අගමැති කැඳ වූ දෙවන පක්ෂ නායක සමුළුවත් අසාර්ථකයි

මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින්ගේ හමුවට අණ්ඩුව නියෝජනය කරන පක්ෂ ගණනාවක  නායකයින් සහභාගී වී නැතැයි වාර්තා වේ.

එයට හේතු වී ඇත්තේ එම රැස්වීමට පක්ෂ නායකයින් නොවන විශාල පිරිසක් ද කැඳවා තිබීම යි.

මීට පෙර අප්‍රේල් 19 දා කැඳවා තිබු රැස්වීම ද මෙම හේතුව නිසා ම අසාර්ථක වී ය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ආකාරය සහ  මැතිවරණයේදී ඒ ඒ පක්ෂවලට හිමි විය යුතු නියෝජනයන් සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මේ වනවිට අර්බුදකාරී තත්වයක් මතුවී ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක හමුව අගැමැතිවරයා විසින් කැඳවා ඇත.

එහෙත් එම හමුවට වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස විතාරණ , විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ ,විමල් වීරවංස, ඒ.එල්.එම්. අතාවුල්ලා, ටිරාන් අලස් ,අසංක නවරත්න ,අතුරලියේ රතන යන පිරිස එම අවස්ථාව මඟහැර තිබේ. මේ පිළිබඳව එම කණ්ඩායම නියෝජනය කරන කිහිප දෙනෙකු අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයාට දැනුම් දී ඇතැයිද වාර්තා වෙයි.

ලබන සතියේ යලිත් පක්ෂ නායක සමුළුවක් කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි දී පොරොන්දු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *