|

කාබනික කෘෂිකර්මාන්තය – හදිස්සි ම නම්, හිමින් යමු – මහාචාර්ය බුද්ධි මාරඹේ

‘පොහොර දියව්’ – මේ පසුගිය දිනවල පුද්ගලික රුපවාහිනී නාලිකා වල ප්‍රවෘත්ති විකාශනයේදී අසන්නට දකින්නට ලැබුණු දෙයකි. මෙය නව සටන් පාඨයක් නොවුවද, මෙවර එය එලි දකින්නේ ශ්‍රී ලංකාවට රසායනික පොහොර සහ පලිබෝධනාශක ආනයනය තහනම් කර ඇති අවධියක දිය. ඒ තහනම දින කිහිපයකට පෙර ගැසට්ටුවක් මගින් පැනවුවා පමණි. ක්ෂේත්‍රයේ පොහොර මාෆියාවක් බිහි වී ඇතැයි දැනගන්නට ඇත. මෑතකදී පැවති කැබිනට් තොරතුරු දැනුම් දීමේ මාධ්‍ය හමුවකදී, දැනට අවශ්‍යතරම් පොහොර රට තුල ඇති බවත්, සමාගම් දෙකක් මගින් ඒවා බෙදා හැරීම සඳහා වෙළඳපල යාන්ත්‍රණය සකසමින් සිටින බවත් ප්‍රකාශ කෙරුණි. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය පොහොර සඟවා ගෙන සිටි තොග සහ සිල්ලර වෙළඳුන්ගේ ව්‍යාපාරික ස්ථාන වටලන ආකාරය ද ප්‍රවෘත්ති ප්‍රකාශ වලින් දුටුවෙමු. එහෙත් තවමත් එම පොහොර අවශ්‍ය ප්‍රමාණයෙන් ගොවිබිමට ලඟාවී නොමැති බවක් පෙනේ. ගොවි ප්‍රජාව මෙම අදෝනාව නගන්නේ එම නිසාය. තමන්ගේ මුල්‍යමය හැකියාව අනුව, ඉදිර වගා කටයුතු සඳහා රසායනික පොහොර වැඩිපුර ගබඩා කරගත් කෘෂි නිෂ්පාදකයන්ද නැතුවා නොවේ. මෙය රජය ගත්තාවූ රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ ප්‍රතිපත්තියෙහි වරදක් නොව, එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී එළඹී තීරණයකට විවිධ ජන කොටස් ප්‍රතිචාර දක්වන ආකාරයයි.

කාබනික රටක් – ගෝලීය ආදර්ශ

පරමාර්ථය කෙතරම් අගනා වුවද කාබනික පොහොර වලින් පමණක් සමන්විත (පලිබෝධනාශක ගැන පසු දිනක ලියමි) කෘෂිකර්මාන්තයකට ක්ෂණිකව අවතීර්ණ වීමේදී රටක් ලෙස මුහුණ පාන ගැටළු බොහොමයක් පවතින බව පැහැදිලිය. කාබනික කෘෂිකර්මාන්තය දිර්ඝකාලින ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව කියුබාව වැනි රටවල් වලින් හොඳ උදාහරණ ගත හැකිය. කෙසේ වෙතත් දේශයක කෘෂිකර්මාන්තය සම්පුර්ණයෙන්ම කාබනික බවට පත් කිරීමේ සංකල්පය මුලින්ම ඉදිරිපත් කලේ භුතානයයි. 2014 වසරේදී රොයිටර් ප්‍රවෘත්ති වාර්තා වල දැක්වෙන පරිදි 2020 වසරේදී තම රට ලොව ප්‍රථම පුර්ණ කාබනික දේශයක් බවට පත්කරන බව එහි රාජ්‍ය පාලකයන් විසින් ප්‍රකාශයට පත් කෙරුණි. ඔවුන්ට අවුරුදු පහක හොඳ සැලැස්මක් තිබුණි.

2020 වසර ඉලක්ක කරගෙන, භුතාන රජය විසින් 2015 වසරේදී ආරම්භ කරන ලද කාබනික කෘෂිකර්ම ක්‍රියාවලිය පිලිබඳ පසු විපරමක් කල එරට කෘෂිකර්ම සහ වන සම්පත් අමාත්‍යංශය, අන්තර්-රාජ්‍ය ආයතනයක සහයෝගය ඇතිව 2018 වසරේදී තම දේශය කාබනික කෘෂිකාර්මික රටක් බවට පත්කිරීමේ ක්‍රියාමාර්ග යාවත්කාලීන කළේය. භුතාන රජය පිළියෙළ කල සම්පුර්ණ ලියවිල්ල “කාබනික කෘෂිකාර්මික සංවර්ධන උපායමාර්ග: 12 වන පස් අවුරුදු සැලැස්ම හා ඉන් ඔබ්බට වූ මාර්ග සිතියම” (Organic Agriculture Development Strategies: Roadmap for 12th Five Year Plan and Beyond) ලෙස https://lib.icimod.org/record/33841 වෙතින් බාගත හැක. එහි සඳහන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග බොහොමයක් 2021 මැයි මස 10 වනදා ස්ථාපනය කල, දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායට ද වැදගත් වේ යයි සිතමි. එහෙත් භුතාන රජය පිළියෙළ කල මාර්ග සිතියම, යම් කාල පරාසයක් තුල තම අරමුණු කරා ළඟාවීමට ගත් උත්සාහයකි. මෙම භුතාන මාර්ග සිතියමේ සාරාංශයේ පළමු පරිච්චේදය අපට ඉතා වැදගත් පාඩමක් කියාදෙයි. එම පරිච්චේදය සිංහලට පරිවර්තනය කර පහත දක්වමි. .

“භූතානයේ ප්‍රකාශිත දැක්ම වන්නේ 2020 වන විට 100% කාබනික දේශයක් බවට පත් වීමයි. කෙසේ වෙතත්, ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ කෘෂිකර්මාන්තයේ ආනයන ආදේශන ලබා ගැනීමේ අභිලාෂය සැලකීමේදී, මෙම දැක්ම පිලිබඳ බරපතල නැවත ඇගයීමක් කිරීමට සිදුව ඇත. ප්‍රායෝගික මට්ටමින්, 2018 සිට තව වසර තුනක් පමණ ඉතිරිව ඇතත්, මෙම ඉලක්කය පරිපූර්ණ ලෙස සාක්ෂාත් කර ගැනීම කළ නොහැක්කක් සේම ප්‍රායෝගික නොවේ. විශේෂයෙන් භූතානය එහි ආහාර අවශ්‍යතාවයෙන් 50% ක් පමණ ආනයනය කිරීම ඇතුළු අනෙකුත් අභියෝගයන් සැලකිල්ලට ගත් කල 100% ක කාබනික කෘෂිකර්මාන්තයක් අරමුණු කර ගැනීම කෙටිකාලීන ව සහ මධ්‍ය කාලීන ව ප්‍රායෝගික නොවේ. එසේ වුවද, ඒ දිශාවට ගමන් කළ හැක. ප්‍රධාන වශයෙන් ගත් කල කාබනික කෘෂිකර්මාන්තය, විශේෂයෙන් තෝරාගත් භෝග සහ කෘෂි පාරිසරික පිහිටීම් සඳහා, අදියර කිහිපයකින් සහ දිගුකාලීන රාමුවක් තුල ප්‍රවර්ධනය කෙරේ”.

විශේෂයෙන් භූතානය එහි ආහාර අවශ්‍යතාවයෙන් 50% ක් පමණ ආනයනය කිරීම ඇතුළු අනෙකුත් අභියෝගයන් සැලකිල්ලට ගත් කල 100% ක කාබනික කෘෂිකර්මාන්තයක් අරමුණු කර ගැනීම කෙටිකාලීන ව සහ මධ්‍ය කාලීන ව ප්‍රායෝගික නොවේ.

ඉහත පරිච්චේදයෙන් උගත හැකි පාඩම් බොහෝය. ශ්‍රී ලකා රජය සම්පුර්ණයෙන්ම කාබනික කෘෂිකර්මාන්තයක් කරා යොමුවීමට ගත් තීරණය වැදගත් බව මෙහිලා සඳහන් කරන අතර එය අභියෝගයට ලක් නොකරන බවද උදක්ම පවසමි. එහෙත් එය සිදුකල යුතු ක්‍රියාමාර්ගය වඩාත් ප්‍රායෝගිකව දිර්ඝකාලිනව සැලසුම් කල යුතු බව පෙන්වා දීම මේ ලිපියේ අරමුණයි. ලිපිය දීර්ඝ නොවීමට කරුණු කිහිපයක් පමණක් පෙන්වා දෙමි. කෘෂි රසායනවල අවභාවිතයේ සෞඛ්‍ය සහ පාරිසරික ගැටළු ඇති පමණින් විස්තර කර ඇති නිසා, මෙම ලිපියෙන් ඒ ගැන සාකච්චා නොකරමි. කාබනික වගාවකින් සැපයෙන ආහාර වල ඇති ගුණාත්මක භාවයක් ගැන සාකච්චා කිරීමද මෙහි අරමුණ නොවේ.

කාබනික පොහොර අවශ්‍යතාව සැපයීම

රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව අපට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම දැන් සිටම ආරම්භ කලයුතු බව සත්‍යයකි. ඒ සඳහා යෝග්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය පමණින් තිරසාර ලෙස සපයා ගැනීමට දීර්ඝ කාලින සැලැස්මක් අවශ්‍ය බව නොකිවමනාය. ගෙවතු මට්ටමේ දී කාබනික පොහොර, දියර පොහොර ද ඇතුළුව, සාදා ගත හැකි ආකාරය අපි දැන සිටිමු. අපේ රටෙන් ලබා ගතහැකි අනෙකුත් සම්පත් භාවිතයෙන් කාබනික පොහොර සැදීම පිලිබඳ දැනුමත් අප සතුව ඇත. මේ අතරතුර, ගෝලීය වශයෙන් කාබනික කෘෂිකර්මාන්තයේ යොදාගත් කාබනික පොහොර සහ අදාළ තාක්ෂනය දැන් පරිණත වී ඇති නිසා එම පොහොර සහ තාක්ෂනය අපට පහසුවෙන් යොදා ගත හැකි යයි තර්ක මතුවීම සාධාරණය. එහෙත් එම ද්‍රව්‍ය අපේ පරිසර පද්ධතිය තුල ක්‍රියාත්මක වන ආකාරය පිලිබඳ විද්‍යාත්මක ඇගයීමක් කල යුතු වුවද, එය ක්ෂණිකව කිරීම අපහසුය. කාබනික දියර පොහොර සහ කොම්පෝස්ට් සඳහා වූ ප්‍රමිතිය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් මෑතකදී එලි දක්වන ලදී. ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වාණිජ මට්ටමේ ඇති කාබනික පොහොර වල, දියර පොහොරද ඇතුළුව, ප්‍රමිතිය පිලිබඳ මෙහිදී සාකච්චා නොකරමි. ඒවා මා නොදන්නා නව තාක්ෂණයෙන් බිහිවූ නිෂ්පාදන ද විය හැක.

මෙවන් අවිනිශ්චිත අවස්තාවලදී රටක් තුල බොහෝවිට සිදුවන්නේ නව ව්‍යවසායකයන් බිහිවීමය. නව ව්‍යාපාර ඇතිවීමය. එය අගය කල යුතුය. එහෙත් කල දුටු කල වල ඉහ නොගෙන, කාබනික පොහොර හා තාක්ෂනය අදාළ රාජ්‍ය ආයතනවල පර්යේෂණ වලින් පසු කරන නිර්දේශ වලට අනුව භාවිතයට යෙදවීමට වග බලා ගත යුතුය. එසේ කළ යුත්තේ වාණිජ අරමුණු පදනම් කරගත් කුඨ ප්‍රයෝගයන්ට මුළු රටම හසුවීමට ද ඉඩ ඇති නිසාවෙනි. රටේ හදිසි අවශ්‍යතාව තවත් කෙනෙකුට හෝ කණ්ඩායමකට කෙටි කාලීනව හෝ මුදල් උපයා ගත හැකි හොඳ අවස්තාවක් විය හැක. රසායනික පොහොර සහ පලිබෝධ නාශක ආනයනයේදී ඒවායේ ප්‍රමිතීන් පාලනය සහ අදාළ පර්යේෂණ කරන ක්‍රියා පටිපාටිය ශ්‍රී ලංකාව තුල හොඳින් ස්ථාපනය වී ඇත. නමුත් එයින් ද රිංගා යන ව්‍යාපාරික ආයතන සහ සමහර පුද්ගලයන් ගැන පසුගිය කාලය තුල අපට අසන්නට ලැබුණි. “කබලෙන් ලිපට” වැටීමට අවශ්‍ය නැත.

කාබනික ගෙවතු වගාව

ගෙවත්ත ගැන අපි බොහෝ දේ කතා කර ඇත්තෙමු. රසායනික පොහොර යොදන ගෙවතු සහ කාබනික පොහොර යොදන ගෙවතු දැක ඇත්තෙමු. දේශගුණික විපර්යාස වලට අනුහුරුවිම සඳහා ගෙවතු වගා හැඩ ගැස්විය යුත්තේ කෙසේදැයි පිලිබඳ පසුගිය දශකය පුරාවට මම විවිධ ආයතන වල සේවය කරන පර්යේෂකයන් සමග කටයුතු කරමින් සිටිමි. කාබනික ද්‍රව්‍ය යෙදීම, සත්ත්ව පාලනය වගා පද්ධතියට ඒකාබද්ධ කිරීම වැනි කාබනික ගොවිතැනට රුකුල් දෙන දේ සාර්ථකව කරගැනීමට ඇති හැකියාව ගෙවත්තේ වපසරිය අනුව මෙන්ම, නිවැසියන් ගෙවත්තට වෙන්කරන කාලය සහ දායකත්වයේ ප්‍රමාණය මත ද බලපාන බව දනිමි. ඉන්දියාව, බංගලාදේශය සහ නේපාලය යන රටවල් සමග සහයෝගීතාවෙන් කෙරෙන මෙම පර්යේෂණ වල ප්‍රතිපල අනුව ගෙවත්තක් වුවද කාබනික වගාවට සම්පුර්ණයෙන් යොමු කිරීමට කාලයක් ගත වන බව පෙනේ. මෙය පසක් කරලන මෑත කාලින අත්දැකීමක් වනුයේ 2020 වසරේ රජය සාර්ථකව දියත් කල ගෙවතු වගා වැඩපිළිවෙළේදී සාමාන්‍ය වෙළඳපලේ තිබු රසායනික පොහොර ඉක්මනින් විකිණුනු ආකාරයයි.

සමෝධානික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ නිවැසියන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරා ලීමට, වසර කිහිපයකට පෙර ගෙවතු වල කුකුළු පාලනය දිරි ගන්වමින් සතුන් 10 දෙනෙකු බැගින් ලබා දුන් බව මතකය. මෙය වයඹ පළාතේ සිදු කෙරුනද, එයින් කී දෙනෙක් දැනට තම ගෙවත්තේ කුකුළු පාලනය කරන්නේ දැයි විමසා බැලීම වටී. කෙසේ වෙතත් මා ද සම්බන්ධවූ සමීක්ෂණයකදී, එම ලබාදුන් කුකුලන් ගෙවතු පද්ධතියට අනුහුරු නොවූ වරිගයක් නොවූ හෙයින්, වැඩි කල් ජිවත් නොවූ බව සමහර ගෙහිමියන් විසින් ප්‍රකාශ කෙරුණි. එමගින් නිවැසියන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව කෙටි කාලයකට හෝ සපිරෙන්නට ඇත. හොඳ තීරණයක් වුවත්, ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමේදී අත්වූ අනිසි ප්‍රතිපලයකට මෙය හොඳ උදාහරණයකි. ගෙවත්තක කිරි හරක් ඇතිකිරීම පිලිබඳ මෙහිදී සාකච්චාවට බඳුන් නොකරමි. සතෙකු ඇති කිරීම දරුවෙකු ඇති දැඩි කිරීමට සමානය.

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීමේ මන්දගාමීත්වය

යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices – GAP) යනු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් 2016 වසරේදී, සෞඛ්‍යාරක්ෂිත සහ හොඳ ගුණාත්මයෙන් යුත් ආහාර ශ්‍රී ලාංකිකයින් වෙත ලබාදීමට ක්‍රියාත්මක කෙරුණු, අදටත් ක්‍රියාත්මක වන වැඩසටහනකි. වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්තිය සමග මෙම වැඩසටහනෙහි පරමාර්ථ හොඳින් ගැලපේ. 2014 දී යුරෝපා සංගමයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන එළවලු සහ පලතුරු වල ඇති දුර්වල සනිපාරක්ෂක තත්ත්වය සම්බන්ධ රතු එළියක් දැල්වුණි. එසේ වුයේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව, යුරෝපයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කල එළවලු සහ පලතුරුවල, ඉල් මැස්සා සහ පලතුරු මැස්සාගේ හානිය මෙන්ම එම සතුන්ගේ සමහර කොටස් ද ඇතුලත් වී තිබීමය. වහාම ක්‍රියාත්මක වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ඒවා සහතික කිරීමේ ක්‍රියාවලිය ස්ථාපනය කිරීම සැලකිල්ලට ගෙන යුරෝපා සංගමය විසින් එම රතු එළිය දැක්වූ නිවේදනය ඉවත් කර ගැනීම සතුටට කරුණකි.

2014 දී යුරෝපා සංගමයෙන් කෘෂිකර්ම අමාත්‍යංශයට සහ දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන එළවලු සහ පලතුරු වල ඇති දුර්වල සනිපාරක්ෂක තත්ත්වය සම්බන්ධ රතු එළියක් දැල්වුණි. එසේ වුයේ වෙනත් කිසිදු හේතුවක් නිසා නොව, යුරෝපයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කල එළවලු සහ පලතුරුවල, ඉල් මැස්සා සහ පලතුරු මැස්සාගේ හානිය මෙන්ම එම සතුන්ගේ සමහර කොටස් ද ඇතුලත් වී තිබීමය. වහාම ක්‍රියාත්මක වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහ ඒවා සහතික කිරීමේ ක්‍රියාවලිය ස්ථාපනය කිරීම සැලකිල්ලට ගෙන යුරෝපා සංගමය විසින් එම රතු එළිය දැක්වූ නිවේදනය ඉවත් කර ගැනීම සතුටට කරුණකි.

සෙමින් ඇරඹුණු GAP ක්‍රියාවලියට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් 2016 වසරේදී එළවලු සහ පලතුරු සඳහා ද 2019 වසරේදී සහල් සඳහා ද GAP ප්‍රමිතීන් හඳුන්වා දීම මගින් නව ශක්තියක් එකතු කර ඇත. අනෙකුත් තෝරාගත් ආහාර සඳහා GAP ප්‍රමිතීන් දැනටත් සකස් වෙමින් පවතී. ක්‍රියාවලිය ඉතා සරලය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සපයන නිර්දේශ පැකේජ ඒ අයුරින් ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණයි. කිසිදු යෙදවුමක් අව භාවිත නොකළ යුතුය. සහතිකකරණය සිදුවන්නේ ඒ අනුවයි. සම්මන්ත්‍රණ වලදී දැනුවත් වූ පරිදි, උදාහරණයක් ලෙස, නිවැරිදි තාක්ෂන පැකේජය භාවිතයේදී ගොවි ප්‍රජාව විසින් පලිබෝධ නාශක ප්‍රායෝගිකව යෙදීමේ වාර ගණන 50% කින් අඩුකරගෙන ඇති බව පැහැදිලි ය. පාංශු විශ්ලේෂණයකින් තොරව රසායනික පොහොර භාවිත කල නොහැකි වීම තුලින් පොහොර අධි භාවිතය නවතී. මේ කරුණු දෙකෙන්ම රටේ ඉතිරිවන්නේ විදේශ විනිමයි. නිෂ්පාදන වියදම අඩුවීමෙන් සහ පෙර තිබු අස්වැන්නට සාපේක්ෂව ලැබෙන අස්වැන්නේ කිසිදු වෙනසක් නොවීම හෝ වැඩිවීම තුලින්, සාමාන්‍ය මිලට අස්වැන්න විකුණුවද, ඔවුනගේ ලාභය වැඩිවී ඇත.

පොහොර අධි භාවිතය තුලින් යම් පමණක හෝ වැඩි අස්වැන්නක්, විශේෂයෙන්ම වාර්ෂික බෝග මගින් ලැබීම ස්වාභාවිකය. ගොවි ප්‍රජාව මෙය හොඳාකාරව දනිති. යහපත් කෘෂිකාර්මික පිළිවෙත් වලට යොමුවී තම මුල් කන්න දෙකෙහිදී පමණ අස්වනු අඩුවීම පිලිබඳ ගොවි ප්‍රජාව නැගු මැසිවිල්ල මේ නිසාවෙනි. නොමිලේ හෝ ඉතා අවම මිලකට ලබා දෙන පොහොර භාවිතා කිරීමේදී, අරපරිස්සම සහ පරිසර හිතකාමිත්වය මනසින් බැහැරවීම හුදු මිනිස් ගතියකි. හරිත සමාජ ආර්ථිකයක කරා යන ගමනාරම්භය සඳහා කල යුතුවම තිබුනේ, දේශපාලනික වශයෙන් සංවේදී වුවද, රසායනික පොහොර සඳහා තිබු සහනාධාරය ඉවත් කිරීමය. වටිනා පරමාර්ථයක් මුදුන් පමුණුවා ගැනීමට එය මනා පිටිවහලක් වීමට ඉඩ තිබිණි.

සැම ක්‍රියාවලියකම දුර්වල පැත්තක් ඇත. සමස්ත අස්වැන්නෙහි වෙනසක් නොවුවත්, නිෂ්පාදන වියදම අඩු වුවත්, GAP සහතිකකරණය වූ ගොවි ප්‍රජාව තම නිෂ්පාදනයට වැඩි මිලක් ඉල්ලා සිටී. ගැටලුව ඇත්තේ එතනය. සාමාන්‍ය පාරිභෝගිකයා ගුණාත්මය පිලිබඳ කෙතෙක් දැනුවත් වුවද ඒ වෙනුවෙන් වැඩි මිලක් ගෙවීමට සුදානම් නැත. ඒ ඔවුනගේ මිලදී ගැනීමේ හැකියාව මතය. වෙළඳපල ගැටලුව ඇතිවී ඇත්තේ එතනය.

මෙවන් කරුණු හේතුවෙන් 2021 අප්‍රේල් මස වනවිට යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සඳහා සහතිකකරණයට ලක්ව ඇත්තේ ගොවින් 1400 ක් පමණි. ඒ සඳහා යොමු වී ඇති එළවලු වගා වපසරිය හෙක්ටාර 360 ක් (ආරක්‍ෂිත ගෘහ තුල වගාව මිට ඇතුලත් නොවේ) සහ පලතුරු වගා වපසරිය හෙක්ටාර 800 ක් පමණක් යයි දැනගන්නට ලැබී ඇත. පුර්ණ රාජ්‍ය අනුග්‍රහය, සියලු ආයතන සම්බන්ධීකරණයෙන්, ලැබිය යුතුව තිබුනේ වසර පහකට වැඩි කලක් විද්‍යාත්මකව අත්හදා බලා ඇති මෙම යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතිකකරණය සහ ඒ සඳහා ගොවින් යොමු කිරීම පළාත් මට්ටමින් අනිවාර්ය කිරීමටය. එයද එකවර කල නොහැකි අතර 2022 දෙසැම්බර් මස අවසන් වනවිට එම කාර්යය නිම කිරීමට හැකියාව තිබේ. එම ක්‍රියාවලියට අවතීර්ණ වීමට දැනුදු ප්‍රමාද නැත. ක්‍රියාවලිය වඩාත් ප්‍රායෝගිකය. වාර්ෂික මෙන්ම බහුවාර්ෂික බෝග සඳහාද සත්ත්ව පාලනය සඳහාද අදාළ ආයතන යහපත් පාලන පාලන පිළිවෙත් ඉදිරිපත් කර ඇත. පත්කළ කාර්ය සාධක බලකාය මගින් කල යුත්තේ මෙම ක්‍රියා පිළිවෙල ඉදිරීයට ගෙන යාමය. කෙසේ හෝ වේවා, සෑම පුරවැසියෙකුටම එකසේ දැනෙන කුසගින්න මෙන්ම සුරක්ෂිත සහ ආරක්‍ෂිත ආහාර වේලක අයිතිය සපුරාලීම ජාතියක් ලෙස අප සැමගේම වගකීම වේ.

කාබනික බෝග අස්වැන්න

කාබනික පොහොර පමණක් භාවිත කිරීමෙන් වි අස්වැන්නෙහි වන අඩුවීම මිට පෙර ලිපියකින් සාකච්චා කලෙමි. අනෙකුත් බෝග සඳහා අඩු වැඩි වශයෙන් මෙම අස්වැන්නේ පහත වැටීම දැකිය හැක. තේ වගාව සෑම දින 5-7 කට වරක් දළු ඉවත් කරගන්නා බෝගයකි. නියමිත අවස්ථාවට පෝෂක නොලැබීමෙන් දළු අස්වැන්න 40% සිට 50% කින් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් පහත වැටෙන බව පළපුරුදු තේ වගාකරුවන්ගේ ගණන් ගැනීමයි. රසායනික පොහොර නොමැතිව කාබනික පොහොර යෙදීම මගින් පමණක් (වැඩි ප්‍රමාණවලින් යෙදුවත්) දළු මගින් ඉවත්වන පෝෂක ප්‍රමාණය ඉක්මනින් නැවත සැපයීම ශක්‍යතාවකින් යුත් විකල්පයක් නොවේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයට අනුව 2021 වසරේ තේ අපනයනය මගින් අපේක්ෂිත ආදායම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.42 ක් පමණ වේ. ගණනය කිරීමේ පහසුවට මෙම ආදායම මාසිකව සමසේ බෙදී යන්නේ යයි උපකල්පනය කරමු. එවිට ඉදිරි මාස 6 තුල, අවශ්‍ය පෝෂක නියමිත අවස්ථාවේ දී ශාකයට නොලැබීම නිසා ඉහත සඳහන් කල ආකාරයට තේ දළු අස්වැන්නේ අඩුවිමකින් අපට අහිමි විය හැකි විදේශ විනිමය ඩොලර් මිලියන 284 සිට 355 ක් පමණ විය හැක (රුපියල් බිලියන 55 සිට 70 අතර). තේ වගාව සම්බන්ධ අනිකුත් සමාජ ආර්ථික ගැටළු මොහොතකට අමතක කලවිට සහ තේ වගාකරුවන් විසින් ඉදිරි මාස 6 සඳහා අවශ්‍ය රසායනික පොහොර ගබඩා කොට නැතැයි සිතුවොත්, නුදුරු අනාගතයේදී මෙම තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට තදබල අහිතකර බලපෑමක් ඇතිකරනු ඇත.

ඉදිරි මාස 6 තුල, අවශ්‍ය පෝෂක නියමිත අවස්ථාවේ දී ශාකයට නොලැබීම නිසා ඉහත සඳහන් කල ආකාරයට තේ දළු අස්වැන්නේ අඩුවිමකින් අපට අහිමි විය හැකි විදේශ විනිමය ඩොලර් මිලියන 284 සිට 355 ක් පමණ විය හැක (රුපියල් බිලියන 55 සිට 70 අතර). තේ වගාව සම්බන්ධ අනිකුත් සමාජ ආර්ථික ගැටළු මොහොතකට අමතක කලවිට සහ තේ වගාකරුවන් විසින් ඉදිරි මාස 6 සඳහා අවශ්‍ය රසායනික පොහොර ගබඩා කොට නැතැයි සිතුවොත්, නුදුරු අනාගතයේදී මෙම තත්ත්වය ශ්‍රී ලංකා ආර්ථිකයට තදබල අහිතකර බලපෑමක් ඇතිකරනු ඇත.

කාබනික තේ සඳහා වැඩි මිලක් විදේශ වෙළඳපල තුල පවතී. එහෙත් වසර ගණනාවක් කෘෂි රසායන භාවිත කල තේ වගා භුමි හිටිහැටියේ ඒවා නැවැත්වූ පමණින් කාබනික වන්නේ නැත. ඒවාට කාබනික ලේබලය ඇලවිය නොහැක. එයට හේතුව වන්නේ ගෝලීය වශයෙන් කාබනික තේ මෙන්ම අනෙකුත් කාබනික ආහාර වලට, එලෙස පිළිගැනීම සඳහා, වගා ක්ෂේත්‍රයට කෘෂි රසායන යෙදීම නැවැත්වූ කාලයේ පටන් වසර 2-3ක පමණ පරිවර්තන කාලයක් අවශ්‍ය වීමයි. කාබනික තේ ලෙස වැඩි මිලකට අපනයනය සඳහා සහතික කරණය කිරීම ආරම්භ කල හැක්කේ ද එවිටය. යහපත් කෘෂිකාර්මික ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම තුලින් කාබනික වගාව කෙරෙහි ක්‍රමානුකුලව අවතීර්ණ විය හැකිය.

මහනුවර සිට ප්‍රධාන මාර්ගයේ කුරුණෑගල දෙසට ගමන් කිරීමේදී ගලගෙදර බෑවුම (පල්ලම) හමුවේ. බොහෝ වාහන රියදුරන් මෙම තියුණු බෑවුමේදී වේගය නිසියාකාරව පාලනය නොකිරීම හේතුවෙන් දරුණු අනතුරුවලට ලක්වී ඇත. එම ගලගෙදර මාර්ගයේ අනතුරු වැලැක්වීම සඳහා පොලිස් රථවාහන අංශයෙන් ප්‍රදර්ශනය කර ඇති කෙටි වදන් පෙළක්, හරිත සමාජ ආර්ථිකයක් කරා යන ගමන්මගෙහි තීරණ ගැනීමේදී ද පුර්වාදර්ශයක් වන බව සඳහන් කරමින් මෙම ලිපිය අවසන් කරමි – “හදිස්සිම නම්, හිමින් යන්න”.

මහාචාර්ය බුද්ධි මාරඹේ

භෝග විද්‍යා දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම පිඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *