ආණ්ඩුව බිලියන පහක ණය ඉල්ලුවත් ශතයක්වත් තාම ලැබී නැහැ – චීනයත් කල් මරයි

චීනය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකින් ආණ්ඩුව ඩොලර් බිලියන පහක පමණ ණය ඉල්ලා ඇතත් එම ණය කිසිවක් මේ වනතෙක් ලැබී නැති බව මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග කිය යි.

ඉන්දියානු රජයෙන් ඩොලර් බිලියනයක් සහ චීන රජයෙන් ඩොලර් බිලියන 1.5 ක් රජයෙන් රජයකට දෙන අතමාරු ලෙස රජය ඉල්ලා සිටියේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ය. එම මුදල් ජනවාරි මාසයේ ලැබෙනු ඇති ආණ්ඩුව අපේක්ෂා කළේ ය.

මෙම ණය ජනවාරි මැද වනවිට ලැබෙන බවත් එවිට රුපියල ස්ථාවර වන බවත් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දෙසැම්බර් මාසයේ ප්‍රකාශ කළේ  ය . පසුව දිනෙන් දින කල්ගිය එම මුදල් පෙබරවාරි අවසානයට පෙර ලැබෙනු ඇති බව  අවසානයේ ප්‍රකාශ කළ ද මේ වනතෙක් මුදල් ලැබී නැත.

මහා බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කළේ ඩොලර් බිලියන 4.5 ක තරම් මුදල් ලබාගැනීමට විවිධ රටවල් සමග සාකච්ඡා කරමින් සිටින බවයි. එම මුදල් ලැබුණු විට ආර්ථිකය ස්ථාවර වන බව ඒ මහතා කීය .

අපගේ ආරංචි මාර්ග කියන්නේ ආණ්ඩුව ඉන්දියාවෙන් සහ චීනයෙන් හැරුණු විට ජපානයෙන්, දකුණු කොරියාවෙන්, සහ අමෙරිකාවෙන් ද මුදල් ඉල්ලා ඇති බව යි.

එම කිසිදු මුදලක් මේ දක්වා ලැබී නැත . ආණ්ඩුවේ ගැලවුම්කරුවා යයි කියන චීනය ද ඔවුන්ගෙන් ඉල්ලු මුදල මේ දක්වා ලබා දී නැත. එම මුදලට ද චීනය කොන්දේසි ඉදිරිපත් කොට ඇති බවත් , චීනයෙන් ආනයන සඳහා තහනම ඉවත්කිරීම එක කොන්දේසියක් වී ඇති බවත් දැනගන්නට ඇත.

ඉන්දියාවෙන් ඉල්ලු මුදල ලබාදීම ද අවිනිශ්චිත තත්ත්වයක පවතියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *