කාබනික පොහොර රටින් ගෙන්වීමේ තීරණයත් රිවස් වෙයි !

පිටරටින් කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ප්‍රයෝගික නොවන බව සහ කළ නොහැකි බව ආණ්ඩුව තීරණය කොට ඇති බව අපගේ ආරංචි මාර්ග කියයි. එයට ප්‍රධාන වශයෙන්  හේතු වී තිබෙන්නේ රටේ දැනට ක්‍රියාත්මක නීති අනුව එය නීති විරෝධී බව තේරුම් ගොස් තිබීම යි. කෘෂිකර්මයේ ආරක්ෂාවට ඇති එම නීති වෙනස් කිරීම ද කළ නොහැකි බව පැහැදිලි වී ඇතයි  කියති.

එමෙන් ම පිටරටින් කාබනික පොහොර ආනයනය කොට ගොවිතනට යෙදීම රසායනික පොහොර යෙදීමට වඩා භයානක ප්‍රතිවිපාක දෙන බව විශේෂඥයෝ පෙන්වා දෙති. එමනිසා එම තීරණයට විශාල විරෝධයක් ද පළ  වී තිබේ.

ජනාධිපති නියෝග කළ නිසා හෝ කැබිනට තීරණයක් ගත් නිසා රටේ පවතින නීති උල්ලංඝනය කරමින් කාබනික පොහොර ආනයනය කළ නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ ඉහළ නිලධාරීහු රජයට පෙන්වා දී ඇත. ක්ෂේත්‍රයේ විශේෂඥයන් කියන්නේ ද මෙය කළ නොහැකි බව යි.

එබැවින් ආණ්ඩුව පොහොර ගෙන්වීමේ තීරණය ගැන වැඩිදුර පියවර නොගැනීමට තීරණය කොට ඇති බව දැනගන්නට ඇත. මෙම තත්ත්වය සනාථ කරමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට තිබුණේ කාබනික පොහොර පිටරටින් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බව යි.

මෙය කාබනික පොහොර ගෙන්වීමේ තීරණය ඉවත්කර ගැනීම වක්‍ර ලෙස ප්‍රකාශ කිරීමක් බව නිරීක්ෂකයෝ කියති.

කාබනික පොහොර රටින් ගෙන්වන ලෙස පසුගියදා නියෝග කළේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ය. ඒ අනුව පසුව කැබිනට් මණ්ඩලය ද එම තීරණය ගත්තේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *