මහින්දට යළි බලය දෙන්නට නම් – අජිත් පැරකුම් ජයසිංහ

මහින්ද රාජපක්ෂ පසුගියදා හයිඩ් පිටියේදී පැවති රැස්වීමේදී තමන්ට නැවත බලය දෙන්නැයි ඉල්ලා සිටියේ ය. වත්මන් ආණ්ඩුව අසාර්ථක බව ඔහු පවසයි.

මහින්ද රාජපක්ෂ ආණ්ඩු කරන කාලය තුළ අධික ලෙස විවෘත වෙළඳපොළෙන් ගත් ණය හා පොළී ගෙවන්නට රජයේ සමස්ත ආදායමත් මදි වී ඇති සංදර්භයක් තුළ ආණ්ඩුවකට අතිශය සාර්ථක වන්නට බැරි ය.

ඔහු කළ බව කියා උදම් අනන හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ වැනි අසාර්ථක ව්‍යාපෘතිවලින් ණය ගෙවීමට තබා පොළී ගෙවීමටවත් ආදායම් උපදින්නේ නැත.

වත්මන් ආණ්ඩුව ගත් ණය ගැන කියන විට ඔහු මතක තබා ගත යුතු කාරණයක් වන්නේ ඒ ණය ගත්තේ ප්‍රධාන වශයෙන් ම ඔහුගේ කාලයේ ගත් ණය ගෙවන්නට බව ඔහු මතක තබා ගත යුතු ය.

අනාගත පරම්පරා ගණනාවක් උගස් තබා ගත් මේ ණයවලින් වැඩි ප්‍රමාණයක් මහින්ද හා ඔහුගේ අන්තේවාසිකයන් පිල්ලි ගැසූ බව නො රහසකි. වත්මන් ආණ්ඩුව මහින්දලාට එරෙහිව ප්‍රමාණවත් පියවර නො ගත්තා ය කියා මේ ඇත්ත බොරු වන්නේ නැත.

එහෙත්, මහින්ද විසින් මවන ලද සංවර්ධන මායාව ගිල ගත් විශාල ජනගහණයක් මේ රටේ සිටිති.

මහින්ද දෙමළ ජාතිවාදී කැරැල්ල පරදවා සිංහල ජාතිවාදීන්ට සිවිල් යුද්ධයේ ජයග්‍රහණය අත්පත් කර දෙන්නට ගත් පියවර හේතුවෙන් ද ඔහු සිංහල ජනතාව අතර ජනප්‍රිය ය. ඔහුගේ ජන ඝාතක යුද්ධය ඔහුටත් ඔහුගේ ආධාරකරුවන්ටත් මහා දෙයකි. හැමදාමත් යුද විරෝධීන් වූ අපි එය පිළි නො ගනිමු.

එහෙත්, යුද්ධය සම්බන්ධ සුසමාදර්ශීය වෙනස නිර්මානය කළ පාලකයා මහින්ද බව අප අවිවාදයෙන් පිළි ගත යුතු ය. එම සුසමාදර්ශීය වෙනස දේශපාලනික ඉතිහාසය තුළ අතිශය වැදගත් ය. කිසිවෙකුට එය නො තකා හැරිය නො හැකි ය.

මහින්ද රාජපක්ෂ යනු කාටත් නො තකා හළ නො හැකි නායකයකු වන්නේ එම සංදර්භය තුළයි. එහෙත්, යුද්ධය නිමාවෙන් පසු ඔහුගේ වසර පහමාරක පාලනය තුළ ඔහු අසාර්ථක නායකයෙකි.

ජාතීන් අතර සංහිඳියාව නිර්මානය කිරීම, සාමය ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර සහජීවනය, ආර්ථිකය ගොඩනැගීම, ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම වැනි කිසිදු වගකීමකදී ඔහු සාර්ථක වූයේ නැත. රාජ්‍ය බලය හා සම්පත් මුළුමනින් ම තමන්ගේ වාසියට යොදාගෙන පවත්වන ලද ජනාධිපතිවරණයකින් පවා ඔහු පරදින්නේ ඒ නිසා ය.

ඔහුගෙන් පසු වසරක පමණ කාලය තුළ අපි නිදහස භුක්ති වින්දෙමු.

තමන් කළ අපරාධ සම්බන්ධයෙන් මේ වන විට දණ්ඩනයට ලක්ව සිටිය යුතු මහින්ද රාජපක්ෂ යළි ජනතාව ඉදිරියට පැමිණ පපුවට ගසා ගනිමින් යළි බලය තමාට දෙන්නැයි කියන්නේ ඒ නිදහස වල් බූරු නිදහසක් තරම් දුර දිග ගොස් ඇති නිසා ය.

හරි. ඔහු ඉල්ලන නිසා අප යළි ඔහුට බලය දිය යුතු යයි සිතමු. ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ඔහුට රාජ්‍ය බලය ලබා ගත නො හැකි ය. ඔහු විසින් කළ යුතුව තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රීන් වැඩි පිරිසකගේ සහයෝගය ඔහුට ලබා ගැනීමයි.

ඒ සඳහා ඔහු වහා පාර්ලිමේන්තු දේශපාලනයට පැමිණිය යුතු ය. පන්සල්වලදී, උසාවි ළඟදී, රැස්වීම්වලදී ඔහු කියන කතා කියන්නට නියම තැන පාර්ලිමේන්තුව ය. තමන්ගේ කාලයේ කළ කී දේ ගැන ප්‍රශ්නවලට නිල අන්දමින් පිළිතුරු දෙන්නට ඔහුට පුළුවන. එසේම, වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්නට තමන්ට ඇති සැලසුම් ද ඔහුට සවිස්තරව හෙළිදරව් කළ හැකි ය.

එහෙම නැතිව පපුවට ගසා ගත්තා ය කියා ඔහුට නැවත මේ රටේ පාලන බලය ලැබෙන්නේ නැත. රැස්වීමකට සෙනග ආවා ය කියා ආණ්ඩු පෙරළෙන විප්ලව සිදු වන්නේ නැත.

දේශපාලන අවබෝධයක් ඇති කිසිවෙක් ඒවායින් සැලෙන්නේ නැත.

(අජිත් පැරකුම් ජයසිංහ ගේ W3Lanka බ්ලොග් අඩවියෙනි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *