|

ආර්ථික විද්‍යා ආචාර්ය බන්දුලගේ ගණිත ශාස්ත්‍රය මෝඩයින්ට තේරෙන්නේ නෑ!!! – මැට්ඩොට්ටා

ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හොබවන වෙළෙඳ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ගණිත ශාස්ත්‍රය අඥාන මෝඩ සාමාන්‍ය ජනතාවට නොතේරෙන ගැඹුරු දර්ශනයක් බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇත.

රුපියල් දෙදහස් පන්සියයකින් පවුලකට මාසයක් ජීවත්විය හැකි බව ආචාර්ය තුමා කලකට පෙර කීවේ ය. බොහෝ දෙනාට එය තේරුනේ නැත. එබැවින් නොතේරුම් කම නිසා ජනයා මාසයක් ජීවත් වෙන්න රුපියල් තිස් හතලිස් දහසක් වැය කළහ.

සහල් කිලෝ තුනක් පවුලකට සති දෙකකට ප්‍රමාණවත් බව දින කිහිපයකට පෙර ආචාර්යතුමා කීවේය. එය ද මෝඩ ජනයාට තේරෙන්නේ නැත. එනිසා ඔවුහු ඕනෑවට වඩා බත් කති. එය මෝඩ වැඩකි.

සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාවේ එක පුද්ගලයකු වර්ෂයකට කන සහල් (බත් ලෙස හෝ සහල් ආහාර ලෙස ) ප්‍රමාණය කිලෝ 107 කි. සතර දෙනෙක් සිටින පවුලක් කන සහල් ප්‍රමාණය කිලෝ 428 කි.

අවුරුද්දකට සති 52 ක් නිසා සතියකට කන සහල් ප්‍රමාණය කිලෝ 8.2 කි. සති දෙකකට නම් කිලෝ 16.4 කි.

සති දෙකක් කන්න වෙළෙඳ ඇමතිතුමා දෙන සහල් කිලෝ තුන දින තුනකින් කා දමන මොවුන්ට ඉතිරි දිහා 11 ක් ඉන්න වෙන්නේ බඩගින්නේ ය. ඒ ඔවුන්ගේ මෝඩ කම නිසාය. ආචාර්ය තුමාගේ ගණිත ශාස්ත්‍රය තේරුම් ගෙන ඒ අනුව සහල් පරිභෝජනය කළේ නම් ඔහොම වෙන්නේ නැත.

අලුත බැඳපු ජෝඩුවකට වුව ද , මේ තත්ත්වය උදාවෙයි. එබඳු ජෝඩුවක් සති දෙකක දී කන සහල් ප්‍රමාණය කිලෝ අටකට වැඩි ය. ඇමතිතුමා සති දෙක කන්න දෙන සහල් කිලෝ තුන කන්න ජෝඩුවකට යන්නේ දින හයකි. එවිට ඔවුන්ට සතිදෙකේ දින අටක් ඉන්න වෙන්නේ බඩගින්නේ ය. ඒ මෝඩකම නිසා ය.

දැන් සියලු දෙනා  කළ යුතු වන්නේ බන්දුල ඇමතිතුමාගේ ගණිත ශාස්ත්‍රය ඉගෙන ඒ අනුව කන්න ඉගෙන ගන්න එකය.

එසේ නොකරන තාක් කල් ජනතාවට සිදුවන්නේ සීතාම්බර පට සළුව හැඳ වීදි සංචාරය කළ ජයතුමා දෙස බලාසිටි මෝඩ ජනයා ලෙස බන්දුල ඇමති තුමා දෙස නිහඬව බලා සිටින්නට ය.

මැට්ඩොට්ටා

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *