|

අවලංගු කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙන පාරවල් තුනකින් එයි !

ජපානයෙන් වසර හතළිහකින් ගෙවීමට ලබාදෙන  සහන ණය  යටතේ ඉදි කිරීමට සැලසුම් කොට තිබී මෙම රජය විසින් හදිසියේ  අවලංගු කළ මාලඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වෙනුවට වෙනත් මාවත් තුනක් ඔස්සේ සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමට මුදල් අමාත්‍යාංශයශය සහ නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට තිබේ .

මෙලෙස ඉදිකරන සැහැල්ලු දුම්රිය මාර්ග තුන වන්නේ රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපොන  මාර්ගය, කැලණිය නාරාහේන්පිට මොරටුව පිළියන්දල මාර්ගය සහ කොට්ටාව පන්නිපිටිය තලවතුගොඩ හරහා හුණුපිටිය මාර්ගය යි.

මෙම මාර්ග තුන රාජ්‍ය -පෞද්ගලික සහයෝගිතා  පදනම යටතේ ඍජු විදේශ ආයෝජන ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඉදිරිපත් කළ ව්‍යාපෘති යෝජනාවට මුදල් අමාත්‍යංශයේ අනුමැතිය හිමි වී තිබේ. මෙහි ඉදිරි කටයුතු පිලිබඳ සාකච්ඡාවක් සිකුරාදා මුදල් අමාත්‍යංශයේ දී පවත්වන ලද්දේ අගමැති සහ මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි .

මෙම ව්‍යාපෘතියට මහරගම නගරය ද ඇතුළත් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි දී උපදෙස් දී ඇති අතර කොට්ටාව හුණුපිටිය මාර්ගයට මහරගම ඇතුළත් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු දැනුම් දී තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග කියන්නේ මෙම මාර්ග තුන මීට පෙර  අවලංගු කළ මාලඹේ කොටුව මාර්ගයෙන් පසුව සංවර්ධනයට සැලසුම් කොට තිබු බව යි.

කොළඹ මාර්ග තදබදයට හොඳ ම විසඳුම මෙබඳු සැහැල්ලු දුම්රිය සංවර්ධනය බව කියති . ඉන්දියාවේ දිල්ලි , මුම්බායි සහ ට්‍රිචි නගරවල මාර්ග තදබදය අවම කර ගැනීමට මෙබඳු ව්‍යාපෘති මගී හැකි වී තිබේ.

අවලංගු කළ මාලඹේ කොටුව මාර්ගයට ජපානයේ සහන ණය අනුමත වී තිබුණේ වසර 12 ක සහන කාලයකින් පසුව වසර තිහකින් ගෙවීම සඳහා ය. දැන් සංවර්ධනය කිරීමට යන මාර්ග සඳහා අලුතින් ආයෝජකයින් සොයාගත යුතුව ඇත.

සැලසුම් කොට තිබු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම ගැන පැහැදිලි පිළිතුරක් රජය නොදුන් නමුත් මාර්ග සංවර්ධන ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීවේ යහපාලන රජයේ හිටපු ඇමතිවරුන්ට කොමිස් මුදල් හිමිවන නිසා ව්‍යාපෘතිය නවතා දැමු බව යි.

මෙම නවව්‍යපෘති ක්‍රියාත්මක කිරීමෙන් දිනකට රුපියල් මිලියන 550 ක් රටට ඉතිරි වන බව කියති.

ඒ සඳහා ඩොලර් බිලියන 5 ක විදේශ ආයෝජන සොයාගත යුතුව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *