පොහොර නැති රටක ගොවිතැන – අනුර සූරියබණ්ඩාර

මෙරට ගොඩ මඩ ගොවිතැනට රසායනික පොහොර හඳුන්වාදී තවම දසක කිහිපයකට වඩා ගෙවී නැත .ඉතිහාසයක් පුරා ගොවිතැනට හුරුව සිටි මෙරට ජනතාවට අතීතයේදී රසායනික පොහොර අවශ්‍ය නොවූයේ වගාබිම් බහුල වීම යැපෙන්නන් අඩුවීම වැනි දේ හේතුවෙනි .

එකම භෝගය කාලයක් පුරා එක බිමක වවද්දී පිටතින් පොහොර වගා භූමියට යෙදීමට සිදුවේ .එහිදී ගත හැකි පියවර වන්නේ එක්කෝ කාබනික පොහොර යෙදීමය නැතහොත් රසායනික පොහොර යෙදීමය .

ගෙවතු වගාවේදී එය කෙරෙනුයේ සුලු පරිමානයෙන් වන බැවින් කාබනික පොහොරින් කළ හැකි වුවද ව්‍යාපාරික සහ මහපරිමාන වගාවන් හිදී කාබනික පොහොර කෙරෙහි විශ්වාසය තැබීම එතරම් ප්‍රායෝගික නොවන්නේ කාබනික පොහොර බහුල නොවීම සහ ඒවාහි ප්‍රතිඵල රසායනික පොහොරවල තරමට කඩිනම් නොවීම හේතුවෙනි .

දැනට දසක ගණනාවක් තිස්සේ මෙරට කෘෂි කර්මාන්තය ක්‍රියාත්මකව ඇත්තේ රසායනික පොහොර කෙරෙහි බර තැබූ තත්වයන් තුළ වන බැවින් කාබනික පොහොර කෙරෙහි යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් එය කළ යුතු වන්නේ මනා සැලසුමකින් සහ කළමනාකරණයකින් යුතුවය .එනම් ක්‍රම ක්‍රමයෙන් කාබනික පොහොර හඳුන්වා දෙමින් රසායනික පොහොර වගා බිම් වලින් ඉවත් කිරීමයි  .

කාබනික පොහොරින්ම ගොවිතැනෙහි යෙදෙන පිරිසක් මේවන විටත් මෙරට සිටිති . ඔවුන් මුහුණදෙන ගැටලුව වන්නේ කාබනික පොහොරින් තරමට සරු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වීමයි. දැනට භාවිත කෙරෙන බීජ කාබනික ගොවිතැනට කෙතරම්නි ගැළපේද  යන්නනද ගැටලුවකි . භූමියකින් සාපේක්ෂව අඩු අස්වැන්නක් ලැබෙන්නේය යන්නෙහි තේරුම එම භූමියේදී ආදායමද අඩුවීම යන්නය .නිදසුනක් ලෙස රසායනික පොහොර යෙදීමෙන් අක්කරයකින්  ලබත හැකි අස්වැන්න කාබනික පොහොරින් ලබා ගත නොහැකි නමුත් එකී වගා බිමට යෙදිය යුතු ශ්‍රමය ආදී යෙදවුම් වල වෙනසක් වන්නේ නැත .බිම් සැකසීම පැළ සිටුවීම ආදි කටයුතු වලට යෙදිය යුතු පිරිවැය අඩුවන්නේද නැත . කාබනික ගොවිතැන ලාභදායී නැත යන අදහසට පදනම් වනුයේ ඒ තත්වයයි.

පසුගිය කාලයේ වල් නාශක සම්බන්ධයෙන්ද ආණ්ඩුව ජනප්‍රිය තීරණයක් ගනිමින් වල්නාශක තහනම් කළේය . ප්‍රතිඵලය වූයේ ගොවියාට ගොවි බිමෙහි වල් මර්දනය කර ගැනීමට තිබුණු අඩු වියදම් සහ පහසු ක්‍රමයක් අහිමි වීමයි . වල් නාශක මගින් එක් පුද්ගලයකු යොදවා දිනකදී කරන වල් මර්දනයට වල් නාශක නොමැතිව මිනිස් ශ්‍රමයෙන් පමණක් කරන්නේ නම් මිනිසුන් කිහිප දෙනෙක් යෙදවීමට සිදුවේ . ඇතැමි විට ඊට දින කිහිපයක් වුව ගත වන්නට පූළුවන . එහි අදහස පිරිවැය ඉහළ යාමය . අනෙක් කරුණ වන්නේ ශ්‍රමය සපයා ගැනීමේ දුෂ්කරතාව ය .වල් නාෂක තහනම හේතුවෙන් මෙරට වී ගොවියා පමණක් නොව තේ , කෙසෙල් එළවළු ඇතුළු ගොවීන්ට ඉමහත් දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවිය . එසේම තේ කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඒ හේතුවෙන් උදාවිය .රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන්  මෙරට ගොවියා වල් නාශක තහනමේදී  මුහුණදුන් තත්වයටත් වඩා බරපතළ දුෂ්කරතාවකට මුහුණදෙනවාට සැක නැත .

මේ මොහොතේ රට පුරා ගොවීන්ගේ මැසිවිල්ල වන්නේ වගාවට පොහොර නොමැතිය යන්නය . වී ගොවිතැන සම්බන්ධව ගත් කල ගොවීන් මේ කන්නයේ වගා කටයුතු ආරම්භ කළේ ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය ලබා දෙනු ඇතිය යන බලාපොරොත්තුවෙන් යුතුවය .නමුත් කන්නය මැදදී ගොවියාට මිලදී ගන්නටවත් පොහොර නැත .කවර භෝගයකට වුවද නිසි දිනගණන් වලදී ඒඒ පොහොර නියමිත පරිදි යෙදිය යුතුය . එසේ නැති විට අස්වනු අඩුවේ .අස්වනු අඩුවීම යනු එක් අතකින් ගොවියාගේ ආදායම පහළ බැසීමයි .එය වක්‍ර ආකාරයෙන් ගොවියා ගොවි බිම්වලින් ඉවත් කිරීමටද හේතුවක් වනු ඇත .අස්වනු අඩුවීම හේතුවෙන් අනෙක් පැතතෙන් රටේ ආහාර හිඟයක් ඇතිවේ . ඉල්ලුමේ තරමට සැපයුම නැතිවිට මිල ඉහළ යන්නේය යනු ආර්ථික විද්‍යාවේ ඉගැන්වීමකි . ඒ අනුව වැඩි මිලට ආහාර ද්‍රව්‍ය මිලයට ගැනීමට පාරිභෝගිකයාට සිදුවේ .එනම් ජනතාවගේ එදිනෙදා වියදම හෙවත් ජීවන වියදම ඉහළ යාමය .

පරිභෝජනයට අවශ්‍ය පමණට ආහාර රට තුළ නිපදවෙන්නේ නැතිවිට ඒවා ආනයනය කරන්නට සිදුවේ . රසායනික පොහොර ආනයනය නොකිරීමෙන් ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ඩොලර් පිරිමසා ගැනීම නමි රටට අවශ්‍ය ආහාර පිටරටින් ගෙන්වීමට සිදුවීමෙන් ඒ අරමුණද ව්‍යර්ථ වනු ඇත .

කාබනික ගොවිතැන යනු යහපත් සංකල්පයකි .කාබනික භෝග සඳහා ලෝක වෙළඳපොළේ හොඳ ඉල්ලුමක්ද තිබේ . කාබනික නිශ්පාදනවලට ඉහළ මිලක්ද ලැබේ. නමුත් , කාබනික ගොවිතැන  ගහෙන් ගෙඩි එන්නා සේ කඩිමුඩියේ කළ හැකි යැයි සිතන්නේ නම් වරදකි .ඩොලර් අවශ්‍යතාවක් රටට ඇත්නම් වඩාත් නිවැරදි පියවර වන්නේ පොහොර ආනයනය නතර කිරීම නොව අපනයන කෘෂිකර්මය  ප්‍රචලිත කිරීමය .

රසායනික පොහොර කෙරෙහි විරෝධතාවයක්ද කාලයක පටන්ම මෙරට තිබේ . වකුගඩු රෝග ආදියට රසායනික පොහොර සහ කෘමි නාශක වල් නාශකවල බලපෑමක් ඇතැයි කියැවෙන බැවිනි .එහෙත් රසායනික පොහොර හෝ වල් , කෘමි නාශක සහ ඉහත රෝග  අතර සම්බන්ධතාවය විද්‍යාත්මකව තහවුරු කරන ලද්දක් නොවේ . ඉහත රෝග සහ රසායනික යෙදවුම් අතර සම්බන්ධතාවයක් ඇතිද යන්න පරීක්ෂණ නිරීක්ෂණ මගින් තහවුරු කළ යුතුව තිබේ .අනෙක් අවශ්‍යතාවය වන්නේ මෙතෙක් මෙරට භාවිතා කෙරුණු රසායනික පොහොරවල ප්‍රමිතිය නියමාකාරයෙන් පැවතුණේද පවතීද යන්න සොයා බැලීමය .අධි ප්‍රමාණ වලින් පොහොර යෙදීම හෙවත් අවශ්‍ය තරම ඉක්මවා පොහොර යෙදීම මෙරට කෘෂිකර්මාන්තයේ නිතර දක්කට ලැබේ . පමණ ඉක්මවා පොහොර යෙදීම පසට හානිකරය . පොහොර ආනයනය සඳහා වැය කෙරෙන මුදල ඉහළ යාමටද එය හේතුවේ .අවශ්‍ය පොහොර අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට කටයුතු කරන්නේ නම් ගොවිතැන වඩාත් සාර්ථකව පවත්වා ගත හැකිවනු ඇත . පොහොර තහනමට වඩා එය ප්‍රායෝගිකද වනු ඇත .අනෙක් කරුණ වන්නේ පසට අවශ්‍ය සංඝටක මොනවාද යන්න පිළිබඳ අවබෝධයෙන් තොරව පොහොර යෙදීමය

බලධාරින්ගේ වගකීම වන්නේ පසෙහි තත්වය පරීක්ෂාකර අවශ්‍ය පොහොර නිර්දේශ කිරීම ආදි කටයුතු මගින් ගොවිතැන දිරිමත් කිරීමය .පොහොර  තහනමෙන් සිදුව ඇත්තේ ගොවියාට ගොවිතැන එපාවීමය .

ආනයන ආදේශනයට ගිය සිරිමා බණ්ඩාරනායකට සිදුවූ දෙයම රසායනික පොහොර නිසා මේආණ්ඩුවටත් සිදුවනු ඇත .

  අනුර සූරියබණ්ඩාර

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *