කහ වලින් රට ස්වයංපොෂිත කිරීමට ජනාධිපතිගෙන් ජාතික සැලැස්මක්

කහ වලින් රට ස්වයංපෝෂිත කිරීමේ ජාතික සැලසුමක් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ කරනු ලැබී ය.

ඒ අනුව රටේ පවුල් ලක්ෂ 15 කට කහ පැල ලබා දීමට නියමිත අතර එක පවුලකට කහ පැල පහක් බැගින් ලබාදෙනු ඇත.

මෙම ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) ආරම්භ වූ අතර වැඩසටහනේ ආරම්භය  සනිටුහන් කරමින් ජනාධිපතිතුමා ඊයේ පෙරවරුවේ මිරිහාන සිය නිවස පිහිටි ගෙවත්තේ කහ පැළයක්  රෝපණය කළේය.

ඒ අනුව ගුණාත්මක බවින්  ඉහළ කහ පැළ සෑම ප්‍රදේශයකම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන් මගින් ලබාගත හැකි බව ප්‍රකාශ වීය.

කහ පිටරටින් ගෙන්වීම රජය විසින් තහනම් කරන ලද්දේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී ය. කහ දේශීය නිෂ්පාදනය වැඩි වී මිල පහත වැටෙනු ඇතැයි රජය අපේක්ෂා කළ ද සිදු වුයේ හොරෙන් කහ ගෙන්වීමේ ජාවාරම වර්ධනය වීම සහ කහ මිල ඉහළ යාමයි.

තහනමට පෙර කිලෝව රුපියල් 700 ට තිබු කහ දැන් විකිනෙන්නේ කිලෝව රුපියල් 3000 ක් 4000 ක් තරම් අධික මිල ගණන් වලට ය. එමෙම් ම ප්‍රමිතියෙන් යුතු කහ සොයා ගැනීමට ද අපහසු වී තිබේ.

ජනාධිපතිතුමාගේ නව වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කොට ඇත්තේ එම තත්ත්වයට විසඳුම් වශයෙනි.

මෙම ජාතික වැඩ පිළිවෙළේ ආරම්භක අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර,  වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් රවින්ද්‍ර හේවාවිතාරණ, රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රෝහණ අබේරත්න යන මහත්වරු ඇතුළු පිරිසක්  එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *