‘ඉක්මන් නොකලොත් ජිවිත රැසක් නැති වෙන්න පුළුවන්’ – රනිල් අනතුරු අඟවයි     

වහාම අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් ජීවිත රැසක් නැතිවීමේ බරපතල තත්ත්වයක් මතුව ඇතැයි හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු අඟවා සිටියි.

”දැන්මම අවශ්‍ය  ක්‍රියාකළේ නැතිනම් ජිවිත ගණනාවක් නැති වෙන්න පුළුවන්. රටේ ජනතාව ගැන අනුකම්පාවක් තියෙනවා නම් කැබිනට් මණ්ඩලය මේ වගකීම අරගන්න. එතන පළපුරුද්දක් තියෙන අය ඉන්නවා. ඒ අනුව ක්‍රියාකරන්න කියලා මම විශේෂ ඉල්ලීමක් කරනවා.” යයි ඒ මහතා  කියා සිටියේ, කොවිඩ් -19 රට තුළ සීග්‍රයෙන් පැතිරයාම සම්බන්ධයෙන් අද දින (10) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

 

රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මෙසේද පැවසිය.

 

”කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්න‍තේ හිගයක් තියෙනවා. ඔක්සිජන් හිඟයක් තියෙනවා. වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක. අපේ වෛද්‍ය උපදෙස්, සෞඛ්‍ය උපදෙස් අනුව දැන් තීරණ ගන්නේ නැති නම් අපි අමාරුවේ වැටෙනවා.

වොෂිංටන් විශ්වවිද්‍යාලයේ Institute of Health Metrics and Evaluation (IHME) ආයතනය නිකුත් කළ නවත ම වාර්තාවට අනුව අපේ රටත්, රෝගීන්ගේ සීග්‍ර වර්ධනයේ උපරිමයකට එන්න පුළුවන්. ඒ වගේම දවසකට සියයකට වඩා මිය යා හැකි තත්ත්වයක් ජූනි ජූලි මාසය වෙන කොට එන්න පුළුවන්. ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේ අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කළ යුතු වෙනවා.

මේක ආණ්ඩුවේ නම බේරා ගන්න සටනක් නොවෙයි. ඒ වගේම මේක දේශපාලන සටනකුත් නොවෙයි. ඇත්ත වශයෙන්ම මෙය ජනතාවගේ ජිවිත බේරන සටනක්. අපි ආණ්ඩු මාරු කරන්න කියන්නේ නැහැ. මේ රටේ ව්‍යවස්ථාව අනුව රටේ වගකීම තියෙන්නේ කැබිනට් මණ්ඩලයටයි. 

ජනාධිපතිතුමාත්, කැබිනට් ඇමතිවරුත්, අපේ ජනතාව මෙම වසංගතයෙන් රැකගැනීම වෙනුවෙන් අවශ්‍ය පූර්ණ බලතල කැබිනට් මණ්ඩලයට ගත යුතුයි.

කොවිඩ් පාලනයට තියෙන කමිටු අසාර්ථක වෙලා තියෙන්නේ. මෙහි බරපතලකම ගැන කලින් කීවාට එකක්වත් එතනින් ක්‍රියාත්මක වෙලා නෑ. ජනතාවගේ විශ්වාසය නැති වෙලා.

කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න

අපි කියන්නේ කැබිනට් මණ්ඩලයට මේ බලතල දෙන්න. ජනාධිපතිතුමා හා කැබිනට් මණ්ඩලය මේ බලතල වහාම බාර ගන්න. මේ සතියෙම පාර්ලිමේන්තු විපක්ෂ නායකයින් සමග කතා කරන්න. එයාලගේ සහයෝගය හා අදහස් ලබා ගන්න. ඔවුනුත් ඒ අවශ්‍ය සහයෝගය ලබලා දෙන්න අවශ්‍යයි. ඉක්මණින් ක්‍රියාත්මක වෙන්න. ” හිටපු අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *