පරිපාලන සේවයේ චමිල ජයසිංහ අත්අඩංගුවට ගැනීම, භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමේ නව ස්වරූපයක් –  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළව තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබියදී පවතින වසංගත තත්ත්වය හමුවේ කල් ඉල්ලා සිටි ශ්‍රී ලංකා පරිපාලන සේවයේ චමිල ඉන්දික ජයසිංහ අත්අඩංගුවට ගැනීම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට එල්ල කළ නව ආකාරයක තර්ජනයක් ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකයි.  වින්දිත චමිල ජයසිංහ පවසන අන්දමට ඔහුගේ අත්අඩංගුවට ගැනීම අත්තනෝමතිකව හා බලහත්කාරීව සිදු වූ අතර සිය ෆේස්බුක් ගිණුමේ බෙදාගත් අදහස් දැක්වීමක් මහජන කැළඹීමකට හේතු වු බව සඳහන් කරමින් ඔහුගේ සහ බිරිඳගේ ජංගම දුරකථනද පොලිස් භාරයට ගෙන ඇත. මෙම සිදුවීම, අදහස් දැක්වීමෙන් හා විවේචන එල්ල කිරීමෙන් වැළකී සිටිය යුතු බවට රාජ්‍ය නිලධාරීන්ට ලබා දෙන අඳුරු බිය ගැන්වීමේ සංඥාවක් ලෙස දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මෙය සයිබර් අපරාධ ප්‍රවර්ගය යටතේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමේ ප්‍රයත්නයක් ලෙසද සැලකිය යුතු බව විශ්වාස කරයි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි තිබූ පෝස්ටුවක් බෙදා ගැනීම මෙම අත්අඩංගුවට ගැනීමට හේතුව බව දක්වා තිබේ. මැයි මස 21 වැනිදා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ගොස් සහකාර ඉඩම් නිරවුල් කිරීමේ කොමසාරිස් ලෙස  කොත්මලේ සේවය කළ චමිල ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන ඇත. මැයි 22 වැනිදා, දණ්ඩනීති සංග්‍රහයේ 120 යටතේ ‘රජයට එරෙහිව ජනතාව කුපිත කිරීම‘ යන චෝනාව මත කොළඹ අංක 7 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු චමිල ඉන්දික ජයසිංහ ඇප මත මුදාහැරීමට මහේස්ත්‍රාත් ටී. ප්‍රභාකරන් මහතා නියෝග කර තිබේ. පොලිසිය ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර ඇත.

මහජන කැළඹීම්වලට හේතු පාදක වන බව සඳහන් කරමින්, මෙවැනි අදහස් පළ කිරීම් රාජ්‍ය සේවකයන් බිය ගැන්වීමට භාවිතා කිරීමේ තර්ජනය නිසා යහ ආණ්ඩුකරණයකට අත්‍යවශ්‍ය සුපිළිපන් බව දිරි ගැන්වීමට දායක වීමෙන් රාජ්‍ය සේවකයන් ඈත් වීමට ඉඩ තිබේ. එසේම රාජ්‍ය සේවකයින්ද පුරවැසියන් ලෙස ව්‍යවස්ථාවෙන් හිමිව ඇති සෑම අයිතිවාසිකමක්ම අනුල්ලංඝනීයව භුක්ති විඳීමට හිමිකම ඇති පිරිසක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවැනි සිදුවීම් සමාජයේ පිළිකුලට භාජනය විය යුත්තක් ලෙස සළකමින් හෙළා දකියි.

 

සීතා රංජනී     

කැඳවුම්කරු                                                             

ලසන්ත ද සිල්වා

ලේකම්

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *