සංශෝධන නොව ජනතාව ඉල්ලන්නේ අලුත් ම ව්‍යවස්ථාවක්- ජනතා අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති – නීතිඥ ලාල් විජේනායක

lal-wijenayaka-2ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව ජනතාවගේ අදහස් විමසන්නට අපි පටන්ගත්තේ කොළඹින්. ඉන් පසුව පිට පලාත්වලට ගියෙමු. හැම දිස්ත්‍රික්කයකම අඩු ගණනේ ජනතාවගේ අදහස් විමසුවෙමු. කොළඹ දිස්ත්‍රික්කය තුළ අදවන විට දින 8ක් තිස්සේ අදහස් ලබාගෙන තිබේ. ඒත් ඉවර කරන්නට නොහැකි වි ඇත. සමහර දිස්ත්‍රික්කවලට අපි 5 දෙනෙක් ගියාට අපි දෙදෙනා හා තුන්දෙනා බැගින් බෙදාගෙන කරලත් ඉවර කරන්නට නොහැකි විය.
ඒකෙන් පෙනෙන දේ තමයි ජනතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අපි හිතුවාට වැඩියෙන් උනන්දුවක් තිබීම. අදහස් විමසිම ආරම්භකරන විට ම ජනතාව ඇහුවා, මේ අදහස් විමසන්නේ සංශෝධනයකට ද නැත්නම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නට ද යන්න. නමුත් අන්තිම වෙනවිට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යය යන තත්ත්වයට එය වර්ධනය විය. එසේ වූයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ, තිබෙන ව්‍යවස්ථාවෙන් ජනතාව ආරක්ෂා නොවන නිසාය යන්න අප විසින් පැහැදිළි කළ හෙයිනි. මක්නිසා ද යත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් අවශ්‍ය වෙන්නේ ජනතාවට ය. රාජ්‍ය යන්න බලවත් ආයතනයකි. ඒ රාජ්‍යයෙන් ජනතාව ආරක්ෂා වියයුතු ය. බලය අත්තනෝමතිකව පාවිච්චි කරන එක වළක්වා ගැනීමට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වෙන්නේ. දැන් පසුගිය වසරේ ජනවාරි 8ට පෙර ඒක සිද්ධවූයේ නැත. අතුරුදහන් වුනා, මරලා දැම්මා, ගස් බැන්ඳා, දණගැස්සුවා, මාධ්‍ය ආයතනවලට ගිනිතිබ්බා. නමුත් එක මිනිහෙකුට විරුද්ධවත් නඩුවක් පැවරුනේ නැත. ජනතාව අවසානයේ අනාරක්ෂිත විය. මාධ්‍යවේදින් ගණනාවක් මරා දැමුවා. කිසිකෙනෙකුට සරණක් ලැබුනේ නැත. එක නඩුවක්වත් විමසුවේ නැත. පොලිස් අත්අඩංගුවේ සිටි 200ගණනක් මරා දැමුවා. එයින් කියැවී ඇත්තේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැඩකට නැති එකක් යන්න ය. පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දුර්වල නිසාම ඒක කඩාවැටී ඇත. අගවිනිසුරුතුමිය ඉවත් කිරීමෙන් ඒ තත්ත්වය උච්ච අවස්ථාවට පැමිණියේ ය. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුතුමියටවත් ආරක්ෂාවක් එම ව්‍යවස්ථාවෙන් ලැබුනේ නැත. එසේ තිබිය දී වෙන අය ගැන කුමක් කියන්නට ද? අගවිනිසුරුවරිය ඉවත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබු අභියාචනා නඩු තීන්දු දෙකක් ඉවත දැමිය. මේ කරුණු නිසාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ජනතාව තිරණය කර ඇත.
ජනතාව ඉදිරිපත්කරන අදහස් වලින් පෙනෙනවා, ජනතාව මේවා හිටපු ගමන් ඉදිරිපත්කරන අදහස් නොවන බව. එයින් කියන්නේ ජනතාව මේ ගැන හිතලා තිබෙන බව ය. අපි යන යන තැන ජනතාව කියන එකක් තමයි, මේ තමයි අපේ ප්‍රශ්න කියන්න අපිට ලැබුණු පළවෙනි වතාව බව. එහෙම කියන විට, ඇයි මන්ත්‍රිවරු ඒ ගැන අහන්නට එනවා නේද යනුවෙන් මම ප්‍රශ්න කලෙමි. එතකොට කියන්නේ මන්ත්‍රිවරු එනවා තමයි, ඇවිත් නොයෙකුත් දේ පොරොන්දු වෙලා යන බවය. නමුත් ඔවුන් මොක්ක ද? අපිට ඇති ප්‍රශ්නය යන්න ඇසුවේ නැති බව ඔවුහූ කියති. අදහස් ලබාදිමට අවස්ථාවක් තිබීම ගැන මිනිසුන් ඉතා සන්තෝෂයට පත්වි තිබේ. ජනතාව කියූ දේවල් හංගන්නට හෝ විකෘති කරන්නට අපේ සූදානමක් නැත. ඒ දේවල් එසේම ඉදිරිපත් කිරීමයි අපේ බලාපොරොත්තුව. ඊට අමතරව අපේ නිගමනයන් ද මේ සමග ඉදිරිපත් කිරීමට බලාපොරොත් වන්නෙමු. ඒ නිර්දේශ මොනවාද යන්න තවම අපි තීරණයකර නැත. දැනට කෙරෙන්නේ ජනතාව කියූ දේවල් වර්ග කිරීම පමණි.
ජනතාව තමන්ගේ අදහස් සමඟ ම ඒ අදහස්වලට පදනම් වූ තර්කයන් ද ඇතුලත් කිරීමට අදහස් කරන්නෙමු. මේ සාක්ෂි දුන්නේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොව බුද්ධිමතුන්, දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති හා වෙනත් සමාජ සංවිධාන ය. තව ද එයට සමාජයේ විවිධ ක්ෂේත්‍රයන්වල අදහස් ඇතුලත් ව තිබේ. යාපනේ දේශපාලන පක්ෂ 5ක් මේ කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දී තිබේ. වතුකරයේ සෑම වෘත්තිය සමිතියක් පාහේ කොමිසම ඉදිරියේ සාක්ෂි දී තිබේ. ඒ අය ඉදිරිපත් කළ අදහස් ඉතාමත් වැදගත් ය. ඒ ප්‍රශ්න වෙනම ම අධ්‍යයනය කළයුතු ප්‍රශ්න වේ. මූලික වශයෙන් ඒ අයට මිනිසුන් හැටියට ජීවත්වීමේ අයිතිය අහිමි වී තිබේ. ඒ අයට ඉඩමේ අයිතිය අහිමි වී ඇත. ඒ අයට ගමක් මෙන්ම ලිපිනයක් ද නැත. ඒ තත්වය දිගට තිබෙන්නේ නම් මොන ව්‍යවස්ථාව හැදුවත් රටේ ස්ථාවර භාවයක් ඇත්කරගත නොහැක. දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ ගැන ඇත්තේ නිහඬත්වය කි. අපි කියන්නේ ඒ දෙස ධනාත්මකය බැළිය යුතු බව ය. ඒ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් ප්‍රශ්නයක් ඒක. වතුකරයේ ප්‍රශ්නය සරළව විසඳිය හැකි ප්‍රශ්නයකි. ඒවා ඉතා විශාල ප්‍රශ්න නොවේ. වතුකරයේ ප්‍රයෝජනයට නොගන්න ඉඩම් අක්කර දහස් ගණනක් ඇත. ඒ අයට ජීවත් වන්නට ඉඩම් කොටසක් නොදි පිට මිනිසුන් පදිංචි කිරීම ප්‍රශ්නයක් හැටියට තිබේ. ඒ නිසා වතු කම්කරුවන්ගේ ළමයින් නගරයට සංක්‍රමනය වෙමින් ඇත. අද වතුකරයේ වැඩ කිරීමට ශ්‍රමය නැත. මේ ලමයින් දෙමාපියන් සමග 10×12 කාමරයේ ජීවත් වෙන්නේ. අඩුම තරමේ සාමාන්‍ය පෙළටවත් ඔවුන් ඉගෙනගෙන ඇත. ඒ ළමයින්ට ඒ පරිසරයේ අද ජීවත්වන්නට නොහැක. ඒක විශාල සමාජ ප්‍රශ්නයක් වී ඇත. ඒ මූලික ප්‍රශ්නවලට මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය මගින් විසඳුම් ඉදිරිපත්විය යුතුව තිබේ.
අපි විපක්ෂ නායක සම්බන්ධන් මහතා සමග සාකච්ඡා කළෙමු. ඒක ඉතාමත් හොඳ සාකච්ඡාවකි. සංහිඳියාවෙක් ඇතිකරන්නට ඉතාමත් වැදගත් කරුණු 5ක් ඔහු ඉදිරිපත් කර තිබේ. ඒවා හැම පක්ෂයක්ම පිළිගන්නේ නම් අපිට ප්‍රශ්නයක් නැති බව එය අවසානයේ දී ඔහු පැවසී ය. ඒ ඉදිරිපත් කළ කරුනු අන්තවාදී ඒවා නොව හැම පක්ෂයකටම පිළිගතහැකි කරුණු වේ. ඒවාට විරුද්ධ වෙනවා නම් විරුද්ධ විය හැක්කේ දේශපාලන අවස්ථාවාදය නැත්නම් ජාතිවාදි පදනමෙන් පමණි. ඒ නිසා ජාතික ප්‍රශ්නය පැත්තෙන් සම්බන්ධන් මහතා හමුවී ඔහු සමග සාකච්ඡා කිරීමේ දී අපිට විශාල විශ්වාසයක් ඇත්විය. එතන තමයි මේ ව්‍යවස්ථා සංශෝධනයේ දී අමාරුම තැන. විශේෂයෙන්ම ෆෙඩරල් අදහස් මෙන්ම ස්වයංතීරණය යන ස්ථාවර සිටි ඔවුන් වඩාත් නම්‍යශීලී වී ඇත. ඒ වගේ අදහස් මෙන්ම ඔවුන් ජනතාටව දුන් පොරොන්දු ද තිබේ. ඒ එකක්වත් මේ සාකච්ඡාවේ දී ඔහු මතුකළේ නැත. මෙයින් පෙනෙන්නේ දැනට ලැබී ඇති සීමාව තුළ කළහැකි දේ පිළිබඳව ඔවුනට අවබෝධයවක් ඇති බව ය.
අනික් ප්‍රශ්නය තමයි උතුරේ කුළ භේදය. එය මෙතරම් දරුණුවේ යැයි මා කිසි දිනෙක සිතුවේ නැත. උතුරේ කුල පීඩනයට ලක්වී සිටින අය, එයලා ගේ මූලික ප්‍රශ්නය හැටියට ඒක ඉදිරිපත් කරති. මොන ප්‍රජාතන්ත්‍රවාදයක්වත් අර්ථවත් වන්නේ නෑ මේ ආකාරයට කුළ භේදය තිබෙන්නේ නම්. එල්. ටී. ටී. ඊ. එක උතුරේ බලවත් ව පැවති කාලයේ එය යටපත්ව තිබූ කුල පීඩනය නැවතත් එහි හිස ඔසවා ඇත. පැවති ඒ කුල ආධිපත්‍යය නැවත තහවුරු කරගන්නට ඒ අය විශාල සටනක් කරන බව පෙනේ. ඒක සාර්ථන වී ඇති බවයි ඒ අය පවසන්නේ. ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ම උතුරේ පහළ යැයි සම්මත කුළවල නියෝජිතයින් එක් අයෙක් පමණයි සිටියේ. ඔහු ද සිටියේ සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩු කාලයේ ය. ඔහු ද පත්කළ මන්ත්‍රිවරයෙකි.

මේ සාක්ෂි විමසීමේ දි දැක්ක අනික් දේ තමයි ඇතැම් අයගේ අදහසට අනුව මෙතනින් එහාට පිම්මකින් පැනිය යුතු බව ය. ක්‍රමක් ක්‍රමයෙන් ඉදිරියට යායුතු බව කියන පිරිසකුත් සිටිති. ඒ දෙක ගැන අපි සළකා බැලිය යුතු ය. මේක පිම්මක් වගේ පැනගන්නට පුළුවන්ද? ඒකට වාසිදායක සමාජ පරිසරයක් තිබෙන්නේ ද යන්න සලකා බැලිය යුතු ය. එහෙම නැත්නම් අඩියක් අරගෙන ඉදිරියට යන්නට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සලසන්නේද යන්න සැලකිල්ලට ගතයුතුව තිබේ. ජනවාරි 08වෙනිදායින් පසු අපි ඉදිරි පියවරක් ගෙන තිබේ. ඒක අපි පිලිගතයුතු ය. ඒක ආපස්සට ගැණිමට නොහැක. පිම්මක් පනින්නට සැරසී ඒකත් නැතිකරගන්නේ ද, යන්න ප්‍රශ්නයකි. ඒ නිසා ඒ ගැන පරිස්සමෙන් කල්පනාකර බැලිය යුතු ය. මේ ගමන පිම්මක් වියයුතු බව කියන අය සිටියත් එය සාමාන්‍ය ජනතාවගේ අදහස ද යන්න ප්‍රශ්නයකි. සාමාන්‍ය ජනතාව බලාපොරොත්තු වෙන්නේ තම මූලික ප්‍රශ්න විසඳිය හැකි ගමනකි. මට පෙනෙන ආකාරයට දකුණේ ජනතාව පමණක් නොව උතුරේ ජනතාව ද බලාපොරොත්තු වන්නේ ඒ ආකරයට ය.
ඇත්තටම ජනතාවගේ ඇත්ත ප්‍රශ්න යනු අපි හිතන ප්‍රශ්න නොවේ. දැනට 5000ක් පමණ අදහස් දක්වා ඇත. එයින් 2500ක් පමණ අපි ඉදිරියට පැමිණි අදහස් දක්වා තිබේ. මෙයින් එක්දහස් ගණනක් පමණ විශාල සංවිධන වේ. ඊට අමතරව පුද්ගලයින් ද විශාල සංඛ්‍යාවක් පැමිණිය හ. ඒ හැම එක්කෙනාගේම තියෙන දුක් ගැනවිල්ල වන්නේ මේ රාජ්‍යය යන්ත්‍රණය වැඩකරන්නේ නැති බවය. ජනතාව කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුනාට තමනට එයින් ආරක්ෂාවක් නැති බව ය. ප්‍රශ්නයක් ඇතිවුණාම අපි කොහාට ද යන්නේ කියන්න අපි දන්නේ නෑ. අන්න ඒ වගේ ජනතාව අසරණ තත්ත්වයකට වැටී සිටින බව ඒ අය කියති. ඊ ළඟට ඔවුන් කියන සාමාන්‍ය ප්‍රශ්න ඇත. උතුරේ ඉඩම් පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් ලෙස පවතී.
දකුණේ ජනතාවටත් ඉඩම් පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. අනික් එක පරිසරය පිළිබඳ ප්‍රශ්නය. අලින්ගෙන් වෙන විපත. සංවර්ධනය නිසා ඇතිවන විපත, ඒවා දකුණේ තදබල ප්‍රශ්න වේ. යනයන තැන ඒ ප්‍රශ්නය මතුවිය. කර්මාන්ත ශාලා ආරම්භ කිරීමේ දී හරි පරිසර ඇගයීම් නොමැතිව කිරිම නිසා ඇති වූ ප්‍රශ්න තිබේ. විශේෂයෙන්ම සංවර්ධනය හා පරිසරය මෙන්ම ජනතාවගේ අයිතින් පිළිබඳ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බව වැඩිදෙනාගේ අදහස ය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මේකට විසඳුමක් ඉදිරිපත් කළයුතු ය. මේ කරුණු තුළනය කරන්නට අවශ්‍ය ය. පරිසර හානිය උතුරටත් වඩා දකුණේ ප්‍රශ්නයක් වී තිබේ.
අද ලංකාවේ සේවක ප්‍රශ්නයක් ද ඇත. විදේශ ආයෝජන පැමිණියහොත් විදේශ සේවකයින් ගෙනෙන්නට ද සිදුවේ. ඒ නිසා පසුගිය කාලයේ චීනයෙන් එහෙම කම්මරුවෝ ගෙනාවේ ය. දැන් ඒ තත්ත්වයට පැමිණ ඇත. මක්නිසා ද අද කම්කරු රැකිවලට පැමිණිමට ලංකාවේ ශ්‍රමිකයින්ගේ මැළිකමක් ඇත. දැන් ඒ තත්ත්වය මේ රටේ ඇතිකර තිබේ. ගම්බද අය එවැනි රැකියාවකට නගරයට එන්නනේ නම් නවාතැන් පහසුකම් තිබිය යුතු ය. යම් කර්මාන්තයක් පටන්ගන්නේ නම් නේවාසිකාගාර ද ඇතිකළයුතුව ඇත. දැන් කර්මාන් ශාලාවල ඇබෑර්තු ඇති නමුත් ඒවාට කිසිවෙකු යන්නේ නැත. මේකට කිසියම් සමාජ විප්ලවයක් ඇතිකළ යුතුව තිබේ. මිනිසුන්ගේ මනස වෙනස් කළයුතුව තිබේ. දැන් ඉනිදියාවේ එය ඇතිකර තිබේ. ඉන්දියාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භකරන විටම ඒකේ වැඩට එන්නට බොහෝ අය සිටිති. ඒ අය කර්මාන්තය සමගම නේවාසික පහසුකම් ද ඇතිකරති. ලංකාවේ වෙන්නේ කර්මාන්තය පටන්ගෙන පසුව ශ්‍රමිකයින් සොයාගෙන යෑම ය.
මේ ආකාරයට ව්‍යවස්ථා ප්‍රථිසංස්කරණයක් සඳහා ලංකාවේ පුරවැසියන්ගෙන් අදහස් ලබාගන්නා පළමුවන අවස්ථාව මෙය වේ. ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාරය ඉතාමත් විශාල ය. දැන් තියෙන්නේ මේ සියලු අදහස් රට ඉදිරියේ තබා ඒ පිළිබඳව රටතුළ ජාතික මට්ටමේ සංවාදයක් ඇතිකිරීමට කටයුතු සැළසීම ය. ඒ තුළින් පැහැදිළි කරගන්නට හැකිවෙයි රටේ ඉදිරි මග කුමක් ද කියන එක.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *