රටටම විදුලිය නැතිවුයේ කාගේ වරදින්ද ? – සී ජේ අමරතුංග

හදිසියේම විදුලිය බිඳවැටීම රටටම දැනුණේ විශාල ව්‍යසනයක් වශයෙනි. පැය ගණනකට ජන ජීවිතයේ සියලූ කටයුතු නැවතිණි. කොළඹට ජලය සැපයීමද සීමා කෙරිණි. මහමඟ වාහන තදබදය බරපතළ ප‍්‍රශ්නයක් වීය. ගමන් බිමන් යන අයට සිදුවූයේ විශාල ලෙස රස්තියාදු වන්නටය. ගෙදර දොරේ සියලූ කටයුතුද නැවතිණි. සැලසුම් කළ වැඩ කටයුතු කඩාකප්පල්වීය. එයින් මහජනයාට ඇතිවූ පීඩාව බරපතළය.

විදුලිය කැපීම එතැනින්ද නොනවතී. තවත් දින ගණනාවක් රටපුරා වරින්වර විදුලිය කැපීම් සිදුවිය හැකිය. එක දිගට පැය ගණන් විදුලිය නොමැතිව ගත කරන්නට සිදුවිය හැකිය. බරපතළම ප‍්‍රශ්නය නම් කිසිදු දැනුම්දීමකින් තොරව පසුගිය දින කීපයේ විදුලිය කැපීමය. තත්ත්වය දිගටම පැවතුණොත් සියලූ සැලසුම් අවුල්වීමත් කඩාකප්පල්වීමත් නොවැළැක්විය හැකිවීය.
මෙලෙස රටපුරා විදුලිය බිඳවැටීම සිදුවූයේ සති කිහිපයක් තුළ දෙවැනි වතාවටය. මාස හයක් තුළ තෙවැනි වරටත් එහි වගකීම භාරගෙන තනතුරෙන් ඉල්ලා අස්වන බව ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයා ප‍්‍රකාශ කළේය. අගමැතිවරයා කීවේ එම ඉල්ලා අස්වීම නොපිළිගන්නා බවයි. ඒ සමඟම ප‍්‍රශ්න මතුවූයේ ප‍්‍රශ්නයට සැබැවින්ම වගකිවයුත්තේ කවුද යනුවෙනි. මෙය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් බවටද සැක මතුවීය. ඒ පිළිබඳව පරික්ෂණ ද ආරම්භ වීය.

කඩාකප්පල් වැඩක් නොවෙයි ලු ?

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප‍්‍රකාශ කළේ මෙය තාක්ෂණික ප‍්‍රශ්නයක් මිස කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නොවන බවයි. රට පුරා විදුලිය බිඳවැටීම පිළිබඳව තමන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවද ඉංජිනේරු සංගමය ප‍්‍රකාශ කළේය. එසේ වුවද නැවත නැවත සිදුවන විදුලි බිඳවැටීම් හුදු තාක්ෂණික ප‍්‍රශ්න ලෙස පිළිගන්නට මහජනයා සූදානම්වේද යන්න ප‍්‍රශ්නයකි.
මිනිසා විසින් නිෂ්පාදනය කරන  ඕනෑම නිර්මාණයක හෝ තාක්ෂණික උපකරණයක දෝෂ ඇතිවිය හැකි බව පිළිගත් සත්‍යයකි. විද්‍යාඥයන්, ඉංජිනේරුවන් දහස් ගණනක් එක්වී ඉතාම සැලකිල්ලෙන් නිෂ්පාදනය කරන අජටාකාශ යානාවලද කාර්මික දෝෂ ඇතිවී තිබේ. ඇපලෝ 13 යානයට හඳට ගොඩබසින්නට නොහැකි වූයේ ඒ නිසාය. ඇතැම් අවස්ථාවලදී අජටාකාශගාමීන්ගේ ජීවිත බේරාගැනීමට පවා හැකිවූයේ නැත. ඒවා කඩාකප්පල්කාරී ක‍්‍රියා හෝ නොසැලකිල්ල කියා කිසිවකු කියන්නේ නැත. සැබැවින්ම එබඳු කාර්මික දෝෂ ඇතිවීමේ ඉඩකඩ ඇති බව පොදු පිළිගැනීමකි. ප‍්‍රශ්නය තිබෙන්නේ දෝෂ අවම කරගැනීමට අවශ්‍ය තාක්ෂණික හා වෙනත් පියවර ගෙන ඇතිද යන්නයි.

ලංකා විදුලිබල මණ්ඩලය පිළිබඳව ද බොහෝ ප‍්‍රශ්න ඇති බව අපි දනිමු. ස්වභාවයෙන්ම එය ඒකාධිකාරී ආයතනයකි. ඒ නිසා එයට කේවල්කිරීමේ විශාල බලයක් හිමිව ඇත. එමෙන්ම තරගයක් නැති නිසා පාරිභෝගිකයා කෙරෙහි මොවුන්ගේ ආකල්පය ද ගැටලූ සහගතය. පවතින්නේ නිලධාරිවාදී ආකල්පයකි. සියල්ල සිදුවිය යුත්තේ නිලධාරීන් නියම කරන ආකාරයටය. විවිධ සේවා සඳහා ගාස්තු නියම කරන්නේ ද එලෙසය. එබඳු ප‍්‍රශ්න ගැන පාරිභෝගික අත්දැකීම්  ඕනෑතරම් ඇත.

අනෙක් අතට ප‍්‍රශ්නය වන්නේ රාජ්‍ය ප‍්‍රතිපත්ති ක‍්‍රියාවට නැඟීමට. මෙම ආයතනය දක්වන නොකැමැත්තයි. වරෙක රජය තීරණය කළේ නව බලාගාර ඉදිකිරීම පෞද්ගලික අංශයෙන් කළ යුතු බවයි. එසේ වුවද එබඳු බලාගාර ඉදිවූයේ ඉතාම අල්ප වශයෙනි. ඇතැම් බලාගාර විදුලිබල මණ්ඩලයටම සම්බන්ධ ආයතනවලිනි. පිටතින් කළේ හදිසි විදුලිය මිලදී ගැනීම්ය. ඒවාට ගෙවන ලද මිල ගණන් පිළිබඳව බරපතළ ප‍්‍රශ්න තිබිණි. ඒ සියල්ල එසේ වූයේ බලාගාර ඉදිකිරීම මණ්ඩලය මගින්ම කළ යුතු බව රටට පෙන්වන්නට ද යන්න ප‍්‍රශ්නයකි. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව ඇති ඒකාධිකාරී තත්ත්වය නිසා සංසන්දනය කළ හැකි පිළිගත් තොරතුරු නැත. තිබෙන්නේ මණ්ඩලය හා එහි නිලධාරීන්ම කියන තොරතුරු පමණි. ඒවායේ සැඟවුණු ප‍්‍රශ්න ඇති බවට චෝදනා නැඟී ඇත.

ඒකාධිකාරයේ බලය

මහජන උපයෝගිතා කොමිෂන් සභාව පිහිටුවන ලද්දේ මණ්ඩලයේ හා එබඳු වෙනත් රාජ්‍ය ආයතනවල පවතින ඒකාධිකාරී තත්ත්වය පාලනය කරන්නටය. එය දැන් විදුලි බලයට පමණක් සීමාවී ඇති බවත් පෙනෙන්නට තිබේ. ඒ සමඟම දැන් සිදුව තිබෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අතර ගෝරියක් පටන්ගෙන තිබීමයි.
ඉදිරි අවුරුදු විස්සේදී මෙරට ගල් අඟුරු බලාගාර එකොළහක් ඉදිකිරීමේ සැලැස්මක් පසුගිය වසරේදී ලංවිමය. මහජන උපයෝගිතා කොමිසන් සභාවට ඉදිරිපත් කළේය. එය ප‍්‍රතික්ෂේප වූයේ පුනර්ජනනීය බලශක්තිය ලබාගැනීමට අඩු අවධානයක් යොමු කළ නිසා බව කියති. දැන් මණ්ඩලයේ ඇතැම් ඉංජිනේරුවන් කියන්නේ එම කාර්යය ද මණ්ඩලයටම කළ හැකි බවයි. දැන් එයද ගෝරියක් බවට පත්ව ඇත. මේ සියල්ලෙන් පෙනෙන්නේ මණ්ඩලය තම ඒකාධිකාරී තත්ත්වය අත්හරින්නට සූදානම් නැති බවයි. එමෙන්ම ඒකාධිකාරී බලය යොදාගෙන විවිධ ආකාරයේ කේවල් කිරීම්වල යෙදෙන බවයි.

මෙබඳු තත්ත්වයක් පවතිද්දී විදුලිය බිඳවැටෙන විට එය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක මතුවීම සාධාරණය. විශේෂයෙන්ම එය සාධාරණ වන්නේ කෙටි කාලයක් තුළ කිහිප වතාවක් මෙය සිදුවන විටයි.

පසුගිය වතාවේ විදුලිය බිඳවැටීම ගැන කතා කළ විදුලි ක්ෂේත‍්‍රයේ විශේෂඥයකු වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ප‍්‍රකාශ කළේ විදුලි බල පද්ධතියේ එක තැනක ඇතිවන දෝෂයක් නිසා මුළු පද්ධතියම බිඳවැටීම අසාමාන්‍ය තත්ත්වයක් බවයි. දෝෂ සහිත කොටස ස්වයංක‍්‍රීයව පද්ධතියෙන් ඉවත්කොට අනෙක් කොටස්ද අවශ්‍ය ආකාරයෙන් කළමනාකරණය කරමින් පද්ධතියේ සමස්ත බිඳවැටීම වළකා ගත හැකිය යන්න ඒ මහතාගේ අදහසයි. ඔහු කීවේ මෙසේ වීමට හේතුව එක්කෝ නොසැලකිල්ල නැතහොත් මිනිස් ක‍්‍රියාකාරකම් බවයි. කෙසේ වෙතත් මෙම විදුලිය බිඳවැටීම් කඩාකප්පල්කාරී ක‍්‍රියා ලෙස තවම ඔප්පුවී නැත. එසේ වුවද මුළු විදුලිබල පද්ධතියම බිඳවැටී සියලූ බලාගාර ක‍්‍රියා විරහිත තත්ත්වයට පත්වීම නම් පිළිගත නොහැකි තත්ත්වයකි. විදුලිබල පද්ධතියේ බරපතළ අසමතුළිත බවක් හා නොසැලකිල්ල යන කරුණු මෙහිදී ප‍්‍රතික්ෂේප කළ නොහැකි ලෙස මතුවෙයි.

නොරච්චෝලේ නවතින්නේ ඇයි ?

මෙරට විදුලි බල පද්ධතියේ ස්ථායිතාවට බලපාන ප‍්‍රධාන සාධකය බවට දැන් පත්ව තිබෙන්නේ නොරච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයයි. එය දැන් තවත් එක් විදුලි බලාගාරයක් පමණක් නොවේ. අප සතු ප‍්‍රධාන බලාගාරයයි. එහි ධාරිතාව මෙගාවොට් 900 කි. එය ක‍්‍රියාත්මක වන්නේ මෙගාවොට් 300 බලාගාර තුනක් වශයෙනි.  ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලූමෙන් අඩකට වඩා නැතහොත් ඒ ආසන්න ප‍්‍රමාණයක් ලබාදීමේ හැකියාව මෙම බලාගාරය සතුය. විදුලිබල පද්ධතියේ කුමන හෝ ස්ථානයක බිඳවැටීමක් සිදුවූ විට පද්ධතියේ ඇතිවන කම්පනය දරාගැනීමේ හැකියාව මෙබඳු බලාගාරයකට තිබිය යුතුය. එසේ වුවද පසුගිය අවස්ථා දෙකේදීම පෙනී ගියේ පද්ධතිය පවත්වාගෙන යාමේ එම ශක්තිය මෙම බලාගාරය සතුව නැති බවයි.

කලකට පෙර මෙරට විදුලි නිෂ්පාදනය ප‍්‍රධාන වශයෙන් ජල විදුලියෙන් සිදුවෙද්දී පද්ධතියේ කම්පන දරාගැනීමේ ගුණය තුබුණේ වික්ටෝරියාහි තුබු මෙගාවොට් 120 ක බලාගාරය හා එවැනි වෙනත් බලාගාර කිහිපයකටය. එමගින් කරන්නේ කිසියම් තැනක බිඳවැටීමක් වනවිට සිදුවන කම්පනය දරාගෙන විදුලි බල සැපයුම පවත්වාගෙන යාමයි. දැන් එය නොරොච්චෝලේ බලාගාරයෙන් සිදුවිය යුතු වුවද සිදුවන්නේ එම බලාගාරය ක‍්‍රියා විරහිතවීමයි. එය යළි පණ ගැන්වීමටද දින ගණනක් ගතවෙයි. මෙය බරපතළ තාක්ෂණික ප‍්‍රශ්නයක් බව පැහැදිලිව පෙනී යන කරුණකි.

නොරච්චෝලේ බලාගාරය ගැන අසන්නට ලැබුණු එකම තාක්ෂණික ප‍්‍රශ්නයද මෙය නොවේ. පසුගිය කාලය පුරාම එය නිතර නිතර ක‍්‍රියාවිරහිතවීය. බලාගාර තුනෙන් එකක් හෝ දෙකක් ක‍්‍රියාවිරහිතව තිබීම නිතර නිතර අසන්නට ලැබුණු තත්ත්වයකි. මේවා නිවැරැුදිකර දෙන්නට චීන සමාගම් එකඟ වුවද ප‍්‍රශ්න මුළුමනින්ම විසඳුණේ නැත. බලාගාර ලෙඩදීම දිගටම සිදුවීය. දැන හෙළිදරව්වී තිබෙන්නේ එහි තවත් දුර්වලතාවකි.

චීනා  දුන්නේ ලදරමක් ද ?

ගමේ කතාවෙන් කියන්නේ නම් නොරච්චෝලේ යනු ලදරමකි. රටේ විදුලි නිෂ්පාදනයෙන් වැඩිම ප‍්‍රමාණයක් එමගින් ලබාදෙන බව ඇත්ත. නමුත් අපට එය ලැබී ඇත්තේ ලෙඩ ගොඩක් සමඟය. දැන් අප කල්පනා කළ යුතු වන්නේ මෙහෙම එහෙකට කරගහන්නට අපට සිදුවූයේ ඇයි කියාය.

නොරච්චෝලේ බලාගාරය අපට ලැබුණේද චීනයෙනි. එය ඉදිකළේ චීනුන්ගේ ප‍්‍රමිතිය අනුවය. ඉදිකිරීම ඔවුන්ගේය මුදල් දුන්නේද චීනයයි. එහි ගුණාත්මක භාවය පිළිබඳව කිසිම සොයාබැලීමක් කරන්නට අප රටට අවස්ථාවක් ලැබුණේ නැත. චීනුන් වැඩ කරන හැටි එහෙමය. චීන තාක්ෂණයේ ගුණාත්මක භාවය ගැනත් බොහෝ දෙනා දනිති. දැන් ලෙඩ දෙන්නේ එලෙස ගත් බලාගාරයයි.

කෙසේ වෙතත් මෙබඳු ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමේ මුල් අවස්ථාව අපට ලැබුණේ චීනුන්ගෙන් නොවේ. ජපානය එයට ඉදිරිපත්වී සිටියේය. ඩොලර් මිලියන 300 ක සහන ණයක් දෙන්නට එකඟවී සිටියේය. එය එලෙස සිදුවූවා නම් අපට ලැබෙන්නේ ජපන් බලාගාරයකි. එම අවස්ථාව අපට අහිමිවීමේ ඛේදවාචකයට හේතුවද විමසා බැලිය යුතුය.

ගල් අඟුරු බලාගාරයක් ඉදිකිරීමට මුලින්ම තෝරාගත්තේ ත‍්‍රිකුණාමලයයි. දැන් සාම්පූර් බලාගාරය ඉදිකිරීමට යන ප‍්‍රදේශයයි. එය නතර වූයේ පරිසරවේදීන් යැයි කියාගත් පිරිසකගේ හඬ නැඟීම නිසාය. එදා කීවේ මෙබඳු බලාගාරයක් ඉදිකළහොත් මහා පරිසර ¥ෂණයක් සිදුවන බවයි. විශාල ප‍්‍රදේශයක දුම් හා අළු පැතිරී යන බවයි. මධ්‍යම කඳුකරයට ඇසිඞ් වැසි වැටීමෙන් තේ වගාවද විනාශ විය හැකි බවයි.

ඊනියා පරිසරවේදීන්ගේ පච

මෙම විරෝධය නිසා ත‍්‍රිකුණාමලයේ බලාගාරය ඉදිනොකොට මාතර මාවැල්ල තෝරාගනු ලැබීය. එම ප‍්‍රදේශයේ ජනයා කීවේ ත‍්‍රිකුණාමලයට එපා නම් මාවැල්ලටත් එපා කියාය. නොරච්චෝලේ තෝරාගත්තේ ඉන් පසුවය. එයටද විරෝධතා මතුවීය. මුහුදු කෑම පිළිබඳ භීතිය එකකි. එමෙන්ම ශ්‍රී මහාබෝධිය ද මේ නිසා විනාශ වන බවට පරිසරවේදීන් කියාගත් ඇතැම් පිරිස් හඬ නැගූහ. ඒ නිසා මෙය ඉදිකිරීම දිගින් දිගට ප‍්‍රමාද වීය.

මෙලෙස වසර අටක් තිස්සේ කාලය ගෙවී ගිය පසුව ජපන් රජය තවදුරටත් බලාසිටියේ නැත. ඔවුන් කීවේ අප රටෙන් තීරණයක් නැති නිසා ආධාර ලබාදීම ඉවත් කරගන්නා බවයි.
ජපන් තාක්ෂණයෙන් ලැබෙන්නට තුබූ ගල් අඟුරු බලාගාරය අපට අහිමි වූයේ එහෙමය. එකල අප රටේ පරිසරවේදීන් කියාගත් ඇතැම් උදවිය ක‍්‍රියා කළේ ලෝකයේ කොහේවත් ගල් අඟුරු බලාගාර නොමැති ආකාරයටය. විරෝධය දැක්වූයේ රටට මහා ආදරයක් පෙන්වමිනි. මහා විනාශයකින් අප ගලවන්නටය. අද සිදුවී තිබෙන විනාසයට ඔවුන් අපව තල්ලූ කළේ එහෙමය.
එදා ජපන් බලාගාරය ත‍්‍රිකුණාමලයේ හදනවාට මහා විරුද්ධත්වයක් ඇතිවීය. දැන් සාම්පූර්හි ඉන්දියානු බලාගාරයක් ඉදිවීමට නියමිතය. එමෙන්ම මෙගාවොට් 1200 ක තවත් බලාගාරයක් ත‍්‍රිකුණාමලයේ ඉදිකරන බවද කියති. ඒවාට විරෝධතා නැත. අපේ උදවියට සිහිය සැපත් වන්නේ හොඳටම පස්ස බිම ඇනුන විටය.

පරිසරවේදීන් කියාගත් මෙම පිරිසගේ ඊනියා විරෝධයෙන් හොද්ද බොරකර ගත්තේ දේශපාලනඥයෝය. ජපනුන්ගෙන් ආධාරගෙන තරඟකාරී ටෙන්ඩර් කැඳවමින් උපදේශක සමාගම් යටතේ තාක්ෂණික සැලසුම් කරමින් විධිමත් ලෙස බලාගාර ඉදිකිරීම කරදරකාරී වැඩකි. එමෙන්ම එයින් කාගේවත් සාක්කුවට ලොකු කුට්ටියක් වැටෙන්නේ ද නැත.

විනාශයක තරම

චීනුන්ගේ ව්‍යාපෘති එහෙම නැත. ඒවාට ඔවුන් මුදල් දෙනවා මෙන්ම කරන්නේ ඔවුනට  ඕනෑ ආකාරයටය. ගණන් හිලව් ගැන ප‍්‍රශ්න නැත. ඩොලර් මිලියන 300 කට ජපනා හදන්න ගිය බලාගාරය චීනා හැදුවේ ඩොලර් මිලියන 470 කටය. එයට යන්ත‍්‍රසූත‍්‍ර, විශේෂඥයන්, ඉංජිනේරුවන්, කම්කරුවන් පමණක් නොව කෑමට නූඞ්ල්ස් ටිකද ආවේ චීනයෙනි. ඒවාට ගෙවීම් ලෙස විශාල මුදලක් ආපසු චීනයට ගියේය. මේ වැඬේ කරන්නට චීනා තවත් වියදමක් දැරීමට ලෝස් නොවූ බව කවුරුත් දන්නා කාරණයකි. ලොකු කුට්ටියක් කාගේ කාගේත් සාක්කුවට වැටුණු බවට සැක නැත. එක එක නම් වලින් තිබෙන විවිධ සමාගම්වලින් දැන් මතුවන ආපු දිහාවක් කියන්නට බැරි මුදල් ලැබුණේ මේ වැනි ඉදිකිරීම් වලින් හා ගනුදෙනු වලින් විය හැකිය.

පරිසරවාදය ජීවිකාව කරගත් ඇතැම් විරෝධතාකරුවන්ගේත් වංචනික දේශපාලනඥයන්ගේත්, හිතුවක්කාර නිලධාරීන්ගේත් ක‍්‍රියාකාරකම් නිසා රටට විනාශය අත්වී ඇත්තේ ඒ ආකාරයෙනි. දැන් තියෙන්නේ මේවා කොනක සිට නිවැරැුදි කරන්නටය. මහජනයා යහපාලන ආණ්ඩුවක් පත්කළේ ඒකටය. එම වගකීම ඉටුකරන්නට බැරිනම් කියන්නට තියෙන්නේ ඒ කාටත් අබසරණයි කියාය.

සී ජේ අමරතුංග

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *