” මම එනකොටත් පාරේ වාහන වැඩියි; මේවා නතර කරන්න” ; ජනපති නියමයෙන් වාහනවලින් ගමන් තහනම් !

” අද මම එනකොටත් පාරේ වාහන වැඩියි. දොස්තරලගේ ලාංචන ගහගෙන ගොඩක් වාහන යනවා . මෙච්චර දොස්තරලා ඉන්නවා ද ? මේ වාහන ගමන් නතර කරන්න ” යි කොවිඩ් මර්දන කමිටුවට ජනාධිපති අද දුන් උපදෙස් අනුව නිවෙසට අවශ්‍ය බඩු භාණ්ඩ මිල දී ගැනීමට ද වාහනවලින් යාමට ඉඩ නොදෙන බව රජය අද නිවේදනය කළේ ය.

ඒ අනුව සංචරණ සීමා ලිහිල් කරන හෙට දිනයේ ද නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට මහජනයාට වාහන වලින් යාමට ඉඩ දෙනු නොලැබේ. නිවෙසින් එක් අයෙකුට පමණක් ළඟ ම ඇති වෙළෙඳ සැලට යාමට ඉඩ ලැබෙන අතර ඒ ගමන පයින් ම යා යුතු ය. ඉදිරි සතිය සඳහා නිවෙසට අවශ්‍ය සියලු භාණ්ඩ ළඟම ඇති වෙළෙඳ සලෙන් මිල දී ගෙන ඒ සියල්ල තනිව ම, පයින් ම, නිවසට රැගෙන ආ යුතු බව රජය මහජනයාට උපදෙස් දෙයි.

ජනාධිපතිතුමා අද යනවිට පාරේ වාහන වැඩි බව එතුමා කීව ද, අද සාමාන්‍ය ජනයාට සංචරණයට ඉඩ දී නොතිබිණි. ඒ අනුව පාරේ තිබිය යුත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති වාහන ය. රටේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අඛණ්ඩව කරගෙන යාමට රජය උපදෙස් දී ඇති නිසා එම කටයුතු සඳහා ගමන් කරන වාහන ද තිබිය හැකි ය.

නීති විරෝධී ලෙස කිසිවකු ගමන් බිමන් යන්නේ නම් එය නැවත්වීම පොලිසිය සතු කාර්යයකි.

කෙසේ වෙතත්, දැන් සිදු වී තිබෙන්නේ සාමාන්‍ය ජනයාට සහ මැද පන්තික ජනයාට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමේ දී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුවීම ය.

සංචරණ සීමා ජුනි 7 දක්වා දීර්ඝ කොට ඇති අතර හෙටින් පසු නැවත ලිහිල් කිරීමක් සිදුවන්නේ 31 දා ය. එම කාලය සඳහා අවශ්‍ය ආහාර හෙට රැස් කර ගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *