මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ.

මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය.

2015 ජනවාරි 8 ජනාධිපතිවරණය පැරදුණා නම් සිරිසේනට හා ඔහුගේ සමීපතමයන්ට වෙන්නට තිබුණු දෙය නැවත සිහිපත් කර ගත්තා නම් හොඳ ය.

මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය යටතේ ශ්‍රීලනිපය සුද්ද කළ යුතු ය. ඒ වෙනුවෙන් මිළක් ගෙව්වාට කමක් නැත. ඒ මිළ 2016දී ගෙවන එක ද නරක නැත. මන්ද, ප්‍රධාන මැතිවරණ යළි පැවැත්වෙන්නේ 2020දී පමණ ය.

මහින්ද රාජපක්ෂ සමග ගැලවී යන්නට කැමති පිරිසට ගැලවී යන්නට දිය යුතු ය. ඒ වෙනුවෙන් අදාළ වන විනය ක්‍රියාමාර්ග රැගෙන අවශ්‍ය උත්ප්‍රේරකය සැපයිය යුතු ය.

එහෙම නො කළොත් සිදු වන්නේ කුමක් ද? මීළඟ පළාත් පාලන මැතිවරණය මෙහෙයවීමේ ද නායකත්වය මහින්දට දෙන්නට සිදු වනු ඇත. ඊළඟට උදේනිලා වැනි පල් හොරුන් රැළක් පළාත් පාලන මැතිවරණ තරග කරනු ඇත. දැන් සිටින පල් හොරුන් ටිකට ඔවුන්ගෙන් අමතර ශක්තියක් ලැබෙනු ඇත.

මේ වෙලාවේ දැඩි විනය ක්‍රියාමාර්ග ගත්තොත් වන්නේ කුමක් ද? මන්ත්‍රීවරුන් අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ තනතුරු රැක ගන්නවා ඇත. එහෙත් ඔවුන්ට  අලුත් පක්ෂ හැදීම අමාරු වනු ඇත. අලුත් පක්ෂයක් හැදුවත් එහි කටයුතු කරන්නට සිදු වන්නේ මන්ත්‍රීකම අනතුරේ හෙළමිනි. තව අවුරුදු හතරක කාලයක් ඇති බැවින් විධිමත් අන්දමින් නීතිමය ක්‍රියාමාර්ග ගන්නට ශ්‍රීලනිපයට කාලය තිබේ. ඒ අතර ලැයිස්තුවල ඊළඟට සිටින අය හා අලුත් අය සමග ආසන සංවිධාන කටයුතු කරගෙන යා හැකි ය.

2020 වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අලුත් ලේ ඇති නවීන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස අනාගත අභියෝග භාර ගැනීමට සූදානම් තත්වයකට ගෙන ආ හැකි ය.

ශ්රීලනිපය නො කැඩී මේ අන්දමින් අභ්‍යන්තර අර්බුදවලින් අඩපණ වීමේ වාසිය ඇත්තේ අන් කවරකුටවත් නොව එක්සත් ජාතික පක්ෂයටයි.

ප.ලි: අපගේ පාඨකයකු විසින් මේ වගත් මතක් කර දෙන ලදී. මහින්ද සිටින තාක් කල් ශ්‍රීලනිපයට ජාතික පක්ෂයක් වන්නට බැරි ය. මන්ද, සුළුතර ජාතික හා ආගමික ප්‍රජාවන්ගේ සහයෝගය ශ්‍රීලනිපයට ලැබෙන්නේ නැත.

(අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *