වසංගතයක් මැද වෛද්‍ය ක්ෂේත්‍රයේ කැපිලි, කෙටිලි – නිශාන්ත කමලදාස
වෛද්‍ය සේවයට බැඳීම සඳහා අවශ්‍ය ERPM ලිඛිත විභාගය සමත් විදේශ වෛද්‍ය සිසුන් ගණනාවක් මේ දිනවල එම විභාගයේ දෙවැනි අදියර වන සායනික පරීක්ෂණ සඳහා වසර එක හමාරකට පසුව කැඳවා තිබුණි. පවතින කොරෝනා තත්වය යටතේ ඒ විභාග මේ වන විට කල් දමා ඇත. කළ යුතු ව තිබුනේ විකල්ප පරීක්ෂාවකින් පසු ඔවුන් ඉක්මණින් බඳවා ගැනීම ය.
ඒ දැනටමත් විභාගය පැවැත්වීම ප්‍රමාද කර ඇති මේ සිසුන් ගැන, ඔවුන්ගේ අනාගතය ගැන, සැළකීමෙන් පමණක් නොවේ. මේ මොහොතේ වෛද්‍යවරුන්ගේ සේවය ද අත්‍යවශ්‍ය වී ඇති නිසා ය. එහෙම හදිස්සියක්වත් සෞඛ්‍ය ආමාත්‍යංශයට හෝ සෞඛ්‍ය බලධාරීන්ට තිබෙන බවක් තවම පෙනෙන්නට නැත.
වෛද්‍ය කවුන්සිලය මෙතෙක් අනුගමනය කර තිබුනේ ඕනෑ ම කුඩා හේතුවක් විභාග කල් දැමීම සඳහා යොදා ගැනීමට ය.
මේ අවස්ථාවේ ද විභාග කල් දැමීමට හේතුවක් තිබුන ද ඊට වඩා වැඩි හේතු ගණනාවක් මේ විභාගය යම් නිර්මාණාත්මක ආකාරයකට වෙනස් කොට හෝ පවත්වා ගැනීමට යෙදී ඇත. ඒ අප කලින් ද කී පරිදි කෝවිඩ් අර්බුදය හමුවේ වෛද්‍ය ශාස්ත්‍රය උගත් අය වැඩි වැඩියෙන් අවශ්‍ය ව ඇති නිසා ය.
මෙයින් කිසිසේත් යෝජනා කරන්නේ තොග පිටින් බඳවා ගන්නට නොවේ. විකල්ප පරීක්ෂණයකින් හෝ පසුව බඳවා ගන්නා ලෙස ය. ඒ ඇරත් මේ කියන සිසුන් විෂයයන් හයක් සඳහා වෙන වෙන ම පවත්වන ලද ලිඛිත විභාගයකින් සමත් ව ඇත. සමහරු සායනික පරීක්ෂණ කිහිපයකින් ද දැනටමත් වැඩිදුරටත් සමත් ව ඇත. ඒ නිසා ඉතිරි පරීක්ෂණ වෙනත් ආකාරයකින් හෝ පවත්වා මේ අය බඳවා ගැනීම විශාල ප්‍රශ්නයක් කර ගත යුතු නැත.
සාමාන්‍ය තත්වයක් යටතේ සම්ප්‍රදායික පිළිවෙල අනුගමනය කරමින් කටයුතු කළ ද විශේෂ තත්වයක් යටතේත් එසේ කටයුතු කිරීම වෘත්තීමය ආයතනයකට තරම් නොවන්නේ ය. ඒ සඳහා අවශ්‍ය වන්නේ නිර්මාණශීලී ලෙස සිතීම ය. Out of the box සිතීම ය.
කෝවිඩ් නිසා active cases සොයා ගත නොහැකි නම් simulated cases නිර්මාණය කර ගත හැකි ය. ඒත් නැතිනම් simulated case studies ක්‍රමය අත්හදා බැලිය හැකි ය. එසේත් නැතිනම් ඔවුන් අනේවාසික පුහුණුව සඳහා පුහුණුව අවසානයට පෙර විභාගය සමත් වෙන කොන්දේසිය යටතේ බඳවා ගත හැකි ය.
එසේ නොකරන්නේ නම් ඒ හේතු දෙකක් ඇතිව ය. පළමුව එසේ සිතන්නට වෛද්‍ය කවුන්සිලයේ පරිපාලනයට ඇති නොහැකියාව ය. දෙවැන්න ඊට වුවමනාවක් අවශ්‍යතාවයක් නොතිබීම ය.
නිර්මාණශීලිත්වය ගැන කියන්නේ එය පැන නඟින්නේ ම අවශ්‍යතාවය විසින් මෙහෙයවනු ලැබීමෙන් බව ය. ඒ ගැන සඳහන් ඉංග්‍රීසි පිරුළ necessity is the mother of invention ය. එය පිළිගන්නේ නම් අපට බැස ගත හැකි එකම නිගමනය කවුන්සිලයට අවශ්‍යතාවයක් නොමැති බව ය.
අපට කියන්නට ඇත්තේ සිසුන් ගැන සංවේදී වීමට වෛද්‍ය කවුන්සිලයට අවශ්‍යතාවයක් නැතත් අඩු වශයෙන් වත්මන් කෝවිඩ් තත්වය යටතේ රට ද රෝගීන් ද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෙසු අය ද වෙනුවෙන් වත් මේ කටයුත්තට මැදිහත් වන ලෙස ය. ඒ සඳහාත් වුවමනාවක් ඇති කර ගන්නා ලෙස ය.
නිශාන්ත කමලදාස