බඩු අරගෙන පයින් යන්න –  අනුර සූරියබණ්ඩාර

මැයි 21 දින පනවන්නට යෙදුණු සංචරණ  තහනම මැයි 25 දින අලුයම 4.00 සිට රාත්‍රි 11.00 දක්වා ලිහිල් කරනු ලැබිණ . සංචරණ සීමා ලිහිල් කිරීම දැනුම්දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැන්වූයේ එම ලිහිල් කිරීම හුදෙක් නිවෙස්වලට  අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීම සඳහා පමණක් බවය .

සංචරණ සීමා ලිහිල් කෙරෙන කාලය තුළ නිවෙසින් බැහැරව යා හැකි වන්නේ එක් අයකුට පමණක් බවත් , එසේ යාමේදී වාහන උපයෝගී කර ගත නොහැකි බවත් විශේෂයෙන් සඳහන් කෙරිණ .

මැයි 25 දින ලිහිල් කර පැනවෙන සංචරණ තහනම යළි ලිහිල් වන්නේ මැයි 31 දාය .එනම් නැවත දින 06 ක කාලයක් සඳහා සංචරණ සීමා පැනවෙන බව ය . එකී දින 06 සඳහා 04 දෙනකුගෙන් යුතු පවුලකට දිනකට තුන්වේල බැගින් බත් සපයා ගැනීමට ( සහල් කිලෝ එකක් 06 දෙනකුට සෑහේය යන උපකල්පනය මත ) සහල් කිලෝ 12 ක් පමණ අවශ්‍යවේ . දින 06 ක කාලයක් නිවෙසටම වී සිටින පවුලකට සහල් පමණක් සපයා ගැනීම සෑහෙන්නේ නැත . කරවල , මස් , මාළු, අල , පරිප්පු , එළවළු , සීනි , තේකොළ , කිරි පිටි , බිත්තර , බිස්කට් ආදි තවත් දේ සංචරණ සහනය තුළ කඩ පොළට යන තැනැත්තකුගේ බඩු තුණ්ඩුවට  ඇතුළත් වනු ඇත . ඒ අනුව ඒ තැනැත්තාගේ  බඩු මල්ලේ බර අවම වශයෙන් කිලෝ 14 ක් හෝ 15 ක් වන්නට පුළුවන . අවම දුර මීටර් 500 කින් පිහිටි වෙළෙඳ සලකින් වුව එතරම් බර බඩු මල්ලක් කර තබාගෙන ඒම පහසු කටයුත්තක් නොවේ . එවිට සිදුවනු ඇත්තේ සහල් සඳහා එක් වරක් අනෙකුත් භාණ්ඩ සඳහා තව වරක් ලෙස එක් තැනැත්තකුට අවම දෙවතාවක් වත් නිවෙසින් බැහැරට යාමට සිදුවීමය .

ආසන්නම වෙළඳසැලට වත් වාහනයකින් යාම තහනම් කිරීමෙන් බලධාරින් අපේක්ෂා කළේ කුමක්දැයි පැහැදිලි නැත . අපේක්ෂාව කුමක් වුවත් එය මුළුමනින්ම අසාර්ථක බව 25 දින දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශවලදී විකාශය කෙරුණු ජනතාව භාණ්ඩ මිලදී ගන්නට වාහනවලින් යන දර්ශන අනුව පෙනිණ . හේතුව මහජනතාව නීතියට ගරු නොකිරීම නොවේ , ගරු කර පිළිපැදිය නොහැකි කොන්දේසියක් බලධාරින් විසින් පනවා තිබීමය .

ක්‍රියාත්මක  සංචරණ සීමාව මැයි 28 සහ ජූනි 04 දිනවල ලිහිල් කෙරෙමින් ජූනි මස 07 දා දක්වා ක්‍රියාත්මක කරන්නට නියමිත බවද අදාළ අංශ පවසයි . එසේ හෙයින් කළ යුතුව තිබුණේ පාගමනින් ගොස් බඩු ගෙන එන්නට බල කිරීම නොව නිවෙසකින් එක් අයෙක් බැහැරට ගොස් ජූනි 07 දක්වා සෑහෙන භාණ්ඩ රැගෙන විත් නිවෙස්වල රැඳී සිටින්නට හැකි අවස්ථාවක් ජනතාවට සලසා දීමය .

මේ මස රජයේ සේවකයන්ට වැටුප ලැබුණේ සංචරණයට ලැබුණු අවසන් දිනයේ හෙවත් මැයි මස 21 දාය .සංචරණ සීමා සඳහා ජනතාව සූදානම් කරන්නට නම් වැටුප් කල්තියා ලබාදී ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ මිලදී ගෙන නිවෙස්වලට වී සිටීමේ හැකියාව උදා කළ යුතුව තිබිණ .ඒ සඳහා සූදානමක් තිබුණේ නම් කළ යුතුව තිබුණේ සංචරණ සීමා පනවන සතියේ දින කිහිපයකදී , සෞඛ්‍ය , අධ්‍යාපන , වතු ආදී ඒ ඒ ක්ෂේත්‍රවලට වෙන් වෙන්ව වැටුප් ගෙවීමයි . එසේ වූයේ නම් ජනතාව එක් දිනක වෙළදසල්වලට රොක් නොවන්නට තිබුණි .මැයි 21 වැටුප් ගෙවීම හේතුවෙන් සහ එදිනම සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමෙන් බොහෝ දෙනකුට බැංකු කටයුතු සඳහා 25 සංචරණ සහනය යොදා ගැනීම හැර වෙනත් මඟක් තිබුණේ නැත . වාහන ගමනාගමනය තහනම් කිරීම හේතුවෙන් බැංකුවකට ලොකු දුරක් යා යුතු  රජයේ සේවකයන්ට  තම වැටුප පවා ලබා ගැනීමට සහනයක් ලැබුණේ නැත . මෙතෙක් තීරණ ගත් ආකාරය අනුව පෙනී යන්නේ කොරෝනා මර්දන වැඩසටහනේදී ආණ්ඩුව පූර්ව සූදානමකින් හෝ විධිමත් සැලසුමකින් තොරව අඳුරේ අතපතගාන බවයි .මැයි 25 සංචරණ සීමා ලිහිල් කිරීමේදීද ඒබව හොඳින් තහවුරු වී තිබේ .

   අනුර සූරියබණ්ඩාර

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *