ජනාධිපති, බැසිල් විරෝධී කණ්ඩායම දෙකඩ වෙයි !

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට සහ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය පිලිබඳ යෝජනාවේ දී ජනාධිපතිවරයාටත් , බැසිල් රාජපක්ෂ මහතාටත් එරෙහිව එක්ව සටන් කළ ජාතිකවාදී කණ්ඩායමේ දෙකඩ වීමක් අද පෙන්නුම් කළේ ය.

පෝට් සිටි ව්‍යාපෘතිය ඉතා හොඳ ව්‍යාපෘතියක් ලෙස ජාතික සංවිධාන එකමුතුව අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්ත්වය ප්‍රකාශයට පත් වී ඇත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු සංඝයා වහන්සේලා පිරිසක් මෙන් ම රජයේ ඇතැම් මැති ඇමතිවරුන් ද මෙම ව්‍යාපෘතියට එරෙහිව කරුණු දක්වා තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශකයින් ද ඒ අතර සිටි බව පෙනෙන්නට තිබිණි.

මේ සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනයට සහ නැගෙනහිර ජැටියේ යෝජනාවට එරෙහිව එක්ව සටන් කළ උදවිය වෙති. එම කණ්ඩායම පෙනී සිටියේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි සන්ධානයක් වශයෙනි.

පෝට් සිටි ප්‍රශ්නයේ දී ජාතික සංවිධාන එකමුතුව මෙම සන්ධානයෙන් කැඩී ඇති බව අද පැහැදිලි වී ය. එම සංවිධානය මෙහෙයවන්නේ බැසිල් විරෝධී පක්ෂ සන්ධානයේ ප්‍රධාන නායකයා වී සිටින විමල් වීරවංශ ඇමතිවරයා විසිනි.

එබැවින් එම සංවිධානය පෝට් සිටියට සහය පළ කිරීම එයට විරුද්ධ වූ කණ්ඩායමට බරපතළ පසුබෑමක් විය හැකි බව පෙනෙන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *