වසවිස නැති ලෝකය යනු ප්‍රායෝගික නැති දේශාපලන සටන් පාඨයක්- ගාමිණි වියන්ගොඩ (2වැනි කොටස)

සමහර මිනිසුන් සිටිනවා එක එක කාලයට එක එක දේශපාලන සටන් පාඨ හොයාගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කාලයක් ජාතිවාදය දේශපාලන සටන් පාඨය කරගන්නවා. ඊ ළගට ඒ සටන් පාඨය දේශපාලන වේදිකාවක් කරගන්නට බැරිවෙන විට තව එකක් හොයා ගනිති. එතකොට කෙනෙක් සොයා ගන්නට පුලුවන් අපි දැන් මේ ස්වභාව ධර්මයත් සමග එකට ජීවත් වෙන්නවා කියලා. වස විස නැති දෙයකට අපි යමු යැයි පවසමින් එයා ඒක දේශපාලනය කර ගනී. යමක් දේපාලනය කරගැනීමේ දී බලන්නට ඕනේ ඒක කොපමණ ප්‍රායෝගික ද යන්න. එහෙම හොයන්නේ නැති නම් එයා සම්පූර්ණයෙන්ම සදාචාර විරෝධි දේශපාලනයක් කරන කෙනෙක් බවට පත් වේ. ඒ නිසා එය සළකා බලන්නට ඕනේ මේ කාබනික පොහොර වලින් අපේ මිනිසුන්ව නඩත්තු කරන්නට හැකිවේ ද යන්න.
අපි ඉස්සර හේන් ගොවිතැන් කරත් දී ඔය කියන ක්‍රමය තමයි කළේ. සමහරු අහනවා අපි ඉස්සර ඒ ආකාරයට ජනතාවට පෝෂණය කළේ නම් දැන් ඇයි බැරි යනුවෙන්. මෝඩ කථාවක් ඒක. ඉස්සර මේ රටේ ජනගහනය කීය ද? වගා කළ හැකි ඉඩම් කොපමණ තිබුණේ ද? ඒ දවස් වල හේන් ගොවිතැන් කළා. එක හේනක් වගාකරනවා මේ වසරේ. ඊ ළග වසරේ ඒක අතහැරලා තව තැනකට යනවා. අලුත් ඉඩම එවිට සාරවත් ඉඩමක් නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැත. දැන් තවදුරටත් එහෙම ඉඩක් නැත. දැන් තියෙන ඉඩම් ප්‍රමාණය ස්ථාපිත ය. මෙතනින් එහාට කාර්මිකරණය නිසා ඉඩම් අඩුවෙනවා මිස වැඩිවෙන්නේ නැත. හැබැයි මේ ඉඩම් වලින් පෝෂණය කළ යුතු කටවල් ප්‍රමාණය වැඩි වී ඇත. එහෙනම් අපි තවත් රසායනික පොහොර යෙදීම තීවෘර කන්නට සිදුවේ.
මේ වගේ කළු සුදු වශයෙන් සාධක තිබිය දී අරකෙන් කළොත් මෙච්චර ගන්න පුළුවන්, මෙච්චර ගන්න පුළුවන් යනාදි ලෙස ඔවුහු කියති. තමන් වී කිලෝවක් දෙන්නේ රුපියල් 200ට බව මේ ළග දී දේශපාලනය කරන එක් පැවිදි අයෙක් පැවසූ හ. එයා ඒක හදන්නේ කාබනික පොර වලින්. ගිය වසරේ ඒක රුපියල් 200ට දුන්නා. මේ වසරේ රු 180ට දෙනවා. ලබන වසරේ එය 150 කරනවා. ඊ ළග වසරේ රුපියල් 100 කරන බව ඔහු කියයි. මේක ඉතාම ලාමක කථාවකි. මේ කියු ගණන් වලට දෙන්නට පුළුවන් වෙන්නේ තමන්ගේ හිතේ තියන ආසායට නොවේ. ඒක තීරණය වන්නේ මේකට ගිය නිෂ්පාදන වියදම සහ වෙළඳ පොලේ ඉල්ලුම සැපයුම යන බලවේග විසිනි. මම හිතලා මේ අවුරුද්දේ මේ ගාණට දෙනවා, ලබන අවුරුද්දේ මේ ගාණට දෙනාවා කියලා ඒ ගණනට දෙන්නට නොහැක. කිසිම භාණ්ඩයක් ලෝකයේ එහෙම විකිණෙන්නේ නැත. නමුත් මේවා කියලා මිනිසුන්ව රවට්ටන එකයි කරන්නේ. මේ වටින් ගොඩින් කියන්නේ රසායනික පෝර යොදා අඩු මිළට නිෂ්පාදනය කළ හැකි බවයි. මේවා මිත්‍යාවන් ය. ඒක එහෙම අඩු කරන්නට නොහැකි ය. නමුත් රසායනික පොහොර යොදා කරන නිෂ්පාදන මිල අඩු කරන්නට පුළුවන. ලෝකයේ එහෙම අඩු කරලා පෙන්නා දී තිබේ.
දැන් රසායනික පෝර සම්බන්ධයෙන් මුලින්ම අපේ රටේ කථාකාව පැමිණියේ මීට වසර 8කට පමණ පෙර කැළණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකට නාථ දෙවියෝ වැහිලා. නාථ දෙයියෝ කියලා තිබෙනවා අනුරාධපුර ප්‍රදේශයේ වකුගඩු රෝගයට හේතුව රසායනික පොහොර බව. මේ කාන්තාව මේක කිව්වා ඒ කාලයේ සිටි ජාතික චින්තන ගණිත මහාචාර්යවරයෙකුට. මේ ගණිත මහාචාර්යවරයා මේක සමාජගත කළේ ය. නාථ දෙවියො කියලා තියෙනවා මේ බහු ජාතික සමාගම් වලින් ගෙනල්ලා අපේ රජරට ගොවීන්ව රෝගීන් බවට පත්කරලා තියෙනවා කියලා. අද වෙනතුරු කිසිම විද්‍යාත්මක පරික්ෂණයකින් ඔප්පු කරලා නෑ මේ දෙක අතර සෟජු සම්බන්ධයක් තියෙන බවට. රජ රට ගොවීන්ට වකුගඩු රෝග හැදෙනවා නම් මේ රසායනික පෝර යොදා ගන්නා නිසා මාතර ගොවීන්ටත් මේක හැදෙන්නට ඕනේ. එයිට වඩා තේ වගාවට උඩ රට පලාතේ කොපමණ මේ රසායනික පොහොර යොදනවා ද? නමුත් ඒ අයට වකුගඩු රෝග හැදෙන්නේ නැත.
රසායනික පොහොර යොදා ගොවිතැන් කරන වෙනත් රටවල් සමග සන්සන්දනය කළහොත්, ප්‍රතිඵලය වන්නේ මේකේ අනික් පැත්ත ය. නවසිලන්තය ගතහොත් ලෝකයේ වැඩියෙන්ම රසායනික පොහොර භාවිතා කරන රට වේ. 2012 සංඛ්‍යා ලේඛණ වලට අනුව එහි එක හෙක්ටයාර් එකකට කිලෝ ග්‍රෑම් 1700ක් යොදවනු ලැබේ. මැලේසියාවේ හෙක්ටයාරයට 1600ක් රසායනික පෝර භාවිතා කරයි. සිංගපූර්වල 140ක් යොදවයි. ඕලන්දයේ 1 හෙක්ටයාරයට රසායනික පෝර කිලෝ ග්‍රෑම් 1400ක් යොදවනු ලැබේ. ඉන්දියාවේ එය 165ක් වන අතර ශ්‍රි ලංකාවේ 198ක් නිගරාගුවාවේ රසායනික පෝර කිලෝ ග්‍රෑම් 50ක් යොදවයි. නමුත් නිකරගුවාවෙයි ශ්‍රි ලංකාවේ තමයි ඔය වකුගඩු රෝගය තිබෙන්නේ. එයින් පෙනෙන්නේ අඩුවෙන්ම පාවිච්චි කරන රටවල තමයි වකුගඩු රෝගය තිබෙන්නේ. රසායනික පොහොර වැඩියෙන් භාවිතා කරන රටවල වසංගතයක් ලෙස වකුගඩු රෝගයක් නැත. මේකෙන් පැහැදිළි වන්නේ මේ රසායනික පෝර හා වකුගඩු රෝගය අතරේ එහෙම සෘජු සම්බන්ධයක් නැති බව ය. නමුත් මේ අය දැන් පෙන්නුම් කරන්නේ මේ රසායනික පෝර නිසා සිදුවන දෙයක් ලෙසට ය. මේ රෝගය වෙනත් විදියකට ඇති වෙන්නට පුළුවන. සමහර ගොවියෝ නියමිත මාත්‍රාවට වැඩියෙන් පාවිච්චි කිරීම නිසා මෙය ඇති වෙන්නට පුළුවන. අපි ගෙන්වන රසායනික පෝර ගුණාත්මක බවින් අඩු වියහැකි නම් එසේ වීමට ඉඩක් තිබේ. මේ අඩු ප්‍රමිතියෙන් ඇති පොහොර බහුජාතික සමාගම් වලින් කරන්නට ඉඩ තිබේ. එවැනි අවස්ථාවක් තිබුණොත් ප්‍රතිඵලය සාර්ථක නැතිනම් ගොවීයෝ වැඩි වැඩියෙන් මේ රසායනික පෝර යෙදවීම නිසා ඒවා බොහෝ කළක් පසට ජීරණය නොවී අහිතකර ලෙස බලපාන්නට පුළුවන. ඒ ආකාරයට පාචිච්චි කිඍීමෙන් ලෙඩ රෝග හැදෙන්නට ඉඩ තිබේ. අපි කළ යුත්තේ අර අක්‍රමික තාවය නැතිකරන එකය. අද ලෝක වෙළඳ පොලේ තියෙනවා මනුෂ්‍යයාට හානිකර නොවන රසායනික පොහොර. ඒවා වෙනුවට බාල ඒවා ගෙන්නුවොත් ප්‍රශ්න ඇති වියහැක. ඒ නිසා රසායනික පෝර වෙනුවට කාබනික පෝර පාවිච්චි කරන්නට අවශ්‍ය වෙන්නේ නැත. රසායනික පෝර වඩාත් දියුණු ආකාරයට හා ක්‍රමවත් විදියට යොදන්නේ කොහොමද කියන එක තමයි තිබෙන්නේ. කාබනික පෝර ගුණයි කීවාට එහෙම විශේෂ ගුණයක් නැති බව සමහර පර්යේෂණ වලින් සොයාගෙන ඇත.
අපි දැන් සෞඛ්‍ය ගැන කථා කරන විට පිළිකා 1, 2, 3 යනාදි ලෙස පිලිකා කාරක වර්ග කර තිබේ. පිලිකා කාරක ලෙස පළවෙනියට නොවෙයි රසායනික පෙහොර වැටෙන්නේ දෙවැනි එකට ය. 1 වෙනියට එන්නේ ගල් අගුරු බලාගාර නිකුත් කරන අපද්‍රව්‍ය වේ. ඒ අනුව ලංකාවේ ඇති ගල්අගුරු බලාගාර අනාගතයේ දී බරපතල ප්‍රශ්න ඇතිකළ හැක. අනික් හාරිකර තත්ත්වය ඇති වන්නේ ඛනිජ තෙල් දහනයෙනි. අපි පාරේ යනවිට වාහන වලින් පිට වෙන අපවිත්‍ර ද්‍රව්‍ය කොපමණ ප්‍රමානයක් අශ්වාස කරන්නේ ද? එය ද ගැනෙන්නේ අර පළවෙනි ගනයට ය. දැන් ප්‍රශ්නය තියෙන්නේ අර වාහන නවත්වන්නට කවුරුවත් කියන්නෙ නැත. එයින් පෙනෙන්නේ මේ යන්නේ වසවිස නැති ලෝකයක් හදන්නට නොවේ. එසේ නම් වැඩියෙන්ම වස විස ඇතිකරන මේවා ගැන මොකවත් කියන්නේ නැත. මේ වස විස ගැන කථා කරන්නට එන්නේ ද වාහන වල ය. මේ වස විස ගැන කථා කරන උදවිය කියන්නේ නෑ මට මේ වසවිස නැති වාහනයක් දෙන්න කියලා. වසවිස නැති වාහන තිබේ. කිසිම මන්ත්‍රිවරයෙක් ඉලෙක්ට්‍රික් කාර් එකක් ඉල්ලන්නේ නැත. ඒ අය ගන්නේ ම අර කෝටි ගණන් වටින වාහනයක්. එතකොට වසවිස නැති කරන්නට පෝර ගැන කථාකරන මිනිස්සු මුලින්ම තමන්ගේ දෛනික චර්යාවෙන් පටන්ගත යුතු ය. ඒක පටන් ගන්නට මම දේශපාලනඥයින්ට යෝජනා කරනවා ඔය කෝටි තුන හතර වටිනාකමක් ඇති වාහන පැත්තකට දාලා ඉලෙක්ට්‍රික් කාර් ගන්නට. ආදර්ශයෙන් පෙන්නන්න කියලා තමන් වසවිස නැති ලෝකයක් බලාපොරොත්තු වන බව. මේකට මේ කෘෂිකර්මය පමණක් සම්බන්ධ කර ගැනීමෙන් වසවිස නැති ලොවක් තනන්නට නොහැකි ය. ඒ නිසා කෘෂිකර්මය සම්බන්ධයෙන් මනුස්‍යයාට වඩාත් හිතකර කෘෂිකර්මයක් ඇති කරගැනීම තමයි බලන්නට තිබෙන්නේ. ඒක ගැන කිසි ප්‍රශ්නයක් නැත. හැබැයි ඒකට බොරු කියන්නට අවශ්‍ය නැත. ඒකට මේ දේශපාලන සටන් පාඨ හොයාගෙන බොරු කියන එක වැරදි ය. මිනිස්සුන්ට ඇත්ත කිවයුතු ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *