රිෂාඩ් ලබන සතියේදී පාර්ලිමේන්තු ගෙන්වන්න කතානායක පොරොන්දු වෙයි

මහජන ආරක්ෂක ඇමති සරත් වෙඑඑරසෙකර මහතා විසින් නිකුත් කළ රැඳවුම් නියෝගයක්  යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී අද (13) පොරොන්දු වී තිබේ.

බදුර්දීන් මහතා ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙම රැස්වීමේදී නැවත වතාවක් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්  කතානායකවරයා  ප්‍රකාශ කොට ඇත්තේ මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම්වලට ඒ මහතා සහභාගී කරවීමට කටයුතු කරන බව යි.

රිෂාඩ් බදුර්දීන් මහතා ඉකුත් සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි කරවීමට කතානායකවරයා නියෝග දී තිබුණද කිසියම් හෝ හේතුවක්  මත එය සිදු නොවීය.

බදුර්දීන් මහතා මැති සබයට නොකැඳවීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු එම රැස්වීම්වල දී කතානායකවරයාගෙන් ප්‍රශ්න කළහ.

රිෂාඩ් බදුර්දීන් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ  අත් අඩංගුවට ගෙන ඇති හෙයින් ඔහු මැති සබයට  නොකැඳවන්නයි මහජන ආරක්ෂක අමාත්‍ය  සරත් වීරසේකර මහතා කතානායකවරයාගෙන්  පාර්ලිමේන්තුවේ දී පසුගියදා ඉල්ලීමක් කළේය.

ඒ අවස්ථාවේ දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් මහතා පෙන්වා දුන්නේ බදුර්දීන් මන්ත්‍රීවරයා රඳවාගෙන සිටින්නේ අධිකරණ තීන්දුවකින් නොව පරිපාලන තීන්දුවකින් බවයි.

බදුර්දීන් මහතා රැඳවුම් නියෝගයක්  යටතේ රඳවා ගෙන සිටින්නේ පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට ආධාර අනුබල දෙන ලදැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *