නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි – අජිත් පැරකුම් ජයසිංහ

නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති “ජාතිවාදී ජාන” නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය.

1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට “ජාතිවාදියෙක්” වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? ආරක්ෂණවාදය මුළුමනින්ම අහෝසිකර ඇති ආර්ථිකයන් මෙළොව තිබේද?

2. මේ ආණ්ඩුවට මේ ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍ය මහජන අවසරය ලැබුනේ කෙසේද? (මගේ ප්‍රශ්නයේ පදනම වන්නේ ආණ්ඩුබලයට තාවකාලිකව පත් වන පිරිස් වලට තමන්ගේ මතිභ්‍රමයන්ට අනුව කටයුතු කිරීමට ප්‍රාතන්ත්‍රවාදය තුළ ඉඩක් නොමැති නිසාය.)

3. ETCA වැනි ගිවිසුමකින් ලංකාවට ලැබිය හැකි සාපේක්ෂ වාසි ඉතාම සංයුක්තව දැක්විය හැකිද? (ප්‍රාග්ධනය පැමිණීම වැනි වියුක්ත කතා නොව, එසේ පැමිණිමට ඇති සංයුක්ත ඉඩකට පෙන්වා දිය යුතුය.)

නිර්මාල් මේ ප්‍රකාශය කරන්නේ මා මීට කලින් පළ කළ ලිපියක් ෆේස්බුක්හි බෙදා හදා ගනිද්දී එය සමග තබන ලද පහත සඳහන් කරනු ලබන සටහන නිසා ය.

“අප ලෝක ආර්ථිකය සමග සම්බන්ධ විය යුතු ය. ජාතික දේශ සීමාවන් මකා දැමෙන ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණවලට උපකාර කළ යුතු ය. දේශපාලන ප්‍රජාවන් පුළුල් වන දේශපාලන ක්‍රියාමාර්ගවලට සහයෝගය දීම සමාජවාදී ය. හේතුව ලෝකයේ ම කම්කරු පංතිය අතර සම්බන්ධතා පුළුල් වීමට හා පොදුබවක් ඇති වීමට මෙම ක්‍රියාමාර්ගය ඉවහල් වේ. සමාජවාදියාට සිංහල හෝ ශ්‍රී ලාංකික කම්කරුවාගේ, හාම්පුතාගේ හෝ රජයේ සුවිශේෂත්වයක් නැත. ශ්‍රී ලාංකික ජාතික ආර්ථිකය වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හදන නිර්මාල් රංජිත් දේවසිරිලාගේ ජාතිවාදී නිලීන ජාන දැන් මතු වී තිබේ.”

මේ ප්‍රශ්න තුනට මා පිළිතුරු දුන්නේ මෙසේ ය:

1. //ආරක්ෂණවාදය (Protectionism) යනුවෙන් ආර්ථික පිළිවෙතක් පිළිබදව ඔබ අසා තිබේද? // නිර්මාල් මේ ඔයාට තිබෙන රෝගයේ ලක්ෂණයක්. අපි ආචාර්ය මහාචාර්යවරු නොවුණාට සාමාන්‍ය පත්තර කියවන මිනිස්සුන්ට වුණත් ඔය වචනය ආගන්තුක එකක් නෙමෙයි. ඉන්දියාවත් එක්ක ආර්ථික ගිවිසුමක් අත්සන් කළ පළියට ආරක්ෂණවාදයන් ඔක්කොම අහෝසි වෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කරනවා ද?

(නිර්මාල් රංජිත් දේවසිරි වැනි පුද්ගලයන් සිය නිල අධ්‍යාපන සුදුසුකම් පාවිච්චි කර දේශපාලන සංවාද මත ආධිපත්‍යය පතුරුවන්නට දරන උත්සාහයන්ට නිර්දය අන්දමින් පහර දිය යුතු ය. සාමාන්‍ය පොදු ජනතාවට දේශපාලන සංවාදවලට මැදිහත් වන්නට තිබෙන අයිතියට පාණ්ඩිත්‍යයෙන් තග දමමින් අරක වැරදියි මේක වැරදියි කියන්නට ඔවුන්ට අයිතියක් නැත. දේශපාලන සංවාදයට කාගේවත් උපාධි අදාළ නැත.)

2. ඔබේ දෙවෙනි ප්‍රශ්නයට අනුව, තව බොහෝ දේ ගැන ද ඔය ප්‍රශ්නය ම ඇසිය හැකි ය. උදාහරණයක් ලෙස හමුදාව පැහැර ගත් උතුරේ ජනතාවගේ ඉඩම් ආපසු දෙන්නට ආණ්ඩුවට අවසර ලැබුණේ කෙසේ ද යන්න ද ජාතිවාදියෝ අසති. මේ ගිවිසුම තවම අත්සන් කර නැති දෙයකි. එසේ ම, එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන බව ආණ්ඩුව ප්‍රකාශ කර තිබේ. තවද, මෙම ආර්ථික ගිවිසුමට දීර්ඝ ඉතිහාසයක් ද තිබේ. ඒ සඳහා කලින් ආණ්ඩු කීපයක්මත් සම්බන්ධ වී තිබේ. මේ සියලු ආණ්ඩු මහජනතාව විසින් පත් කර ගත් ඒවා ය. මේවා බලයට පත් වන අයගේ මතිභ්‍රම නම් ඔබගේ විරෝධය එවැනි මතිභ්‍රමයක් නො වේ යයි කියන්නේ කෙසේ ද ? අඩු තරමේ ආණ්ඩුව බලයට පත් වූ ප්‍රජාතන්ත්‍රවාදී පටිපාටියක් තිබේ. ඔබ කවුරු ද? ඔබගේ කණ්ඩායම වනාහි කිසිදු ජනවරමක් නැති ජනරාශියක් පමණි. ජනතාව නියෝජනය කරන්නට ආණ්ඩුවට තරම්වත් යුක්ති යුක්ත අයිතියක් ඔබට නැත. නවීන සමාජයන්හි ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ආකාරය හදාරන්න. ඔබ කියන ආකාරයේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදයක් නවීන සමාජයන්හි ක්‍රියාත්මක කළ නො හැකි ය. එය රෝමයේ ක්‍රියාත්මක වූයේ ද සීමිත පිරිසකගේ ආධිපත්‍යය වෙනුවෙන් පමණි.

මෙම ප්‍රශ්නයට තවත් කදිම පිළිතුරක් චන්දන ප්‍රසන්න විසින් ලබා දී තිබිණි. ඒ මෙසේ ය:

දැන් එතකොට අපි ‘ආණ්ඩු’ කියල ජාතියක් පත්කරන්නෙ මොකටද? මම දන්න විදියට නම් මහජනතාව තමන් සතු ස්වාධිපත්‍යය බලය යම් නිශ්චිත කාලයක් සඳහා යම් කණ්ඩායමකට පවරනවා. සාමාන්‍යයෙන් මැතිවරණයකට ඉදිරිපත් වෙද්දි ඒ පක්ෂ තමන්ගේ මූලික ප්‌රතිපත්ති ජනතාවට කියනවා. ඒ මූලික ප්‍රතිපත්ති රාමුව උඩ ඉඳන් නීති හදන එක/ ගිවිසුම් ගහන එක වගේ දේවල් ඒ ආණ්ඩුව කරන්න ඕන. නැත්නම් හැම පනතකටම/ ගිවිසුමකට ම ජනමතවිචාරණයක් තියන්න බෑනේ… මම හිතන්නේ unp ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා විදේශ ගිවිසුම් ගැනත්. එයාලා තමන්ගේ ලිබරල් ස්ථාවරය ගැන පැහැදිළිව කියල තියෙනවා. ඔන්න බැරිවෙලාවත් ලිබරල් ප්‍රතිපත්ති උඩ බලයට ආපු unp එක සමාජවාදී, ආරක්ෂණවාදී ප්‍රතිපත්තිවලට යනව නම් ඒකෙ තමයි අවුල තියෙන්නේ… එකතොට අපිට අහන්න පුළුවන් ”කවුද ඔව්ව කරන්න අවසර දුන්නෙ” කියල…

3. මා විසින් මතු කර දක්වන්නේ සාපේක්ෂ වාසියක් නොව, ඉතා පැහැදිලි දේශපාලන ක්‍රියාවලියකි. එය වනාහි දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමේ සංදර්භය තුළ හා ලෝකයේ කම්කරු පංතිය අතර සම්බන්ධතා ශක්තිමත් වීම යන සංදර්භයන් තුළ ඉන්දියාවත් සමග ආර්ථික ගිවිසුම අදාළ වන දේශපාලන ක්‍රියාවලියයි. මම ඒ ගැන ලිපි ගණනාවක ලියුවෙමි. එහෙත් නිර්මාල්ට ඒවා පෙනෙන්නේ නැත. ඔහුගේ පුහු පණ්ඩිතමානී මනස ඒවා ගැන කතා කරන්නට සූදානම් නැත. නිදාගෙන සිටින අය අවදි කළ හැකි මුත් බොරුවට නිදාගන්නන් අවදි කරන්නට බැරි ය.

නිර්මාල් ජාතිවාදියකු බව මම කීවෙමි. ඒ ඔහු ආර්ථික ජාතිකවාදයකු නිසා ය.

නිර්මාල් ජාතිවාදියකු පමණක් නො වේ. ඔහු ස්වෝත්තමවාදියෙකු බව ද කියමි. ඒ ඔහුගේ සංවාද ප්‍රවේශය තුළ දක්නට ලැබෙන පුහු පණ්ඩිතමානීකම නිසා ය.

රස්තියාදුකාරයන් වන අපට නිර්මාල්ට ලොකු බොහෝ දේ ලොකු නැති බව කියන්නට අවශ්‍යව තිබුණත්, අපට ගුරුහරුකම් දුන් අයකු ලෙස ඇති ගෞරවය නිසා මෙතෙක් නො කියා සිටියෙමි. එහෙත් මේ අවස්ථාවේ කියමි.

ස්වෝත්තමවාදයන්ගෙන් ගැලවීම අතිශය දුෂ්කර ය. පාසල්වාදය එයට හොඳම උදාහරණයකි. පුරුෂෝත්තමවාදයෙන් ගැලවුණු අය පවා පාසල්වාදය ළඟ නිරුවත්ව සිටිනු දැකිය හැකි ය. වාසනාවට නිර්මාල් නම් තමන්ගේ අල්මා මේටරය ගැන නන් දොඩවනු අසා නැත.

දේශපාලන සංවාදවලින් පසුව, පෞද්ගලිකව තරහා වන සෙසු බොහෝ වාමාංශික පසුගාමීන්ට වඩා නම් නිර්මාල් ඉදිරියෙන් සිටින බව සිතමි. හෙටත් අප මිතුරන් ම වනු ඇතැයි පතමි.

මෙන්න නිර්මාල්ට අලුතින් ලැබුණු අනුගාමිකයකුගෙන් මට ලැබුණු ප්‍රතිචාරය.

නිර්මාල් ජාතිවාදීයෙක් නම් උඹ මෝඩ තක්කඩි කාලකන්නියෙකි.
උඹ ගේ ඉහ නිකට පැහිල තියෙද්දිත් උඹ නොදකින ekta ගිවිසුමේ අදුරු පැත්ත
නිර්මාල් දේවසිරි දකිනව.
ඕක තමයි ඇත්ත .
උඹට තියෙන්නේ කුහක කමක් නැතිව උඹ නොදකින
එතුමා දකින අදුරු පැති ගැන කුහක කමක් නැතිව ගරු කිරිමයි.
නමුත් මම දන්නවා
උඹ ආත්මෙකට ඒක කරන්නේ නැහැ .
මොකද උඹට ඕන මේ රටේ උගතුන් මොන මගුලක් හරි කරල යට.කරල තියාගන්න .
තව ටිකක් වට පිට බල බල ඉදල කියපං
නිර්මාල් දේවසිරි මැදමුලන එකාගේ බත් බැලයෙක් කියල.

අලුත් යාලුවන් සමග අලුත් ගමනක් යන අපේ මිත්‍රයාට සුබපැතුම්!

(අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka බ්ලොග් අඩවියෙනි)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *