දුර බලනු! ළඟ නො බලනු! ECTA ඉදිරියට ගෙන යනු! – අජිත් පැරකුම් ජයසිංහ

මම මූලධාර්මිකව ECTA ගිවිසුමට පක්ෂ ය. හේතුව මම කලින් ද කීවෙමි. මම ආර්ථික ජාතිවාදයට විරුද්ධ ය. ලෝකය ආර්ථික වශයෙන් වැඩි වැඩියෙන් සම්බන්ධ වීමට මම පක්ෂ ය. එය ප්‍රාග්ධනය තලයේ මෙන් ම ශ්‍ර‍ම තලයේ ද සිදු විය යුතු ය.

ප්‍රාග්ධනයේ නිදහස් සංචලනයට ඇති බාධා අවම ය. ශ්‍රී ලංකාව වැඩි වැඩියෙන් එයට පහසුකම් සලසයි. රටට ආයෝජකයන්ගේ පැමිණීම මහත් උනන්දුවෙන් අපේක්ෂා කරනු ලැබේ. කිසිවෙක් එයට විරෝධය පළ කරන්නේ නැත.

ECTAට විරුද්ධ වන අය මූලිකව ම විරුද්ධ වන්නේ ශ්‍ර‍මයේ නිදහස් සංචලනයටයි. නැතිනම්, ශ්‍ර‍මිකයන්ට ශ්‍ර‍ම වෙළඳපොළ අවශ්‍යතාවන් අනුව නිදහසේ සංචලනය වීම සඳහා ලැබිය යුතු නිදහසටයි.

එසේම, වෙළඳපොළ විවෘත කිරීමට ද ඔවුහු විරුද්ධ ය. පුදුමය කියන්නේ ඉන්දියාව හා ලංකාව සම්බන්ධ කර පාලමක් දමනවාට පවා විරුද්ධ ය. ලංකාව ලෝක අන්තර්ජාලයත් සමග සම්බන්ධ කරන ජාත්‍යන්තර කේබල්වලට හා චන්ද්‍රිකා හරහා කෙරෙන සන්නිවේදනයටත් මොවුන් විරුද්ධ ද?

ශ්‍රී ලංකාවේ නූතන රාජ්‍යය තීරණාත්මක ලෙස ආර්ථිකය විවෘත කළේ 1977දී ය. ඒ කාලයේදී ද බොහෝ දෙනෙක් එයට විරුද්ධ වූ හ. එහෙත්, 1977න් පසු ශ්‍රී ලංකාව ලබා තිබෙන සමාජ, ආර්ථික සංවර්ධනය හා විවෘත ආර්ථිකය එකිනෙකින් වෙන් කළ නො හැකි ය.

ශ්‍රී ලංකාවට ආර්ථිකය විවෘත කරන්නට සිදු වූයේ සමාජවාදයේ නමින් පවත්වාගෙන ගිය ස්වයංපෝෂීභාවය ඉලක්ක කළ ජාතිකවාදී සංවෘත ආර්ථිකය විසින් ලංකාව දරුණු අර්බුදයකට ඇද දමා තිබුණු නිසා ය.

මහින්ද රාජපක්ෂගේ දශකයෙන් පසුව ද ලංකාව සිටින්නේ එවැනි තීරණාත්මක සන්ධිස්ථානයක ය. දැවැන්ත රාජ්‍ය අංශයක හා රාජ්‍ය ණය උගුලක ලංකාව හිර වී තිබේ. රැඩිකල් ක්‍රියාමාර්ග නො ගෙන මේ අර්බුදයෙන් ගොඩ ආ නො හැකි ය.

ECTA ගිවිසුම ඔස්සේ පවත්නා තත්වයන්ට සෑහෙන බලපෑමක් ඇති වන බව ඇත්තකි. උදාහරණයක් ලෙස, ලංකාවට වෛද්‍යවරු පැමිණියහොත්, දේශීය වෛද්‍යවරුන්ට හා හොර වෙදුන්ට මේ තරම් පහසුවෙන් රෝගීන් සූරා කන්නට බැරි වනු ඇත. හැබැයි, වෛද්‍ය සේවාවවන්ගේ ගුණාත්මක තත්වය අනිවාර්යයෙන් ම පිරිහෙනු ඇතැයි කිව නො හැකි ය. රජයට ඒවා නියාමනය කරන්නට පුළුවන. හැබැයි කුමන නියාමනයකින්වත් වම, දකුණ මාරු කර ගැනීම වැනි නොසැලිකිලිමත්කම් නැති කළ නො හැකි ය. ඒ සඳහා වෘත්තිකයන් වගකීම් සහගත පුරවැසියන් විය යුතු ය.

මා මේ දක්වන ලද උදාහරණය උපහාසාත්මක වැඩි නම් ඔබට වෙනත් උදාහරණ දැක්විය හැකි ය. ඒවා එසේ නො වේ යයි කියන්නට මට අවශ්‍යතාවක් නැත.

මා කියන්නේ මෙයයි. රටක් ලෙස ඉදිරියට යාමට නම් අපට අනිවාර්යයෙන් ම ලෝක ආර්ථිකයත් සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට සිදු වනු ඇත. අපට එහිදී ඉන්දියාව කිසි සේත්ම මගහැරිය නො හැකි ය. අපට බාහිර ලෝකයේ ආරම්භය ඇත්තේ ඉන්දියාවෙන් ය.

අප විසින් කළ යුතුව තිබෙන්නේ ECTA ගිවිසුමට එරෙහි වීම නො ව, ඇති වන වෙනස්කම්වලට හැඩගැසීමේ මූලෝපායන් පිළිබඳ විධිමත්ව අධ්‍යයනය කිරීමයි.

ලංකාවට ඒ සඳහා අවශ්‍ය ප්‍ර‍ත්‍යාස්ථිතිය තිබේ. ඒ සඳහා හොඳම උදාහරණයක් ඇඟලුම් කර්මාන්තයෙන් සපයා ගත හැකි ය. කෝටා ක්‍ර‍මය අහෝසි කිරීමෙන් පසු ඇත්තෙන් ම ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ ගුණාත්මක වර්ධනයක් සිදු විය. කෝටාවට ලාභ ඇඳුම් මහනවා වෙනුවට වෙළඳ නාම වෙනුවෙන් ගුණාත්මක අතින් ඉහළ ඇඳුම් මහන්නට ලංකාව සමත් විය. ඇතැම් කර්මාන්ත ශාලා කඩා වැටුණු බව ඇත්තකි. එහෙත්, සමස්තයක් ලෙස කර්මාන්තය ගුණාත්මක වශයෙන් ඉහළ ගියේ ය. ඒ කර්මාන්තයේ නියැලි ජනතාවගේ අප්‍ර‍තිහත ධෛර්යය නිසා ය.

ECTA සම්බන්ධයෙන් ද කියන්න තිබෙන්නේ ඒ ටික ම ය. ජාතිවාදී, දේශපාලනික හා පෞද්ගලික අරමුණු සහිතව පෙළපාලි යන අසුබවාදීන් කුමක් කිව්වත් මේ රටේ ජනතාවට ඔය තත්වයන්ට හැඩගැසෙන්නට අවශ්‍ය ප්‍ර‍ත්‍යස්ථතාව තිබේ.

අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka බ්ලොග් අඩවියෙනි

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *