඔය වකවානුවේ සිදු වුණු සිදුවීම් නිසායි. මේවා පෞද්ගලික ය කියන්න එපා. මේ තමයි ඇත්ත දේශපාලනය. වාම දේශපාලනයේ ඔය සංස්කෘතික යටි තලය ස්පර්ශ නො කර වමක්වත්, සමාජවාදයවත් හදන්නට බැහැ.

වාම දේශපාලනය ගැන මීට වඩා අමිහිරි කතන්දර රැසක් තව බොහෝ අයට තිබෙනවා. ඒවා තිබෙන සංස්කෘතික තලය එහෙමම තිබෙද්දී අපි මතුපිටින් සටන් පාඨ අතගානවා. මිනිසුන්ව ආවේගවලින් අන්ධ කරලා විප්ලව කරන්නට පුළුවන් ය කියලා සමාජය රවටනවා.

ඒ දවස්වල මගේ බිරියගේ කුසේ හිටිය මගේ දරුවාගේ මුහුණ දකින හැම මොහොතකම මට නම් හිතෙන්නේ ඔවුන්ගේ පරම්පරාව හෝ මිනිස්කමින් තොර වමක ගොදුරු බවට පත් වීම වැළැක්විය යුතුයි කියලායි.

සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි.

 

( අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka බ්ලොග් අඩවියෙනි )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *