රසායනික පොහොර තහනම මහා ව්‍යසනයක ආරම්භයයි ! – මහ පොළොවේ වගා කරන ගොවියෙක්

ගොවිතැන් කරන්නේ මහපොළොවේ මිස පත්තර, රූපවාහිනී හා සමාජ මාධ්‍ය යේ නොවේ.  මම වැලිමඩ හේනබැද්ද වත්තේ උඩරට ගොවිතැනත්, වැල්ලවායේ ‘පහතරට ගොවිතැනත්‘ කරන ගොවියෙක්මි. රසායන පොහොර, කෘෂි රසායන තහනම ගැන මම මේ ටික ලියන්නේ උදැල්ල අල්ලා වැඩ කරන, ලාබ පාඩු විදගන්නා ගොවියෙකු ලෙස මිස ප්‍රතිපත්ති තීරණයෙකු, විධායකයෙකු ලෙස හෝ දේශපාලඥයෙකු ලෙස නොවේ.

රසායන පොහොර, කෘෂි රසායන තහනම ආහාර හිඟයක් ඇති කරන දැවැන්ත විනාශයකට අත වැනීමක් මිස ප්‍රගතිශීලි හෝ උපක්‍රමික වශයෙන් වැදගත් වැඩක් නොවේ. විදේශ විනිමය නැති කම වසා ගන්නට කරන සෙප්පඩ විජ්ජාවකි.

අතුරලියේ රතන හිමි මන්ත්‍රී හාමුදුරුවන් ගේ කැම්පේන් එකක ප්‍රතිඑලයක් ලෙස වල් නාශක තහනම් කරන්නට එදා යහපාලන රජය කටයුතු කළේය.   මධ්‍යම හා මහා පරිමාන වගාකරුවෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දුන්හ.  කෘමිනාශක නැතිව තමන් දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන බව තේ වගාකරුවන් (වතු සමාගම්) ට ඒත්තු ගියේය.  ඔවුහු රතන හිමියන්ගෙන් එයට විකල්පයක් ඉල්ලුවේය.  රතන හිමියන් ‘අයියෝ ඕක සුලු දෙයක්නේ. මම ස්වභාවික වල් නාශක හදන හැටි කියා දෙන්නම්‘ යැයි කීවේය.  එදා පටන් අද දක්වාම රතන හිමියන් කෘමිනාශක ප්‍රශ්නය විසඳන්නට කථා කරන රටම දන්නා පුද්ගලයාගේ දුරකතනට උත්තර දෙන්නේ නැත.  රටේ නීතියට අනුව ‘ග්ලයිෆොසෙට් තහනම් ය.  නමුත්, ඇති තරම් හොර පාරේ කඩේට ඇවිත් වගා බිම්වලට වල් නාශක එකතු වෙයි. ඒවායෙන් බහුතරයක් ක්ලයිෆොාසෙට් වලට වඩා විනාශකාරීය.

මම පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ගොවිපලක් කරන්නෙමි.  වල් නාශක – කෘමි නාශක නැතිව ආර්ථික වශයෙන් ලාබ ලබන්නට වගා බිමක් කිරීම පහසු නැත.  කාබනික කෘෂිකර්මය ලාබ ලබන්නට නම් එලවළු පළතුරු මිල අද පවත්නා මට්ටමින් තුන් ගුණයකින් වත් ඉහළ දැමිය යුතුය. මා එය අත්දැකීමෙන් දනිමි.

ඔබ බහුතරයක් දන්නා පරිදි, මම උපන්දා සිට හැදුණේ වැඩුනේ වැලිමඩ හේනබැද්ද වත්තේ ය.  එහි හදන්නේ නැති උඩරට එළවළුවක් නැති තරම් ය.  අර්තාපල්, බෝංචි, ගෝවා, කැරට්, බීට්, ලීක්ස් හැම දේම ඒ අතර ය.  රසායන පොහොර, කෘමිනාශක, වල් නාශක නැතිව ලාබ ලබන්නට හැකි ගොවිබිමක් කරන්නට කිසිවෙකු හෝ ඉදිරිපත් වන්නේ නම් මම එහි අක්කර තුනක් නොමිළේ වගාව සඳහා වසරකට ලබා දෙමි.

වැලිමඩ – ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල මගේ මිතුරන්, ඥාතීන්, ගොවීන් සියළු දෙනාට එය කියාදීම මාගේ වගකීමක් යැයි සිතමි.  මන්ද, මම සමාජ මාධ්‍ය යේ නොව මහපොළොවේ ගොවිතැන් කර මේ ගොවීන් විදින දුක – අභියෝග අත් දැකීමෙන්ම දන්නා බැවිනි.  උදැල්ලෙන්, සොරඩියෙන්, අතින් වල් ගලවා ඇති බැවිනි.  ගිය මාසයේ ද අව්වේද, වැස්සේ ද, එය කළ බැවිනි. සති දෙකක් වැස්ස හෝ නියගය නිසා එළවළු පළතුරු මිල විචලනය වන ආකාරය කඩේට ගිහින් බඩු ගන්නා කාටවත් රහසක් නොවේ. සාගතයකට අත වැනීම රාජ්‍ය ප්‍රතිපත්තිය බවට පත් වන්නේ නම් එය වලක්වන්නට ගොවීන් ද, විපක්ෂයේ ප්‍රතිපත්ති තීරකයින් ද මැදිහත් විය යුතුය.

අද රටේ මිනිස්සුන්ගේ බඩ කට පිරෙන්නේ ඉහළ අස්වැන්නක් සහිත හයිබ්‍රිිඩ් බීජ වර්ග නිසාය.  ඒ සියල්ලම පොහොර, දිලීර හා කෘමි නාශක හා බැදී පවතී. මගේ වත්තේ කොමඩු අස්වැන්න පොහොර නැතිව ¼ කට අඩු වන බව මම රුපියල් දහස් ගණනක් නාස්තිකරමින් අත් දැක්කෙමි. අවසනාවකට ලංකාවේ බහුතරයක් කෘෂිකාර්මික කලාප නියෝජනය කරන මහජන නියෝජිතයින් මේ ගැන වචනයින් හෝ විරෝධයක් දක්වන්නේ නැතිව සිටී.

පොහොර තහනමේ එල විපාක විදින්නට වන්නේ මේ රටේ අන්ත දිළිදු මිනිසුන්ට ය.  ගොවීන්ට, කම්කරුවන්ට ය.  අද උදු කිලෝවක් රු. 800 කි.  මුං ඇට කිලෝවක් රු. 750 කි. ව්‍යාපාරික උදු වගාවේ පත්‍ර යුෂ උරාබොන කෘමින්ට රසායන යොදන්නට නොහැකි වන්නේ නම් උදු අස්වැන්න අඩකට වඩා අඩුවනු නොවැලැක්විය හැකිය.  මම එය මෝඩ වැඩක් බව කල පුරුද්දන් දනිමි.  දැන් රටටම එය කර අත්දැකීම් ලැබිය හැකිය.  එසා රු. 40 උදුලු වඩේ දැන් රු. 80 ය.  මේ වැඩේ අවසන් වන විට එව රු. 100 පනිනවා ස්ථීරය.
රසායන පොහොර, වල්නාශක කෘෂිකර්මයේ අමුද්‍රව්‍ය හා සමාන යැයි වටහා ගත යුතුව ඇත.   අමුද්‍රව්‍ය නැති තැන නිෂ්පාදනය අඩු වේ. නිෂ්පාදන තත්වය පහත වැටේ.

පසුගිය සති කිහිපයේ මම පැපොල්,   මඤ්ඤොක්කා, අන්නාසි, දෙහි වගාකරුවන්ගේ නිෂ්පාදන අපනයනකරුවන්ට හදුන්වා දෙන්නට උත්සහ කළ බව සමාජ මාධ්‍ය යේ ඔබ දකින්නට ඇත.  අපනයන සඳහා ප්‍රමිතියකින් යුතු කෘෂි නිෂ්පාදන අවශ්‍ය ය.  පැහැය, පෙනුම, නිමාව අවශ්‍ය ය.  අපනයන කෘෂිකර්මාන්තයේ නිරත වගාකරුවන්, අතරමැදියන්, අපනයනකරුවන්ට මේ තීරණයෙන් බලපෑම මාස දෙකක් තුල විදින්නට සිදුවනු ඇත.   මට මම දැරූ වෙහෙස ගැන ම කම්පාවක් දැනේ.

මගේ අප්පච්චීට වැලිමඩ තේ වගාවක් තිබේ.  එහි අඩුම අස්වැන්න ලැබූනේ ගිය වසරේ ය.  අප්පච්චීට අනුව හේතුව තේ පොහොර නැති කමයි.  (එය එසේ නොවේ යැයි කිසිවෙකු කියන්නේ නම්, මම දන්නා දවසේ සිට තේ වගාව කරන අපේ ගමේ මිනිස්සුන්ට වඩා ඔය කියන උදවිය තේ වගාව ගැන දැන්නේය. නැතිනම් ගාල්ලේ තේ හදන මගේ අලුත් කුඩා තේ වතු මිතුරන් වහාම පොහොර නැතිව තේ වගා කරන හැටි මේ ඔස්තාර්ලාගෙන් ටියුෂන් ගත යුතුය.)

නරේන්ද්‍ර මෝඩි ගේ ගුජරාට් ප්‍රාන්තයේ මිනිස් මළ (කක්කා/අසුචි) පොහොර කරන අයුරු මම දැක ගත්තෙමි.  අඩුම ගානේ ගොවියාගේ කක්කුසි වලවල් ටික පොහොර කර ගන්නට හෝ සෑහෙන කාලයක් ලබා දී මේ රසායන පොහොර තහනම් ගැසට් එක ක්‍රියාත්මක කළ යුතුව තිබේ.

ආහාර ආනයනය අතිශයින්ම ලාබදායී ව්‍යාපාරයකි. රටේ ආහාර නිෂ්පාදනය එකවරම පහත වැටෙන විට එක්කෝ බඩගින්නේ සිටිය යුතුය. නැතිනම්, අර පොල් තෙල් – සීනි ගෙනා ක්‍රමයට හෝ ආනයනය කර ගන්නට දිය යුතුය.  පාරිභෝගිකයාට තෝරා ගැනීම් දෙකක් තිබේ.

මිත්‍රවරුනි,  මම පසුගිය මාස 6 ක් වැඩිම දිනනක් ජීවත් වූවේ ලංකාවේ වැඩිම පිරිසක් සිය දිවි නසා ගන්නා තණමල්විල ආසන්නම නගරය වූ ගොවිබිමක ය. ගොවියාට ඇති තෝරා ගැනීම කුමක් විය හැකිදැයි මම කල්පනා කරමි.

රජිත් කීර්ති තෙන්නකෝන් 

මහ පොළොවේ වගා කරන ගොවියෙක්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *