එක්නැලිගොඩ ඝාතක සැකකරුවන් ඇප මත නිදහස් කළ නොහැකි බවට අධිකරණය තීන්දු කරයි

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිම සම්බන්ධ නඩුව අද (29) හෝමාගම අධිකරණයේ දී විභාගයට ගැනුණු අතර සැකකාර  හමුදා සෙබළුන් 9 දෙනා ඇප මත නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ විනිසුරු රංග දිසානායක මහතා ඔවුන් යලි රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය.

ප්‍රගීත් එක්නැලිගොඩගේ සිරුරක් හමුවී නොමැති බැවින් මොවුන්ට ඝාතන චෝදනා ඉදිරිපත් කළ හැකිද එසේ නැතිනම් රිමාන්ඩ් බන්ධනාගාර ගත නොකොට ඇප ලබා දිය යුතුද යන්න අද තීන්දු කරන බව විනිසුරු වරයා මීට පෙර ප්‍රකාශ කෙළේය.

නීතිපති දෙපාර්තමේන්තුව ඇප ලබා දීමට විරුද්ධ වෙමින් කියා සිටියේ එක්නැලිගොඩගේ සිරුරක් හමුවී නැතත් මේ පිරිස විසින් ඔහු පැහැරගෙන ගිය බවට සාක්කි තිබෙන නිසාත් ඔහු දැනට නොමැති බැවින් ඔහුට කළ දේ සැකකරුවන් විසින් ප්‍රකාශ කළ යුතු බවයි. ඇප ලබා දීමට එරෙහිව තවත් හෙතුවක් ගෙන එමින් එක්නැලිගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතා කියා සිටියේ සැකකරුවන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේ පෙර මෙම නඩුව ඇසූ විනිසුරුවරයා බැවින් වත්මන් විනිසුරුවරයාට ඇප ලබා දිය නොහැකි බවත් එසේ ඇප ලබා ගත හැකි ක්‍රමවේදය මෙය නොවන බවත් ය.

මේ කරුණු අනුව සැකකරුවන්ට ඇප ලබා නොදීමේ තම තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරු රංග දිසානායක මහතා පිලිගත්තේ උපුල් කුමාරප්පෙරුම මහතා ගොඩ නගන ලද තර්කයයි.

මේ අතර මෙම සැකකරුවන් මේ වන විට බන්ධනාගාර රොහලේ එක කල්ලියක් ලෙස සිටින බවත් එබැවින් පරීක්ෂණ වලට බාධා වී ඇති බැවින් ඉන් 4 දෙනෙකු වෙන් කර රඳවන ලෙස නියෝග කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේ ය. ඒ අනුව ඔවුන්ගේ වෛද්‍ය වාර්තා ලබන 01 වෙනිදා ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර රෝහලට නියෝග කළ විනිසුරුවරයා පිරිස ලබන 01 වෙනිදා දක්වා යලි බන්ධනාගාර ගත කෙළේය.

ෂම්මි අර්ජුන කුමාරරත්න, නාන්කුලගේ ටොෂිනාත් ප්‍රබෝධ සිරිවර්ධන, රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, වඩුගෙදර විනී ප්‍රියන්ත, ඩිලන්ජන් උපසේන, එස්. එම්. රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි, වයි. ඩී. දම්නිද කුමාර අබේරත්න, එස්. එම්. කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුක්‍රමනියම් හා ඩී. එන්. තරංග ප්‍රසාද් ගමගේ යන හමුදා නිලධාරීන් රිමාන්ඩ බන්ධනාගාරයේ පසුවෙති.

මෙම සැකකාර හමුදා නිලධාරීන් ඇප මත නිදහස් කළහොත් තමාගේ ජීවිතයට තර්ජනයක් යැයි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මීට පෙර මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළාය.

 

(ලංකා ඊ නිව්ස් -2016.මාර්.29)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *