වැරදි ප්‍රතිපත්ති නිසා කබලෙන් ළිපට වැටීම – ධනනාත් ප්‍රනාන්දු

මා ඉගෙනගත් පාසලේ විදුහල්පතිව සිටි අභාවප්‍රාප්ත බොනී ප්‍රනාන්දුපුල්ලේ පියතුමා කතන්දර සහ උදාහරණ මගින් සිසුන්ට උපදෙස් දීමට පුරුදුව සිටියේ ය. සිසුන්ට උපදෙස් දීමට ඔහු නිතර යොදාගත් ප්‍රශ්නයක් වුයේ “ හොඳ කේතලයක් සහ නරක කේතලයක් අතර වෙනස ඔබ දන්නවාද ?” යන්න යි. ඒ දෙක ම පෙනුමෙන් එක හා සමාන ය. දෙකේ ම ශබ්දය එක ම ය. දෙකෙන් ම සිදුවන්නේ වතුර රත්කිරීමේ එක ම කාර්යය යි. කොයික හොඳ ද? කොයික නරක ද? කියා පෙන්නුම් කරන්නේ කාලය පමණකි. ජීවිතයේ අමාරු පරීක්ෂණ වන්නේ වාර විභාගය හෝ අධ්‍යයන වාර අවසාන පරීක්ෂණය හෝ නොවන බව කියන්නට ඔහු පුරුදුව සිටියේ ය. ශිෂ්‍යයින් ලෙස ඔබ, ඔබ විසින් ම මුහුණ දීමට පුහුණු විය යුතු පරීක්ෂණය වන්නේ ‘කාලයේ පරීක්ෂාව ‘ බව ඔහු කීවේ ය. මෙම උපදේශය ප්‍රිය කළ මම අද දක්වා එය මතක තබා ගතිමි.

ගෝලීය වසංගතයේ වසරක කාලය, අපගේ ආර්ථික ප්‍රතිපත්ති සහ 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය සම්බන්ධයෙන් ලිට්මස් පරීක්ෂාවක් බවට පත්ව ඇත. “ කාලයේ පරීක්ෂාව “ පිලිබඳ කාරණයේ දී, ශ්‍රී ලංකාව කුමන ස්ථානයක සිටින්නේ ද යන්න කෙනෙකුට මෙමගින් තේරුම් ගත හැකි වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව මගින් ඇගයීමක් සඳහා ඇතැම් සංඛ්‍යාත්මක දැක්මක් සපයයි. අපගේ ආර්ථිකය සියයට 3.6 ක් පමණ ප්‍රමානයකින් හැකිලී ඇත. අපගේ ණය සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය සියයට 101 ඉක්මවා ගොස් තිබේ. රජයේ ආදායමේ අඩුවීම රුපියල් ට්‍රිලියනයකින් අඩක් තරම් වෙයි. ආදායම දළ ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට 2019 දී පැවති 12,9% සිට 9.3 % දක්වා අඩු වී තිබේ. අද පවතින අදායම සහ දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතය අපේ මට්ටමේ සංවර්ධනය වන රටවල් අතර අවම අගය යි. අප දැනට මුද්‍රණය කොට ඇති රුපියල් බිලියන 650 ක් වන මුදල් ප්‍රමාණයට අමතරව නුදුරු අනාගතයේ  තවත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට මෙමගින් අපව පොළඹවනු ඇත.  මෙයට ප්‍රතිවිරුද්ධ ලෙස 2019 දී ශ්‍රී ලංකාව මුද්‍රණය කොට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 4 ක් පමණකි. අගුලු දැමීම් දෙක සහ දශක ගණනාවක් තිස්සේ රට මුහුණ දී සිටින ආර්ථික ප්‍රශ්න අද තිබෙන තත්ත්වයට හේතු වී තිබේ. මෙම දත්ත පුදුම විය යුතු ඒවා නොවේ. වසර තුළ අප රටේ කණගාටුදායක කාර්ය සාධන තත්ත්වය පිළිබඳව 2020 වර්ෂය අවසන් වන විටත් අප සියලු දෙනාට බරපතළ කලකිරීමක් සහ සාධාරණ තක්සේරුවක් තිබිණි.

ලඟා වෙමින් තිබෙන ආර්ථික පසුබෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට හොඳ අවස්ථාවක් 2021 අයවැය ලේඛනය ඉදිරිපත් කරන විට ශ්‍රී ලංකාවට ලැබිණි. මාස පහකට පසුව අයවැය දෙස ආපසු හැරී බැලීමේ දී පෙනී යන්නේ ඇතැම් ප්‍රතිපත්ති ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මීට වඩා හොඳින් කටයුතු කිරීමට අපට හැකියාව තිබුණු බව යි.

2021 අයවැයේ පැවතී ප්‍රධාන අඩුපාඩු දෙකක් මීට පෙර පෙන්වා දී ඇත්තෙමු. එකක් නම් කොවිඩ් 19 ට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීමක් සහ ස්ථිර සැලැස්මක් නොමැති වීම යි. දෙවැන්න , ශ්‍රී ලංකාවට අභියෝගයක් වී ඇති ණය සේවාකරණය  සඳහා  විශ්වාසනීය ක්‍රියාකාරී සැලැස්මක් නොමැති වීම යි. කොවිඩ් 19 සමග සටන් කිරීමෙන් තොරව, ආර්ථිකයට ඇති බලපෑම අවම කිරීම අපහසු බව පැහැදිලි වී තිබේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ ඇතැම් අදහස් මගින්, වෙනත් රටවල නිෂ්පාදනය කරන එන්නත් ලබා ගැනීමට සම්පත් වෙන් කිරීම ප්‍රශ්න කළ අතර බහුජාතික සමාගම්වල එන්නත් වෙනුවට ශ්‍රී ලංකාවේ අත්හදා බැලීම්වල අවශ්‍යතාවය අවධාරණය කරනු ලැබී ය. අයවැය ගැන පැවති සංවාද මන්ඩපවල දී , ව්‍යාපාරික නායකයින් රට මුහුණ දී සිටින විශාල ආර්ථික විපත ගැන කිසිදු සැලකිල්ලක් නොදක්වා තමන්ට අදාළ ව්‍යාපාර පිළිබඳව විශාල අවධානයක් යොමුකිරීම පෞද්ගලිකව මා බියට පත් කළේ ය.

මෙම දුර්වල ප්‍රතිපත්ති සහ පාලන උපක්‍රමවල ප්‍රතිඵල වශයෙන්, වෛරසයේ දරුණු තුන්වන රැල්ලට අද අපි මැදි වී සිටිමු. මෙය ආර්ථිකයට, යෝජනා කළ අයවැය පොරොන්දුවලට සහ ව්‍යාපාරවලට අහිතකර ලෙස බලපෑම් සිදු කරමින් පවතියි. ඒ අතර, එන්නත් සඳහා ලෝකයේ ඉල්ලුම අහස උසට නැගී ඇත. එබැවින් අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ටික කලක් බලා සිටීමට සිදුවන බව පැහැදිලි ය.

ශ්‍රී ලංකාවේ ණය සේවාකරන ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් 2021 අයවැය මගින් ඉදිරිපත් නොවී ය. මේ වනවිට මෙම ප්‍රශ්නයේ බරපතළ බව සඟවන එක ම කරුණ වන්නේ, මේ අවස්ථාවේ රටේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රය මත පැටවී තිබෙන විශාල බර පමණකි.

මේ අතර, ශ්‍රී ලංකාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් එල්ලවන පීඩනයත් සමග භූ දේශපාලනික ආතතීන්ට ද මුහුණ දීමට සිදු වී ඇත්තේ, ඒවා සමග පැමිණෙන ආර්ථික අවහිරතා සහ බලපෑම් ද සමග ය. මහ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාවේ සඳහන් පරිදි , අපගේ අපනයනයන්ගෙන් 60% කට වැඩි ප්‍රමාණයක් යවනු ලබන්නේ එක්සත් ජනපදය, ඉන්දියාව, ජපානය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපා සංගමයට යි. මෙම සියලු ම රටවල් ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන උත්සාහයන් පිළිබඳව කනස්සල්ල ප්‍රකාශ කොට ඇත.

කොවිඩ් 19 වසංගතයේ පළමු අවස්ථාවේ ඇති වූ කම්පනයේ දී, මෙන් නොව, වසරක් ගතවන විට, අති විශාල අභියෝග හමුවේ වුව ද, ඇතැම් රටවල් වර්ධනයක් අත් කරගෙන ඇත. ඒ අනුව, ආයෝජක ආකල්ප සහ ව්‍යාපාරික ඉදිරි දැක්ම අනුව කල් ගතවන විට, කලාපයේ සහ ගෝලීය වශයෙන් ද ව්‍යාපාර කිරීමේ හොඳ හැකියාවක් ඇති, නවොත්පාදකයෝ  සහ ඉක්මනින් අනුගත වන්නෝ  තත්ත්වය තේරුම් ගනිති.  ආයෝජකයින්ගෙන්, ව්‍යාපාරවලින්, දේශීය පරිත්‍යාගශීලීන්ගෙන්, ජාත්‍යන්තර ආධාර සංවිධානවලින් සහ ලෝකයේ වෙනත් අයගෙන්, මුල් කොවිඩ් රැල්ලේ දී අපට හිමි වූ අවධානය සහ ප්‍රමුඛතාවය මෙම අලුත් රැල්ලේ දී අපට නැවත නොලැබෙනු ඇත. විශේෂයෙන් එසේ වන්නේ අපගේ ප්‍රතිපත්ති තීරණ, ඉදිරි දැක්මකින් සහ සාමාන්‍ය බුද්ධියෙන් තොර වූ විට ය. කොවිඩ් කළමනාකරනය සඳහා පිහිටුවනු  ලැබූ ‘ඉටුකම’ අරමුදලෙන් වියදම් කොට ඇත්තේ 6%ක්  පමණක් බව සහ රුපියල් බිලියන 1.7 ක් ඉතිරිව ඇති බව කියන  public finance.lk හි පල වූ වාර්තාව එක් උදාහරණයක් පමණකි. මෙම අරමුදලට ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පරිත්‍යාග කළ අතර දැන්, අපගේ උත්සාහයේ බැරෑරුම්කම පිළිබඳව, දේශීය සහ ජාත්‍යන්තර සමාගම් සැක පහළ කරනු ඇත.

අපට තෝරා ගැනීමට සිදු වී තිබෙන්නේ එක තරම් ම නරක ප්‍රතිවිපාක දෙන තෝරා ගැනීම් දෙකක් අතුරින් එකකි. මහජනයාගේ ගමන් බිමන් සීමා කිරීම ආර්ථික ක්‍රියාකාරීත්වයට අහිතකර ලෙස බල පෑ හැකි අතර ගමන් බිමන් සඳහා ඉඩ දීමෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය වැඩි වීමත්, එය නැවතත් ආර්ථිකයට සහ මහජනයාගේ ජීවනෝපායට අහිතකර ලෙස බලපෑමත්, සිදුවනු  ඇත. වෛරසය පාලනය කිරීමට අපට එන්නත් අවශ්‍ය වන නමුත් පළමුවෙන්, අපගේ විදේශ විනිමය තුලනය කර ගන්නා ගමන් එන්නත් ලබා ගැනීමට අපට හැකි විය යුතු ය. ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනය මෙන් ම ක්‍රියාත්මක කිරීම ද කණ්ඩායම් ක්‍රීඩාවකි. නිවැරදි ප්‍රතිපත්ති පමණක් නොව, ක්‍රියාත්මක කිරීම ද වැදගත් වෙයි. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් අපට සිටිය ද, අප ක්‍රියාත්මක කරන්නේ වැරදි ප්‍රතිපත්ති නිර්දේශ නම්, එහි ප්‍රතිඵල කාලයේ පරීක්ෂාවෙන් සමත් වන්නේ නැත. අවාසනාවකට, 2021 අයවැය ඉදිරිපත් කිරීමෙන් මාස පහකට පසුව, අපගේ ප්‍රතිපත්ති කිසිවක් හෝ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම් කිසිවක් හෝ කාලයේ පරීක්ෂාවන් සමත් වීමට හැකියාව ලබා නැත. 2021 අයවැය පමණක් නොව, ඊට පෙර අයවැය ලේඛන සහ වසර ගණනාවක් තිස්සේ අපගේ ආර්ථික ප්‍රතිපත්ති ද , ධනාත්මක ප්‍රතිඵල ලබා දීමට අපොහොසත් වී ඇත. මොහොතක් නැවතී අප කල්පනා කළ යුතු වන්නේ අප කුමන ආකාරයේ කේතලයක් ද යන්න ගැන යි. අප හොඳ එකක් ද ? නරක එකක් ද? “ අප ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්ති සමග කාලයේ පරීක්ෂාවට මුහුණ දීමට අපට හැකි වී තිබේ ද?” යි අපි අපගෙන් ම විමසිය යුත්තෙමු.

ධනනාත් ප්‍රනාන්දු

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *