අපි අද මුහුණදෙන අර්බුදය නම් සැබෑ ආර්ථිකය වර්ධනය වී නැතිකමයි – නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

BUP_DFT_DFT-14_02-5අපි අද ඉන්නේ ඉතිහිසයේ වැදගත් සන්ධිස්ථානයක ය. අපි මේ ගන්න තීරණ වසර පහකට නොව, වසර විස්සකට, තිහකට බලපාන තීරණ වේ. ඒ නිසා අපි නිවැරදි තිරණය ගන්නට අවශ්‍ය ය. මම ආර්ථික විද්‍යාව ගැන සිතන විට හිතන්නේ අපේ පරපුර ගැන නොවෙයි. මම බොහෝ වෙලාවට හිතන්නේ අපේ දරුවන් ගැන ය. මම අම්මා, තාත්තා මතක් කරන විට මා හිතනවා ඒ අය ජීවත් වුන විධිය, ඒ වගේ ම අපි දැන් ජීවත්වන විධිය, එමෙන්ම අපේ දරුවන්ට කොයි වගේ අනාගතයක් ද ඇත්වෙන්නට යන්නේ කියන එක. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ තරුණ-තරුණියන් පිළිබඳවත්, ඒ අයගේ අනාගත අපේක්ෂාවන් පිළිබඳව සමීක්ෂණයක් ඒ අය කාලයෙන් කාලයට කරති. ඒ සමීක්ෂණ වාර්තාව කියවන විට මතුවන එක ප්‍රශ්නයක් තමයි අපේ රටේ තරුණ තරුණියන් 50%පමණ කියනවා අපිට පිටරටක වැඩකරන්නට අවස්ථාව තිබෙන්නේ නම් අපි ලංකාව අතහැර පිටරට යන බව. එයින් 1/3ක් විතර පිටරට යනවා පමණක් නොව විදේශ රටක ඒ රටේ පුරවැසිකමක් දෙන්නේ නම් අපි මේ රට අතහැර පිට රට යන බව ඔවුහූ පවසති. වැඩිහිටි පරපුර, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින අය කථාකරන විට හුඟ වේලාවට ජාති ආලය ගැන කථාකරනවා, දේශප්‍රේමිත්වය ගැන කථාකරනවා. නමුත් අපි කථාකරන භාෂාවයි තරුණ පරපුර කථාකරන භාෂාවයි වෙනස් බව අපි සියලුදෙනා පිළිගත යුතු ය. ඒ අය අද මේ තියන ආර්ථික අනාගතයට වැඩිය හොඳ ආර්ථික අනාගතයක් බලාපොරොත්තු වේ. ඒක තමයි ඇත්ත කථාව.

එතකොට අපේ ආර්ථිකය සාමාන්‍ය ආකාරයට වර්ධනය වූවහොත් දළදේශිය නිෂ්පාදිතය 5%ක් පමණ වර්ධනය වීමට පුළුවන. නමුත් ඒ තරුණ ප්‍රජාව මේ රටේ නවත්වා ගන්නට නම් එය අඩුම ගණනේ දෙගුණයක්, එනම් සියයට 8-10ට වර්ධනයක් අඩුම ගණනේ දශකයකටවත් අපි පවත්වා ගතයුතු ය. ඒ මගින් පමණයි මේ බුද්ධි ගලායෑම යම්කිසි ආකාරයකින් වළක්වාගන්නට පුළුවන් වෙන්නේ. අපේ ප්‍රාග්ධන කාර්යක්ෂමතාවය දිහා බැලුවොත් දැන් පවතින තත්ත්වය අනුව ඒ කියන්නේ මේ රටේ වසරකට අඩු වශයෙන් බිලියන 4-5ක්වත් ආයෝජනය කළයුතු ය. ආයෝජනය කරන්නට ඔබ දන්නා පරිදි ඉතුරුම් තිබිය යුතු ය. මේ රටේ ඉතිරිය දළ දේශිය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් හැටියට බොහොම අඩු අගයක් ගනී. එය 15%ක් පමණ වේ. චීනය ගතහොත් එය 50%කට වැඩි ය. ඉන්දියාව ගතහොත් 30%ට වැඩියි. ඒ නිසා තමයි විදේශ ආයෝජන අවශ්‍ය වන්නේ. අපිට ඉතුරුම් නැති නිසයි ඒ විදේශිය ආයෝජන ආකර්ෂණය කරගන්නට වී තිබෙන්නේ. මේ ජීවන තත්ත්වය පවත්වාගෙන යන්නට පමණක් නොව මේ ජීවන තත්ත්වයට වඩා ඉහළ ජිවන තත්ත්වයක් අපි පවත්වාගෙන යන්නේ නම් එවැනි ඉහළ ආයෝජනයක් අවශ්‍ය වේ. අපිට මේක අළුත් දෙයක් නොවේ. අපේ ඉතිහාසය දිහා බැලූවිට ලංකාව දිගින් දිගටම අනික් රටවල් සමග අපනයනය හා ආනයනය කළ රටක් යන වග අපේ සෙල් ලිපිවල සඳහන් වේ. අපි තානාපතිවරු වසර දහස් ගනනකට පෙර යවා ඇත. අපේ රජවරු අපේ තානාපතිවරු ඒ ආකාරයට යැව්වේ ඇයි?

අපේ රටේ මේ වෙළඳාම දිගින් දිගටම සිදුවුන දෙයක් නිසා ය. දුපතක් වූවාට අපිට රටේ පිහිටීමෙන්ම වාසියක් තිබේ. චීනයේ කොමියුනිස්ට් පක්ෂයෙන් පැමිණි පිරිසක් සමග පාර්ලිමේන්තුවේ දීු සාකච්ජාවක යෙදෙන්නට අවස්ථාවක් ලැබුණි. ඒ අය කිව්වේත් ලංකාවේ වාසිය බටහිරෙන් ගෙනත් නැගෙනහිරට බඩු භාණ්ඩ ගෙනියන්නට පුළුවන්වීම යන්න ය. ඔවුන්ගේ සැලැස්ම ඒක බවත්, ලංකාවටත් ඒකේ කොටස් කරුවෙකු වෙන්නට පුළුවන් බවත් ඔවූහූ මට කීහ. අපනයනය හා ආනයනය දෙස බලන විට ඒක චීනය ද, ඉන්දියානු ද, ඇමෙරිකානු ද, යුරෝපය ද කියන එක මට නම් එතරම් වැදගත් කරුණක් නොවේ. අපි අනිවාර්යයෙන්ම ගිවිසුමක් ගහනවිට අපේ වාසිය බලලා, අපේ ආරක්ෂාව දිහා බලලා, අපේ ජීවන රටාව නැත්නම් සංස්කෘතියේ ආරක්ෂාව බලා ඒ ගිවිසුම ගැසිය යුතුයි යන්න මම අලුතෙන් කිවයුතු දෙයක් නොවේ. ඒක අපි කළ යුතුයි.

ඉතින් මේ ආර්ථික වර්ධනය ගැන කථාකරන විට එකක් මතක තබාගත යුතු ය. සම්ප්‍රදායික ආර්ථික විද්‍යාව විශ්වවිද්‍යාලයට ගිහාම අපිට ඉගැන්වූවා, ආර්ථිකය වර්ධනය විමට නම් ප්‍රාග් ධනය අවශ්‍යයි කියන එක. ශ්‍රමය යොදවන්නට ඕනේ. තාක්ෂණය අවශ්‍යයි. ඉඩකඩම් අවශ්‍යයි යනාදි ලෙස. එතකොට තමයි ආර්ථිකය වර්ධනය වෙන්නේ කියලා විශ්වවිද්‍යාලයේ දි අපිට උගන්වා ඇත. නමුත් ආර්ථික විද්‍යාවත්, වෙනස් වෙමින් පවතින විද්‍යාවකි. සමහර රටවලට මූල ද්‍රව්‍ය තිබෙන නමුත් ආර්ථික වර්ධනයක් එම රටවල නැත. උදාරහරණයක් ලෙස තෙල් තිබෙන නයිජීරියාව ගතහොත්, එහි ආර්ථික වර්ධනයක් නැත. නමුත් මූල ද්‍රව්‍ය තිබේ. අද මැදපෙරදිග අරාබි රටවල තෙල් මිල පහල යෑමට පටන්ගෙන ඇත. දැන් අපි බලන්නට ඕනේ ඒ රටවල් අතරෙන් කාට ද ඉදිරියට යන්නට පුළුවනි. කාට ද යන්න බැරිවෙන්නේ කියන එක. ඒ නිසා පරණ විදියට නම් පැවසුවා, රටක තරුණ තරුණියන්ට අධ්‍යාපනය දුන්නොත් ඒ රටේ ඉබේටම ආර්ථික වර්ධනයක් වෙන බව. නමුත් එහෙම එකක් නෑ කියන එක වැඩි වැඩියෙන් දැන් පෙනේ. මෙහි කුමක් හෝ අඩුවක් තිබෙන බව දැන් පෙනේ.

අපි මේ රටෙන් අපනයනය කරන විට අපේ ප්‍රධාන වෙළඳපොල තිබෙන්නේ, ඇමෙරිකාවේ හා යුරෝපයේ ය. අනික් රටවලට අපනයනය කරමු යන්න අපි මේ වසර 25ම පැවසුවෙමු. කොළ ආණ්ඩු තිබුණා. නිල් ආණ්ඩු තිබුණා. මොන ආණ්ඩුව තිබුනත් මේක වෙනස් කරගන්නට බැරිවූ එක තමයි, ඇත්ත කථාව. අපි ඒක වෙනස් කළ යුතුයි කියන මතයේ මා ඉන්නේ. ඒක තමයි අදටත් අපිට තිබෙන අපනයන වෙළඳ පොලවල්. නමුත් මේ දශක දෙකේ දී ලෝකයේ සීඝ්‍රයෙන්ම වර්ධනය වූ රටවල් දෙක ගතහොත් චීනයයි ඉන්දියාවයි තමයි වැඩියෙන්ම වර්ධනය වූයේ. චීනය සියයට 9-11% වර්ධනය වන විට ඉන්දියාව 8-9 % වර්ධනය විය. නමුත් දැන් ලෝක ආර්ථිකය නැවතත් යම්කිසි වෙනසක් සිදුවෙමින් පවති. ලෝක ආර්ථිකයේම වර්ධන වේගය අද අඩු වී ඇත. චින ආර්ථිකයේ වර්ධන වේගය ද අඩුවී ඇත. ඉන්දියාවේ වර්ධන වේගයත් අඩු වී තිබේ. ඒ වගේම ප්‍රධාන වෙලදපොලවල් වන ඇමෙරිකාවේ, යුරෝපයේ ආර්ථිකයන් වර්ධනයක් නැති තැනටම වගේ ඇවිත් ඇත. ඉතින් අපේ ආර්ථිකය දිහා බැලූවිට අපිට ද ප්‍රශ්නයක් තිබේ. මේ ප්‍රශ්නය අපි කොහොමද විසඳන්නට යන්නේ. අද අපි ලංකාවේ අපනයන ආනයන ප්‍රමාණය බැලුවොත් ජාත්‍යාන්තර අපනයන ආනයන ප්‍රමාණයෙන් 0. 008%කි. තවත් ආකාරයකට පවසන්නේ නම් අපි 1948 නිදහස ලබනවිට ඊට වැඩිය අඩුවෙන් තමයි අපිට අද ලෝකය සමග තිබෙන ගණුදෙනුව. අපි අපනයනය දිහා බැලුවොත් දළ දේශිය නිෂ්පාදනයේ කොටසක් ලෙස අද 15% කි. නමුත් වසර 15-20කට ඉහත දී 30%ක වඩා වැඩිය. ඒක තමයි අපි අද මුහුණදෙන අර්බුදය. සැබෑ ආර්ථිකය වර්ධනය වී නැත.

ඒක අපි වෙනස්කර ගතයුතු ය. අපි හුගක් වෙලාවට, සංවාද තුළ එකතුවෙන විට අර පරණ කෝණයෙන් බලන්නේ. අපි හිතන්නේ අධ්‍යාපනය දුන්නොත්, හරියටම කළමණාකරණය කරගත්තොත්, හරියට ප්‍රතිපත්ති හදාගතහොත්, මීට වැඩිය හොඳ තැනකට යන්නට පුලුවන් බව ඇතැමෙක් කියති. අනේ මම නම් ඔය කථාව දිගින් දිගටම අසා ඇති වී තිබේ. මට අහන්න තියෙන ප්‍රශ්නය අපි ඔක්කොම මේ දේවල් දන්නවා නම් ඇයි මේවා වෙලා නැත්තේ කියන එක ය. ඔය ප්‍රශ්නය ඇසූ සැටියෙන්ම අපේ මනසට එන්නේ, මේකට වගකියන්නට ඕනේ මේ රටේ දේශපාලන නායකයින් බව ය. මමත් ඔබ වගේම කෙනෙකි. මම දේශපාලනයට ගියේ එක්සත් ජාතික පක්ෂයේ නායකයින්ගේ ආරාධනාවකට අනුව ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධාන පුටුව අතහැර ය. මගේ පණිවිඩය මේක ය. අපි සියල්ලක්ම දන්නේ නැත. අද ආර්ථික විද්‍යාවේ න්‍යාය තියෙන්නේ මේ දැනගැණිම කියන එක නැහැ කියන එකයි. ඉංග්‍රිසියෙන් කියන ආකාරයට නෝ හව් එකක් තිබියයුතු බව කියැවේ. ප්‍රාග්ධනය තිබෙන්නට පුලුවන. තාක්ෂණය තියෙන්නට පුලුවන, යම්කිසි කර්මාන්ත තිබෙන්නට පුලුවන. නමුත් නෝ හව් එකක් ද තිබිය යුතු ය. වර්ධනය සිදුවෙන්නේ එසේ ය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *