සජබ සභාපති සරත් ෆොන්සේකා ඇතුලත ගිනි පිටතට දෙයි

සමගි ජන බලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පක්ෂ සංවත්සර රැලියේ දී  සහ පසුව ජන මාධ්‍ය හමුවේ එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීමට හේතුව පක්ෂ දෙක එක්සත් කරන්නට සහ පෙරමුණක් හදන්නට අවශ්‍ය බවට එම පක්ෂයේ අභ්‍යන්තරයේ පවතින මතයට පහර ගැහීම බව සජබ තතු දත් ආරංචි මාර්ග කියයි.

රනිල් ගැන සඳහන් කරමින් පක්ෂ සංවත්සර රැලියේ දී සරත් ෆොන්සේකා මහතා කීවේ ” පක්ෂයේ ආණ්ඩුවක් තියෙන කොට පාක්ෂිකයන්ට රක්ෂා දෙන්න ඕනේ කියලා ඔය මනුස්සය දන්නේ නැහැ . එයා පක්ෂයත් කාලා රටත් කෑවා . එයාට ආයේ ඉඩ දෙන්න හොඳ නැහැ ” යනුවෙනි.

පසුව මාධ්‍යවේදීන් හමුවක දී  ඔහු කීවේ රනිල් ඉන්නකම් එජාප සමග සමගියක් නැති බවයි. රනිල් පමණක් නොව තවත් අය එජාපයෙන් යා යුතු බවයි. එසේ නැතිව සමගියක් නැති බව ෆොන්සේකා මහතා කීය .

කෙසේ වෙතත් , එජාපය සමග සමගියක් ඇතිකර ගැනීමට පසුගිය දා මුලින් ම රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුනේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක  ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ය. ඉන් පසුව රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර මහත්වරුන් ද රනිල් හමු වී සාකච්ඡා කළ ද රනිල්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ සමගියක් ගැන තීරණය පක්ෂයේ අනෙක් නායකයින් විසින් ගත යුතු බවයි.

සරත් ෆොන්සේකා මහතා තම ප්‍රහාරය එල්ල කළේ පක්ෂ දෙක සමගි විය යුතු යයි කියන සහ ඒ වෙනුවෙන් ක්‍රියාකරන මෙම කණ්ඩායමට බව සජබ ආරංචි මාර්ග කියයි.

කැඩී ගිය එජාප දෙපාර්ශවය සමගි විය යුතු බවට පාක්ෂිකයින් අතර ප්‍රබල මතයක් ඇතත් පක්ෂ දෙකේ ම  අලුතින් පත්ව සිටින ඇතැම්  නිලධාරීන් එයට විරෝධය දක්වන බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *