රට වැසීම කළ යුත්තේ සැලසුම් ඇතිවයි – එජාප සභාපති වජිර අබේවර්ධන

 

රට වැසීම සිදු කළ යුතු වන්නේ මහජනයාට ජන ජීවිතය පවත්වාගෙන යන්නට යම් ඉඩක්  සහ පහසුකම් සපයමින් සැලසුමකට අනුව බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා මේ ගැන මාධ්‍යයට කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් ය.

රට දින 14ක් සම්පූර්ණයෙන්ම වසා තබන්න පෙර මහජනතාව දැනුවත් කර ඒ අයට දින දෙකක් පමණ ලබා දී අවශ්‍ය ආහාර පාන හැකි පමණින් එකතුකරගන්න ඉඩ ලබා දිය යුතුව තිබුනා. ඒ වගේම රජයේ සේවකයන්ගේ පඩිය කල් වේලා ඇතුව ලබා දීලා විශේෂඥ වෛද්‍යවරු පවසන පරිදි රට සම්පූර්ණයෙන්ම වැසුවා නම් කොරෝනා විෂ බීජ මැරී යාම සිදුවෙනවා. අපි නෙමෙයි විශේෂඥයො තමයි මෙහෙම කියන්නේ. ඔවුන්ටත් ගරු නොකර මේ සිදු කරන ක්‍රියාවලියෙන් මුළු රටම අඩපන වෙනවා.

මහ බැංකුවේ අධිපති පවසා තිබෙනවා  තෙවන රැල්ලෙදී මහ බැංකුවට එතරම් බලපෑමක් සිදු වී නැහැ කියලා. ඒකයි අපි කියන්නෙ අපේ රජය තිබුණු කාලේ අපි ගං වතුරින් මිය ගිය අයෙකුටත් ලක්ෂ 10 ක් ගෙව්වා. ධීවරයෙක් මිය ගියත් ලක්ෂ 10ක් ගෙව්වා. දැන් එක පවුලේ දෙන්නා තුන්දෙනා මිය යනවිට විශාල ප්‍රශ්නයකට ලක්වන නිසා තමයි අපි ඒ මිය යන පවුල් සඳහා ලක්ෂ 25 ක් වෙන් කරන්න කියලා ප්‍රකාශ කළේ. ඒ වගේම රජයේ සේවකයෙක් සිදු කරන කැපවීම නිසා මසකට රුපියල් 25,000 අතිරේඛ දීමනාවක් දෙන්න කියලත් අපි ප්‍රකාශ කළා. පොලීස් නිලධාරන්s, ග්‍රාම නිලධාරින් සහ රජයේ සේවකයන් මේ වන විට විශාල සංඛ්‍යාවක් මිය ගිහින් තිබෙනවා. ඒ අයට ලක්ෂ 50 ක වන්දියක් ලබා දිය යුතුයි.

දැන් බලන්න මේ පැය 19 ක් නිදහස් කළ විදිය සම්පූර්ණ වැරදියි. ගම පිළිබඳ, මිනිස්සු පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. මිනිස්සු ගැන හිතන්න දන්නෙ නෑ. ගමේ මිනිස්සු ගමේ කඩෙන් ණයට ගත්තම බිල වැඩි වුනාම ඒ කඩෙන් බඩු ගන්නෙ නැහැ. බයිසිකලෙන්, මෝටර් සයිකල් එකෙන් හෝ ත්‍රීවිල් එකකින් ගිහින් ඈත කඩේකින් බඩු අරන් එනවා අර බිල ගෙවනකල්. ඉන්පසු කුමක්ද වෙන්නෙ එමෙ ආවම නීතිය නිසා ඒ අයට හිරි හැර, කරදර වෙනවා. එතකොට බඩු ගන්න විදියක් නැහැ. එළවළු, පළතුරු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ නිසි ක්‍රියාවලියක් රජය සතුව නැහැ. සතොස විවෘතයි කියනවා. ප්‍රවාහනය තහනම් කියනවා. එතකොට මහජනයා කොහෙන්ද බඩු ගන්නෙ? දිස්ත්‍රික්කයක සතොස කීයක් තියෙනවද? එන්නෙ පයින්ද? වාහනයකින් එන්න වෙනවා. සමාජ ප්‍රශ්න තේරෙන්නෙ නැති උදවිය මේවට අදාල චක්‍ර ලේඛ නිකුත් කළාම මහජනයා අපහසුතාවයට පත් වෙනවා. ගැමි යතාර්ථය අවබෝධ කරගත යුතුයි. ඒ පිළිබඳ දැනුම තිබෙන අය ආණ්ඩුවේ ඉන්නවා. ඔවුන්ගේ අවවාද අනුශාසනා ලබා ගත යුතුයි.

ත්‍රිවිද හමුදාව සහ පොලීසිය චක්‍ර ලේඛයක් ආවම එය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් එයින් මහජනයා පීඩාවට පත්වෙනවා නම් එය හොඳ දෙයක් නොවේ. අපිට තේරෙන්නේ නෑ මේ කරන විකාරය මොකද්ද කියන වග. ඔසුහල් කීයද තියෙන්නෙ දිස්ත්‍රික්කයක.

මේවා මම හිතන්නෙ විශාල මහජන පීඩනයකට පත් කිරීමක්. මෙහෙම කරන්න එපා රටකට, මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්න මොහොතක් මේක. මෙහෙම ප්‍රශ්නයකට හෝ සංචරණ සීමා පනවන්න ඕන වෙන්නෙ නෑ එන්නත් දෙකම ලබා දුන්නා නම්. ඒක කරන්නත් බැරි වුනා මේ රජයට. සානුකම්පිතව, සාධාරණව මහජනයාට සවන් දෙන්න. සවන්දීලා චක්‍ර ලේඛන සකසන්න. මහජනයට දවස් දෙකක් ඉඩ දීලා දවස් 14 ක් රට වැහුවා නම් අපිත් කියනවා මේ රටේ ජනතාවට එක වේලක් කාලා හරි ජීවිත ආරක්ෂා කරගන්න පියවර ගන්න කියලා.

අපි පක්ෂයක් හැටියට මේ මොහොතේ රජයේ ගැටලු මතුකරලා විරෝධතා කරන්න යන්නෙ නෑ. අපි කැමතියි මේක නිවැරදි ක්‍රියාවලියකට සිදු වෙනවට. මහජනයා ජීවත් විය යුතුයි. මහජනයා නැත්තම් ඡන්දත් නෑ .ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ හිතලා රජය ක්‍රියා කළ යුතුයි. බලන්න මේ පැය 19 සංචරණ සීමාවෙන් නගරවල, ගම්වල මිනිස්සු අහිංසක මොනතරම් පීඩනයකට පත් වුණාද කියලා. මේ වෙලාවේ වාහන ගෙන්වන්න කැබිනට් පත්‍රිකා දාන වෙලාවක්ද? පොඩි හරි අවබෝධයක් තියෙනවා නම් කැබිනට් පත්‍රිකාවක් දාන්න ඕන රජයේ සේවකයන්ට අතිරේඛ දීමනාවක් දෙන්න, රජයේ සේවකයෙක් මිය ගියාම ලක්ෂ 50 ක රක්ෂණාවරණයක් දෙන්න, එන්නත් ටික ගෙන්වන්න හෝ මිය යන පවුලක සාමාජිකයෙකුට ලක්ෂ 25 දෙන්න. අන්න ඒ සඳහා තමයි මේ මොහොතේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරන්න ඕන.

අපි පාලනය කරලා කියන දේශපාලන පක්ෂයක්නෙ එක්සත් ජාතික පක්ෂය කියන්නෙ. හොයලා බලන්න ධීවරයෙක් මැරුණම අපි ලක්ෂ 10 දුන්නෙ නැද්ද කියලා. බලන්න අනිත් ව්‍යසන වලදි අපි වන්දි ලබා දුන්නෙ නැද්ද කියලා. අපි ගංවතුර ආවම රුපියල් බිලියන ගණනක් දීපු දේශපාලන පක්ෂය. ලංකාවට වියදම් කරන්න එවකට අග්‍රමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා  ඩොලර් මිලියන 2 තෑගි මුදලක් දුන්නා මගේ අමාත්‍යංශයට. හරියට අර මගුල් ගෙදරක කවරකෙ හම්බවෙන මුදල් වගේ, මොකද ආපහු ගෙවන්න ඕන නෑ. එහෙමයි අපි මහජනයාව බලාගත්තෙ.

වෙසක් තොරණ් සකසන උදවිය අවුරුද්ද පුරාම නිකන් ඉඳලා වෙසක් තොරණක් සකසලා ඒකෙන් තමයි මුළු අවුරුද්දම ජීවත් වෙන්නෙ. වෙසක් කාඩ් හදන අයත් එහෙමයි. බලන්න සිංහල අවුරුද්දට කැවිලි හදන අය, රතිඤ්ඤා හදන අය, නත්තලට සැරසිලි හදන අය ඇතුළු විශාල පිරිසක් යම් යම් ස්වයං ව්‍යාපාර කටයුතු කරමින් ජීවත් වන විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. බලන්න මේ රජය බලයට ආපු දවසේ ඉඳලා එක වෙසක් උත්සවයක්, එක පොසොන් උත්සවයක්, එක සිංහල දෙමළ අලුත් අවුරුද්දක්, එක නත්තලක්, එක හින්දු උත්සවයක් හෝ කිසිම ජාතික උත්සවයක් තියන්න බැරි වුනා.

මෙය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. එවැනි වෙලාවක මහජනයා ආරක්ෂ කරගන්න ඕන. ඒ ඒ කර්මාන්ත කරුවන් ආරක්ෂා කරගන්න ඕන. මේවා එකකට එකක් බැඳිලයි සමාජයේ මහජනයා ජීවත් වෙන්නෙ. ඒ නිසයි අමාත්‍යංශ මැදිහත් වෙලා සුළු පරිමාණ කර්මාන්ත කරුවන් ආරක්ෂා කරගන්න ඕන. ඒ නිසා මහජනයාට මෙවන් හිරි හැර කරදර සිදු කරන්න එපා යැයි රජයෙන් ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *