එජාපයෙන් නෙරපීමට එරෙහිව පළාත් පාලන නියෝජිතයින් ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමයි

පක්ෂයේ විනය කඩ කිරීමේ චෝදනා මත එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ පළාත් පාලන නියෝජිතයින් පිරිසක් ඊට එරහිව ගොනු කොට තිබු පෙත්සම් අධිකරණය විසින් අද විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරනු ලැබී ය.

මෙලෙස,ඉකුත් මැතිවරණයේදී සමගි ජන බලවේගයට සහාය පළ කළ  කිරීම නිසා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් 38ක් ගොනු කළ  පෙත්සම්වලට සම්බන්ධ වගඋත්තර කරුවනට නොතීසි නිකුත් කිරීම ද ප්‍රතික්ෂේප කළ අභියාචනාධිකරණය එම පෙත්සම් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළේය.

එම පෙත්සම් සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම් ඉවත දමා ඇත.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන්  මෙම නියෝගය ප්‍රකාශ කළහ .

ගම්පොළ නගර සභාවේ මන්ත්‍රී අනුර ශාන්ත කුමාර, කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් ඇතුලු පලාත් පාලන නියෝජිතයන් තිස් අටදෙනෙකු විසින් මේ පෙත්සම ගොනු කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එහි කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වූහ.

ඉකුත් මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සමගි ජන බලවේගයට තමන් සහාය පළ කළ අතර ඒ හේතුවෙන් සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටියහ.

කිසිදු විනය පරීක්ෂණයක් පැවැත්වීමෙන් තොරව තමන් පක්ෂයෙන් නෙරපීම නීතිවිරෝධී බව පෙත්සම මගින් පෙන්වා දී තිබිණි.

එබැවින් වගඋත්තර කරුවන්ට නොතීසි නිකුත් කර මෙම පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පවත්වන ලෙස පෙත්සම් මගින් ඉල්ලා තිබුණි.

එසේම සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමේ තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස සහ සිය මන්ත්‍රී ධුරය අහිමි කිරීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම වලක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ද පෙත්සම් මගින් ඉල්ලා තිබුණි.

අධිකරණයේ මෙම තීන්දුව අනුව එම පළාත්පාලන නියෝජිතයින් පක්ෂයෙන් නෙරපීම තහවුරු වන අතර ඔවුන්ගේ පළාත් පාලන නියෝජිත තනතුරු අහෝසි කිරීමට ද එය හේතු වෙයි.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *