සජිත්ට එරෙහි සජබ කැරැල්ලක්; පක්ෂයේ තීරණ නොතකා රජයේ රණවිරු සමරුවට ගියැයි විරෝධය

සමගි ජන බලවේගය පක්ෂය තුළ එහි නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඇති විරෝධය මේ වනවිට තවත් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. පක්ෂ නායකයන්ගේ පොදු තීරණ නොසලකා රජයේ රණවිරු සමරු උළෙලට සහභාගී වීම ඔහුට එරෙහිව බරපතළ විරෝධයක් වර්ධනය වීමට හේතු වී තිබේ.

කොවිඩ් වසංගතය උපරිම ලෙස වර්ධනය වී ඇති මේ මොහොතේ සමරු උත්සව පැවැත්වීම අනුමත නොකළ යුතු බව සහ ආණ්ඩුවේ එම උළෙලට සහභාගී නොවිය යුතු බව සජබ නායකයින් බහුතරයේ මතය වී තිබේ. එම තීරණය නොතකා සජිත් ප්‍රේමදාස මහතා උත්සවයට සහභාගී වීම පක්ෂයේ බහුතරයේ කෝපයට හේතු වී ඇති බව කියති.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි කළ අවස්ථාවේ එය ලබා ගැනීමට සටන් කළ යුතු බව පක්ෂයේ බහුතරය කියද්දී එම පුරප්පාඩුවට දිවුරුම් දීමට අජිත් මාන්නප්පෙරුම මහතාට උපදෙස් දීම ගැන ද මීට පෙර විශාල විරෝධයක් වර්ධනය වී තිබිණි.

ඒකාධිපති හැසිරීම, නායකත්ව ලක්ෂණ නොවීම, සිය බිරිඳ සහ හිතවතුන් සමග පක්ෂයේ කටයුතු මෙහෙය වීම  ඇතුළු තවත් හේතු ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව විරෝධය වර්ධනය වීමට හේතු වී ඇති බව කියති.

පක්ෂයේ බහුතරය දැන් සජිත්ගෙන් වෙන් වී ඇති බවත් ඔහු සමග සිටින්නේ සරත් ෆොන්සේකා, රන්ජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල ඇතුළු කිහිප දෙනෙකු පමණක් බවත් තතු දත් ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *