පොහොර/කෘමි නාශක තහනම සහ මගේ පොල් වත්ත ; අද වත්තේ කතාව

ජීවිතයේ පළමු වතාවට මම මගේම වත්තක පොල් හදන්නට සුදානම් වෙමින් සිටින්නෙමි. පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් ගේ සහාය ලබාගෙන, දන්නා තරම් උපදෙස් ද ලබා ගෙන, දැන් මාස තුනක් වැඩේට සුදානම් ය. බිම සැකසුවෙමි. වලවල් සලකුණු කළෙමි. වලවල් කැපුවෙමි. පොල් ලෙලි පිරවූවෙමි. කාබනික පොහොර දැම්මෙමි. ඉත්තෑවන්ගෙන් ආරක්ෂාවීමට දේශීය දැනුම, සූර්ය බල ශක්තිය යොදා පියවර ගත්තෙමි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් ලංකාවේ හොඳම පැල තවානකින් සහන මිලට පොල් පැල වත්තට ගෙනත් දුන්නෝය.

දැන් පොල් වලකට දමන්නට පොල් පොහොර අවශ්‍යය. වේයන් මර්ධනය සඳහා කෘමි නාශක අවශ්‍ය ය. වැල්ලවාය, ඇතිලිවැව, තණමල්විල කෙහේවත් කෘමිනාශක විකුණන්නේ නැත. පොහොර විකුණන්නේ ද නැත.

මගේ පොල් වගා සිහිනයට මම දැනට රුපියල් ලක්ෂ තුනකට මදක් වැඩි ප්‍රමාණයක් වැය කර ඇත්තෙමි. ගෙවී ගිය මාස කිහිපයේ සැලකිය යුතු කාලයක් පොල් වගා අධ්‍යයනයට යොමු කළෙමි. සියල්ල කළෙමි. නමුත්, වත්තක ගෙනා පැල ටික හදා ගන්නට පොහොර ටිකත්, වේයන් මර්ධනයට පොල් වගා කිරීමේ මණ්ඩලය නිර්දේශ කරන කෘමිනාශකත් නැතිව සිටිමි.

පොහොර කෘමිනාශක තහනම ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමය!

පොහොරත් නැතිව කෘමිනාශකත් නැතිව පොල් හදනවා ද, නැද්ද මම සිතමින් සිටිමි. වේයන්ගෙන් පොල් වගාවට සිදු වන හානිය ගැන මා පසුගිය මාස 3 පුරා කියවා ඇති දේ ද, දැක බලාගත් දේ ද නැවත නැවත සිහිවේ.

අප්‍රේල් මාසයට ගමේ පවුලේ අයත් සමඟ මම කැට ගසා ඇත්තෙමි. පංචි දමා සුදු කෙළියට යන්නෙමි. පොල් වගාව යනු සූදුවක් නොවේ. එය විද්‍යාවක් අනුව සාපේක්ෂ හෝ නිරපේක්ෂ වාසියක් (ලාභයක්) පතා කරන වැඩකි.

අද හදන පොල් පැලේ එල දරන්නට අවුරුදු 4 ක් රැක බලා ගත යුතුය. අද හදන පොල් පැලේ ලබන මාසයේ වේයන්ට බිලි වන්නේ නම්, එහි ප්‍රතිඑලය තව අවුරුදු 4 කින් ලැබෙනු ඇත. පොල් වගා බිමේ යටි වගාව ලෙස පසුගිය කන්නයේ ලාබ ලැබූ උදු වගාව දැනටමත් සිදු කර ඇත. දෙවරක් කෘෂි රසායන යෙදූ උදු වගාවේ අස්වැන්න, කෘෂි රසායන නොයෙදූ උදු අස්වැන්නට වඩා හතර ගුණයක් වැඩි බව මම පසුගිය මාසයේ අත් දැක්කෙමි. කිසිදු විකල්පයක් නැතිව පොහොර, කෘෂි රසායන තහනම් කිරීම තුලින් විද්‍යාව පරදා මිත්‍යාව ජයගන්නා බව මම අත්දැකීමෙන් දනිමි.

මේ අමන තීරණයේ ප්‍රතිඑල තව මාස තුන හතරකින් – අවුරුද්දකින් දැක ගත හැකි වනු ඇත. ඒ වන විට රටෙන් බාගයක් සාගතයකට හසු නොවේවා යන්න මාගේ පැතුම ය.

රජිත් කීර්ති තෙන්නකෝන්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *