සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් කතිකාවක් අරඹමු! – අජිත් පැරකුම් ජයසිංහ

මේ වන විට ආණ්ඩුව ආර්ථික අර්බුදයට මුහුණ දීමට යම් පියවර ගනිමින් සිටියි. එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි. රටක් සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය ගැනීම සාධාරණ ය. එහෙත්, ගත් ණය එම ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් ගෙවන්නට හැකි විය යුතු ය.

රාජපක්ෂලා කර තිබෙන්නේ අසාර්ථක ව්‍යාපෘතිවලට ණය අරගෙන, ගත් ණය ගෙවන්නට තවත් ණය ගැනීමයි. 2005 දක්වා සමස්ත ඉතිහාසය තුළ ලංකාව ගත් විදේශ ණය මෙන් තුන්ගුණයකටත් වඩා ණය රාජපක්ෂලාගේ දස අවුරුදු පාලනය තුළ අරගෙන තිබේ. ගත් ණයවල වාරික හා පොළී ගෙවන්නට රජයේ සමස්ත වාර්ෂික ආදායම ම ප්‍රමාණවත් නැත.

මේ ආර්ථික අපරාධවලට එරෙහිව කටයුතු කළ යුතු ය.

මෙම දස වසක චෞර අවධිය සුවිශේෂ කාල වකවානුවක් ලෙස සලකා ඉහළ සිට පහළ දක්වා ම මහජන දේපල සොරකම් කළ අයට ඒවා ස්වේචඡාවෙන් ආපසු ගෙවා රජයේ සාක්ෂිකරුවන් වී කොන්දේසි සහගත සමාවක් ලබා ගැනීමට අවස්ථාව දිය යුතු ය. දේශපාලනය තහනම් කිරීම මූලික කොන්දේසියක් බවට පත් කළ යුතු ය. එහෙත්, මොවුන්ට ව්‍යාපාර කරන්නට හා එමගින් ආර්ථිකයට දායක වන්නට ඉඩ දිය යුතු ය. මන්ද, වුණ දේ වුණා ය. මුන් හිරේ දමාගෙන කන්න දෙන එක රටට තවත් පාඩුවක් පමණි.

මේ සහනය භාර ගන්නට අකැමැති මහජන දේපල සොරකම් කළ සියලු සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු ය. පිටරට යැවූ මුදල් ආපසු ගත යුතු ය. නැවත මෙවැනි දේ නො කරන්නට මිනිසුන්ට පාඩමක් ලෙස මොවුන්ට දැඩි දඬුවම් ලබා දිය යුතු ය.

ජාතික ආර්ථිකයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් නීති අලුතින් සම්පාදනය කළ යුතු ය.

අනෙක් පැත්තෙන් මේ අවස්ථාවේදී මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගන්නට ජනතාව රජයට උදව් කළ යුතුව තිබේ. විපක්ෂ දේශපාලනයක් නො කළ යුතු බවක් එයින් අදහස් වන්නේ නැත.

ආණ්ඩුවට සිය ජන වරම අනුව පාලනය ගෙන යන්නට ඉඩ දී විවේචනාත්මක සහයෝගය ලබා දිය යුතු ය. රාජපක්ෂ පාලන සමයේ ඇති වූ තත්වයන් නැවත ඇති නො වන්නට පුරවැසි බලවේග ලෙස දැඩි පරීක්ෂාවක් පවත්වාගෙන යා යුතු ය.

මෙම අර්බුදය මැද බලය ගන්නට උත්සාහ කිරීම නො කළ යුත්තකි. බලය ගත්තා ය කියා කිසිවෙකුට මෙම අර්බුදයට විසඳුම් දෙන්නටත් බැරි ය. විපක්ෂයේ කිසිදු දේශපාලන බලවේගයකට තත්වය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇත්තේ ද නැත. ෆැන්ටසි මත පදනම් වූ ජාතිවාදීන්ට හා වාමාංශික අන්තවාදීන්ට කළ හැකි හොඳම දෙය ඉවසා බලා සිටීම ය.

ඒ අතර, සැබෑ විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් මුලපිරීම මේ අවස්ථාවේ ඉතා වැදගත් ය.

මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන විපක්ෂ දේශපාලනය වනාහි එක්තරා ආකාරයක ලෝක විනාශවාදී හදිසියකින් යුතුව කරන්නකි. එය මූලිකව නියාමනය වන්නේ පසුගිය කාලයේ කළ සොරකම් හා වෙනත් අපරාධ නිසා සිරගත වන්නට සිදු වන එක වළක්වා ගන්නට කරන මෙහෙයුමකිනි. බිම් මට්ටමෙන් ගැඹුරු ජාතිවාදයක් ඇවිස්සීම එහි මූලික ලක්ෂණයකි. මෙය ආණ්ඩුව හා සිවිල් සමාජය විසින් හරි හැටි අවබෝධ කරගෙන ද නැත. ඒ ගැන වෙන ම සටහනක් පසුව තබමි. එහෙත් එය ඉතා හදිසි තත්වයක් බව අප වටහා ගත යුතු ය.

සැබෑ විපක්ෂ දේශපාලනයක් යනු රාජපක්ෂ පන්නයේ දේශපාලනයක් නො වේ. එය ඉවසිලිවන්ත, බලලෝභී නො වන, එහෙත් උන්නතිකාමී, දීර්ඝකාලීන ව්‍යාපාරයක් විය යුතු ය. ප්‍රජාතාන්ත්‍රික පදනම් ශක්තිමත් කිරීම හා ජාතිවාදයට යට නො වීම එහි මූලික කොන්දේසියක් විය යුතු ම ය.

එසේම, නිර්මානය වී තිබෙන විපක්ෂ දේශපාලනයේ රික්තය පිරවීම සඳහා නැවුම් පෞරුෂයන් දේශපාලනයට කැඳවිය යුතු ය. එය අද අප මුහුණ දී සිටින නායකත්ව අර්බුදයට පිළියමක් ද විය හැකි ය.

මා යෝජනා කරන්නේ පුරවැසි බලවේග ලෙස අප කළ යුතුව තිබෙන්නේ මේ සඳහා පහසුකාරිත්ව භූමිකාවක් බවයි. පක්ෂ හා පෙරමුණු නියාමනය කිරීමකි. මග පෙන්වීමකි.

මීළඟ පරම්පරාවේ දේශපාලනය හැඩගස්වන විපක්ෂ දේශපාලනයක් වෙනුවෙන් අපි යමක් කළ යුතු ය.

(w3lanka බ්ලොග් අඩවියෙනි)

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *