රාජපක්ෂ පෙන්නා ගොඩ යන්නට ආණ්ඩුවට හැකි වේ ද? – අජිත් පැරකුම් ජයසිංහ

දූෂිත හා දේශපාලනික වශයෙන් උම්මත්තක ප්‍රතිගාමී බලවේගය නැවත හිස ඔසවන්නට අසීරු උත්සාහයක් දරමින් සිටින බව පෙනේ.

තමන්ගේ අතීත සොරකම් හා දූෂණ හේතුවෙන් නීතියේ හා යුක්තියේ අභියෝගයට මුහුණ දී සිටින සොරුන් විසින් මහජනතාවගෙන් සොරකම් කරන ලද මුදල් වීසි කරමින් බත් පැකට්, අරක්කු බෙදමින් කරන මෙවැනි සංදර්ශනවලට බිය විය යුතු නැත.

මෙම බලවේගයට එරෙහිව ශ්‍රීලනිපය අධිෂ්ඨානයෙන් යුතුව ක්‍රියා කළ යුතු ය. එයට ගැලවී යන්නට ඉඩ දිය යුතු ය. 2015 අගෝස්තුවේ මෙන් ශ්‍රීලනිපය හයිජැක් කිරීමට ඉඩ නො දිය යුතු ය.

එසේ ම, ශ්‍රීලනිපය ද 2015 අගෝස්තුවේ කළා සේ නැවත වතාවක් මෙම බලවේගය හයිජැක් කරන්නට උත්සාහ නො කළ යුතු ය. ඔවුන්ට ඔවුන්ගේ ගමන වෙන ම යන්නට ඉඩ දිය යුතු ය.

මෙය ඉතා පැහැදිලිව දූෂිත බලවේගය වෙන ම ගොනු වන චෞර විපක්ෂයකි. එය ඉතා හොඳ තත්වයකි.

විශේෂයෙන් ම ශ්‍රීලනිපයට මෙය අනගි අවස්ථාවකි. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී බුද්ධිමත්, ප්‍රගතිශීලී, නව දේශපාලන නායකත්වයක් ඉදිරියට ගැනීමට කටයුතු කළ යුතු ය.

ජනතාව අතර සැලකිය යුතු පිරිසක් දේශපාලකයන් තරමට ම දූෂිත බව අපි මුල සිට ම කියා ඇත. එබැවින් මහින්දලා පසුපස මෙවැනි පිරිස් වහ වැටීම ගැන පුදුම විය යුතු නැත. ඔවුන්ගේ සිහිනය දකින්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. සිහිනය යළි සැබෑවක් නො වන්නට පමණක් වග බලා ගත යුතු ය. මේ පරම්පරාව ඔවුන් සමග යාම වළක්වන්නට ද ලොකු උත්සාහයක් ගත යුතු නැත. බැලිය යුත්තේ අනාගත පරම්පරාවන් දෙස ය. ඔවුන් අතර තරුණයන් නැති බව සුබවාදී ඇසින් බැලිය යුතු ය. එය රැක ගත යුතු තත්වයකි.

රට ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතිය හා යුක්තිය ගැන හැඟීමක් ඇති බලවේගයට ඇත්ත අභියෝගය තිබෙන්නේ මහින්දවාදීන් සමග ය. ඔවුන් වෙන ම පෙරමුණක ගොනු වීම ඇත්තෙන් ම ඉතා යහපත් තත්වයකි. මේ රැළි මාලාව රට පුරා ම කරගෙන යන්නට ඔවුන්ට ඉඩ දිය යුතු ය. එය එක පැත්තකින් විදේශයන්හි සඟවා තිබෙන කළු සල්ලි සුදු කර ගන්න ද හොඳ ක්‍රමයකි. බත් පැකට්, අරක්කු ලෙස හෝ ඒවා මේ රටට ආපසු එන එක විදේශයන්හි තිබෙනවාට වඩා හොඳ ය.

ආණ්ඩුවට මේ ටිකත් කිව යුතු ය. තව දුරටත් රාජපක්ෂ බිල්ලා පෙන්නා වැඩේ කර ගන්නට නම් නො ආ යුතු ය. රාජපක්ෂ බලයට ආවොත් කාට කාටත් වන දේ තම තමන් තේරුම් ගෙන වැඩ කර ගත්තාට අපට කමක් නැත. එහෙත් රාජපක්ෂ නිසා තව දුරටත් ආණ්ඩුවට සහයෝගය දෙන්නට තරම් අපට අමාරුවක් නැත.

මේ චෞර නඩයට මෙසේ වීදි සරන්නට ඉඩ දුන්නේ අප නො වේ. මහින්දලා, වෙල්ගමලා, විමල්ලා මෙන් ම වේදිකාව පිටුපස හැංගී සිටින රෝහිතලා, මහින්දානන්දලා ආදීන්ට එරෙහිව තවමත් නීතිය ක්‍රියාත්මක වී නැත්තේ ඇයි ද යන්න අපට තිබෙන ප්‍රශ්නයයි. මහින්ද කළා සේ තම විරුද්ධවාදීන් අල්ලා කූඩු කිරීම වෙනුවට නීතිය ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම ආණ්ඩුවේ වගකීමකි.

එසේම, රටේ පවතින ඇත්ත මහජනතාවට තේරෙන අන්දමින් කියන එක ද ආණ්ඩුවේ වැඩකි. මහජන සහයෝගය ලබා ගන්නට නම් ආණ්ඩුව හා මහජනයා අතර යහපත් සංවාදයක් තිබිය යුතු ය. ආණ්ඩුව විසින් ළං කරගෙන සිටින පිරිස් එය නිර්මානය නො කරන බව පැහැදිලි ය.

මේ සියල්ල මැද ආණ්ඩුව රට පාලනය කළ යුතු ය. ආර්ථිකය කළමනාකරණය කළ යුතු ය. මහජනතාවට රිද්දන්නේත් නැතිව අයවැය පරතරයත් අඩු කළ යුතු ය. රටට විදේශ ආයෝජන ද ගෙන ආ යුතු ය. ඇත්තෙන් ම රැකියා උත්පාදනය ද කළ යුතු ය. ලෝක ආර්ථිකයත් සමග යහපත් ගනුදෙනු ගොඩනගා ගත යුතු ය.

චෞර විපක්ෂය වෙන ම ඒකරාශී වෙමින් තිබේ. එය වඩා පැහැදිලි තත්වයකි. තමන්ගේ අතීත වැරදි වෙනුවෙන් මුක්තිය, සොරකම් කළ මහජන දේපලවලට ආරක්ෂාව, ජාතිවාදය, ආගම්වාදය වැනි සටන් පාඨ ඔවුන්ට ම දිය යුතු ය.
රට ගැන හැඟීමක් ඇති, බලයට කෑදර නැති, ආණ්ඩුව පිටින් සිට නියාමනය කරන, අනාගතවාදී, හෙට වෙනුවෙන් පොදු අවම වැඩසටහනක් මත පදනම් වූ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩනැගීම සඳහා ප්‍රගතිශීලී බලවේග පෙරට ආ යුුතු ය.

(අජිත් පැරකුම් ජයසිංහගේ W3Lanka බ්ලොග් අඩවියෙනි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *