ජිනීවා නුවර දී තුන්වන ලෝකයේ රටවල් ශ්‍රී ලංකා රජයට එරෙහි වෙයි ; චීනයට හෝ ඉන්දියාවට කළ හැකි දෙයක් නෑ

ජිනීවා නුවර දැන් රැස්ව සිටින එකසත ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ දී තුන්වන ලෝකයේ රටවල් අති බහුතරය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමුළුවට  ඉදිරිපත් වන යෝජනාවට පක්ෂව ඡන්දය දීමට තීන්දු කොට ඇති බව වාර්තා වෙයි.

එම යෝජනාව පැරදවීමට ශ්‍රී ලංකා රජයට සහය දීමට ඉදිරිපත්ව සිටින්නේ රටවල් ස්වල්ප සංඛ්‍යාවක් බව මේ වනවිට පවතින තත්ත්වය ලෙස තතු දත් ආරංචි මාර්ග කියයි.

මෙම තත්ත්වය සඳුදා ඡන්ද විමසීමට පෙර වෙනස්වීමට හැකි වන්නේ යම්කිසි අති විශේෂ තත්වයක් ඇති වුව හොත් පමණක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. මෙම තත්ත්වය වෙනස් කිරීමට චීනයට හෝ ඉන්දියාවට ද දැන් බැරි බව පෙනෙන්නට තිබේ.

කැනඩාව , ජර්මනිය සහ බ්‍රතන්‍යය වැනි රටවල් සමුළුව තුළ ක්‍රියාකාරීව සිටියද මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද බලය හිමිව ඇත්තේ බටහිර යුරෝපා රටවල් හතකට පමණකි.

අප්‍රිකානු රටවල් දහතුනක්, ආසියානු රටවල් දහතුනක් සහ ලතින් ඇමෙරිකානු රටවල් අටක් ලෙස රටවල් තිස් හතරක් ඡන්ද හිමිකම සතු රටවල් වෙයි. මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද හිමි රටවල් සංඛ්‍යාව 47 කි. එම රටවල් වසරින් වසර වෙනස් වෙයි. කෙසේ වෙතත්, එම රටවල් 47 න් 34 ක් ම ආසියා , අප්‍රිකා සහ ලතින් ඇමෙරිකා රටවල් වෙයි. ඒ අනුව එහි සංයුතිය තුන්වන ලෝකයේ රටවලට වාසිදායක ලෙස සකස් වී ඇති බව කියති.

මේ වනවිට ඇමෙරිකාව ද මානව හිමිකම් කවුන්සිලයේ නැත.

මෙම සමුළුවේ දී කිසිවකුට නිශේධ බලයක් ද ලබා දී නැත.

මේ වනවිට මෙම රටවල් අතරින් ශ්‍රී ලංකාවට සහය පළ  කොට ඇත්තේ අසල්වැසි මුස්ලිම් රටවල් කිහිපයක් සහ චීනය රුසියාව ඇතුළු තවත් රටවල් කිහිපයකි .

අප්‍රිකානු රටවල් 13 න් අති බහුතරය මේ වනවිට ශ්‍රී ලංකාව පිලිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ යෝජනාවට සහය ප්‍රකාශ කොට ඇති බව වාර්තා වෙයි.

ලතින් ඇමෙරිකානු රටවල් අටෙන් මේ වනවිට  ශ්‍රී ලංකාවට සහය පළ කොට ඇත්තේ කියුබාව සහ නිකරගුවාව පමණකි.

ආසියානු රටවල් අතරින් ජපානය, දකුණු කොරියාව සහ ඉන්දියාව ඡන්දය දීමෙන් වැලකි සිටිනු ඇති බව විශ්වාස කෙරෙයි.

පකිස්ථානය, බංග්ලාදේශය සහ තවත් මුස්ලිම් රටවල් කිහිපයක් යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට එකඟ වී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රජයට හිතවත් බව පෙන්වූ ඇතැම් මුස්ලිම් රටවල් ශ්‍රී ලංකාවේ පසුගිය දිනවල මුස්ලිම් ජනයාට එරෙහිව වූ ක්‍රියාකාරකම් නිසා දෙගිඩියාවෙන් සිටින බව ද කියති.

රට තුළ මුස්ලිම් විරෝධයක් පවතිද්දී ජිනීවා නුවර දී ශ්‍රී ලංකා රජයට යම් කණ්ඩායමක් ලෙස සහය දුන්නේ මුස්ලිම් රටවල් වීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් , සඳුදා මානව හිමිකම් කවුන්සිලයේ ඡන්ද විමසීමෙන් ශ්‍රී ලංකා රජය පරාජයට පත්වුවහොත් එසේ වන්නේ තුන්වන ලෝකයේ රටවල් බහුතරයකගේ ඡන්දයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *