රිෂාඩ් කැඳවන්න කීවාම කතානායක ප්‍රේමලාල් ජයසේකරත් කැඳවයි

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතා නිකුත් කළ රැඳවුම් නියෝගයක් මත අධිකරණ ක්‍රියාවලියකින් තොරව රඳවා ඇති රිෂාඩ් බදියුදීන් මන්ත්‍රී වරයාට පාරිලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට ඉඩ දෙන ලෙස විපක්ෂය කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස බදියුදීන් මන්ත්‍රී වරයා කැඳවන අතර ම අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියම කොට සිටින ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිටින අතර මිනීමැරුම් චෝදනාවකට පසුගිය ජුලි 31 දා අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මහතා සිටින්නේ සිර දඬුවම් විඳිමිනි.

විශේෂ රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් සහ මරණීය දණ්ඩනය නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඔවුන් එකඟ නම් පමණක් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇති බව ” ලංකාදීප” පුවත්පතේ වෙබ් අඩවි වාර්තාවකින් අද වාර්තා කොට තිබිණි.

රිෂාඩ් බදියුදීන් මහතා මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ඉල්ලීමක් කරන්නේ නම් පමණක් ඔහු කැඳවාගෙන එන්නැ‍යි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට ලිපියකින් දැනුම්දී තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට එකඟ නම් පමණක් ඔහු කැඳවාගෙන එන ලෙස කතානායකවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිපියකින් දැනුම්දී ඇත.

එකඟ නම් පමණක් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවාගෙන එන්නයි කතානායකවරයා සහ වේත්‍රධාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දී ඇත.

රිෂාඩ් බදුර්දීන් මහතා රැඳවුම් නියෝග මත රඳවනු ලැබ සිටින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහාය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *