ජාතික ප්‍රශ්නයේ පෙරවදන භාෂා ප්‍රශ්නය කියන්න පුළුවන්- භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා ලෙස මට භාෂා තුනම කථා කරන්නට පුළුවන. ඒ විතරක් නොව ඇමතිවරයා ලෙස මට ඇති අභියෝගය විශාල ය. අමාත්‍යාංශය භාර ගෙන දැනට මාස 8ක් පමණ වූවත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට මා ගෙන ඇති පියවර මොනවා ද යන්න සමහරෙක් මගේ ප්‍රශ්න කරති. විරුද්ධ පක්ෂයේ සිටින විට මමත් ඒ වගේ ප්‍රශ්න අසා ඇත. කෙසේ නමුත් ඒ ප්‍රශ්න අභියෝගයක් ලෙස භාරගන්නට මම කැමැත්තෙමි. මා සිතන ආකාරයට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඒ අමාත්‍යාංශය මට භාරදුන්නේම ඒ නිසා වන්නට ඇත.
ඇමති මණ්ඩලය සංශෝධනයක් එන බව අසන්නට තිබෙන අතර අමාත්‍යාංශ වෙවනස් කරයි ද යන්න මම දන්නේ නැහැ. එහෙත් භාෂාව පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව ඇමති මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස වගකීමක් මට තිබෙනවා. ඇතැම් දිස්ත්‍රික් ලේකම්වරු භාෂා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට බැඳි නැතිබව පවසා ඇතැයි මට දැනගන්නට ඇත. රාජ්‍ය පරිපාලන විධි විධාන වලට අනුව රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට මේ සියලුම රාජ්‍ය නිළධාරින් බැදී ඇති හෙයින් එසේ කියන නිළිධාරින් සිටී නම් ඔවුන්ට ගෙදර යන්නට පුළුවන. මේ රට මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් තිබේ. මේ ප්‍රශ්නයට මුල්වුනේ භාෂාව ය. ඒ නිසා භාෂා ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයේ පෙරවදන ලෙස හඳුන්වන්නට පුළුවන. මෙහි දි මට භාෂා ඇමතිවරයා ලෙස වගකීම් දෙකක් ඇත. එයින් එකක් වන්නේ භාෂා ප්‍රශ්නය විසඳිම ය. දෙවැන්න වන්නේ ජාතික සහජීවනය ගොඩනැගීමට එය රුකුලක් කරගැනීම ය. ඒ වගකීම් දෙක අන්‍යොන්‍ය වශයෙන් බැදී ඇති බව සැළකිය හැක. ඒ නිසා මේක සුළු ජාතින්ගේ ප්‍රශ්නයක් නොව මේ රටේ ඇති ප්‍රශ්න අතර ප්‍රධාන ප්‍රශ්නයක් වන බව ද අප අමතක නොකළ යුතු ය. ඒ නිසා මේ ආණ්ඩුව මොනවගේ ආණ්ඩුවක් ද යන්න මේ නිළිධාරීන් තවම තේරුම් ගෙන නැති බවයි පෙනෙන්නට තියෙන්නේ.
මට පැවරී ඇති වගකීම පාලම්. බෝක්කු හැදීමවත් පාරවල් හා ගොඩනැගිලි හැදීමවත් නොවේ. මෙගා පොලිස් නගර හැදීමත් නොවේ. මට පැවරී තිබෙන්නේ මහජනයාගේ ඔලුව හදන වැඩය යන්න කියන්නට කැමති ය. මේක කරන්නට බැරි නම් අපිට මේ රට කැඩෙන එන කාටවත් වළක්වන්නට බැරිවෙන්ට පුළුවන. මනෝ ගනේෂන් ආවේ වැඩකරන්නට. වැඩ කරන්නට බැරිනම් මම මේක දාලා යන්නට පසුබට වෙන්නේ නැත. රටට ආදරයක් කාට හරි තියෙනවා නම්, රට කැඩෙන එක වළක්වා ගන්නට කාට හරි උවමනාවන් තියෙනවා නම් ද්වී භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සහයෝගය දිය යුතු ය. අතීතයේ සිට එයට හරස් කැපූ දේශපාලකයින් මේ ප්‍රශ්නයට වගකිව යුතු බව අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය නැත. මෙහි දී මම මහින්ද රාජපක්ෂට පමණක් චෝදනා කරන්නේ නෑ. 1948 සිට රට පාලනය කළ සියලුම දේශපාලන නායකයින් මේකට වගකිව යුතු යි. කොළ පාට ආණ්ඩු තිබුණා. නිල්පාට ආණ්ඩු තිබුණා, නිල් රතු ආණ්ඩු තිබුණා. නමුත් ඒ එක ආණ්ඩුවක්වත් ඒක කළේ නැහැ.
නමුත් මේ ප්‍රශ්නය විසඳා ගන්නට අපිට අද අවස්ථාවක් ලැබී තිබෙනවා. මෛත්‍රි/රනිල් ජයග්‍රහණය තුළ මේක විසඳාගන්ට නොහැකි නම් මේක අයේ කවදාවත් විසඳන්නට ලැබෙන්නේ නෑ. මම මේ අමාත්‍යාංශය භාර ගන්නවිට රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කිසිම ක්‍රියාකාරි සැළස්මක් තිබුණේ නෑ. මම දැන් එම සැළැස්ම හදලා ඉවරයි. ඒක ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනවා. නමුත් කියන්නට කණගාටුයි අපේ අමාත්‍යාංශයට ඒකට මුදල් වෙන්කරලා නෑ. නමුත් මම ඒකට සැලෙන්නේ නෑ. සුදු වෑන් වලට බයේ මම වැඩ නොකර සිටියේ නෑ. මම ඒවාට විරුද්ධව සටන් කළ කෙනෙක්. ඒ වගේ මාත් සමග සටන් කළ තව දෙදෙනෙක් හිටියා. රවි රාජ් එක්කෙනෙක්. අනික් එක්කෙනා ලසන්ත වික්‍රමතුංග . ඒ දෙන්නම අද ජීවතුන් අතර නෑ. නමුත් මම යාන්තම් බේරුණි. මගේ අමාත්‍යාංශයේ යම් ප්‍රශ්න තිබෙනවා නම් එවා වාසුදේව ඉතිරිකර ගිය ප්‍රශ්න බව කියන්නට කැමතියි.
මේක රාජපක්ෂ ආණ්ඩුව නොව මෛත්‍රි හා රනිල්ගේ ආණ්ඩුව. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අනුව රාජ්‍ය නිළධාරීන්ට දෙවැනි බස ඉගෙනගත යුතුබවට චක්‍රලේඛණයක් තියෙනවා. ඒ සඳහා වසර 5ක කාලයක් දුන්නා. නමුත් ඔවුන් ඉගෙන ගත්තේ නෑ. ඊට පසු එයට තවත් අවුරුදු 2ක් එක් කළා. ඒත් වැඬේ කළේ නෑ. ඊට පසු කළේ තවත් වසර 2ක් ලබාදිම ය. මේක මහා විහිලුවක්. මම මේ අමාත්‍යාංශය භාරගෙන සුමාන දෙකකින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පැවැත් වූ උත්සවයකට ගියා භාෂාව ඉගෙනගත් රාජ්‍ය නිළධාරීන්ට සහතික පත් ප්‍රදානය කරන්නට. සහතිකය ප්‍රදානය කරන විට මම ඔවුන්ගෙන් සරළ ප්‍රශ්නයක් දෙකක් දෙමළ භාෂාවෙන් අසන්නට අමතක කළේ නෑ. නමුත් ඒ එක් අයෙකුටවත් උත්තර දෙන්නට පුළුවන් වුණේ නෑ. මේකෙන් පෙනෙනවා මොනතරම් බොරුවක් ද කරන්නේ කියලා. දිරි දීමනාව ගන්නට මොකක් හරි සූත්තරයක් කරන එක තමයි වෙන්නේ.
මම ලබන සුමානේ තවත් කැබිනට් එකට පත්‍රිකාවක් යොමු කරන්නට බලාපොරොත්තු වෙනවා. දිස්ත්‍රික් 20ක ද්වී භාෂාව කථා කරන ජනතාව සිටින ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 41ක් තිබුණා. මෑතක දී තවත් එවැනි කොට්ඨාශ 31ක් හඳුණාගෙන තිබෙනවා. 2018 සිට මේ ද්වී භාෂා කොට්ටාශවලට නිළධාරින් බඳවා ගන්නට පෙර ද්වී භාෂාවෙන් වැඩකළ හැකි අය බඳවාගත යුතු බව එයින් යෝජනා කෙරෙනවා. අඩුම තරමේ පොලීසි රෝහල්. ප්‍රදේශිය ලේකම් කාර්යාලය, පලාත් පාලන ආයතන වලට කරන බඳවා ගැණිම් වලදීවත් මෙය ක්‍රියාත්මක කළ යුතු බවට එයින් යෝජනා වෙනවා. රක්ෂාවලට කොරියාවට යන්නට පෙර කොරියන් බස ඉගෙන ගන්නට පුළුවන් නම් ඇයි රජයේ රක්ෂාවට එන්නට පෙර රාජ්‍ය භාෂා දෙක ඉගෙන ගන්නට බැරි. මෙතන ඇත්තේ උවමනාවක් නැතිකම හැර වෙන යමක් නොවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *