යහපාලන පාලනයක් ලැබුණෙ හිතුවක්කාරව, දඩබ්බරව ක‍්‍රියාකරන්න නෙමෙයි – අමාත්‍ය පාඨලී චම්පක රණවක

isඅපේ රට සෑහෙන අවස්ථා ප‍්‍රමාණයක් අහිමි කරගත්ත රටක්. අපිට ලැබිය යුතුව තිබූ ස්ථානය අහිමි වූ රටක්. එහෙම වුනේ ඇයි කියන එක පිළිබඳව අපි මැදිහත්ව කල්පනා කර බැලිය යුතුයි. අපිට නිදහස ලැබෙන විට ඉන්දියානු සාගරයේ කොළඹ වරායට හිමි වුනේ මේ මුළු ලෝකෙන්ම පස් වෙනි ස්ථානය. අපි අද සිටින්නේ 34 වෙනි ස්ථානයෙ. එදා සිංගප්පූරුව නමින් මහා වාණිජ මධ්‍යස්ථානයක් තිබුණෙ නැහැ. ඩුබායි රට නමින් මහා වාණිජ මධ්‍යස්ථානයක් තිබුණෙ නැහැ. අද සිංගප්පූරු වරාය ඒ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1/5 ක් පමණ නිර්මාණය කරනව. අපේ වරාය, අපේ දළ දේශීය නිෂ්පාදනයට දෙන දායකත්වය 1/100 ක් පමණ පුංචි ප‍්‍රමාණයක්. අති විශිෂ්ට භූගෝලීය සිතියමක් අපට තිබුණත් ඇයි අපේ වාරය ඒ වගේ තත්ත්වයකට පත් වුනේ?

හු`ගක් දෙනෙක් කතාකරන්න ආසයි අපේ පැරණි රජ දරුවන්නේ කෘෂි කර්මාන්තය ගැන. ගොවිතැන මත තමයි අපේ රට ගමන් කළේ කියන එක. නමුත් අපේ රට ඉතාමත්ම දුරාතීතයේ සිටන් ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානයක්. වෙළඳාම් කළ ජාතියක්. ඒ නිසා ඒ අවස්ථාව අපට අහිමිව ගියා. ප‍්‍රධාන හේතුව වුනේ වරායේ ජනසතු කිරීමත් එක්ක ඇති වූ වෘත්තීය සමිති ව්‍යාපාර නිසා වරායේ ඇති වූ වැඩ වර්ජන රැුල්ල. ඒ වගේම රත්මලාන ගුවන් තොටුපොල, ත‍්‍රිකුණාමලේ තිබුණ තෙල් ටැංකි සංකීර්ණය. ඒ තෙල් ටැංකි සංකීරණය තිබුණ වෙලාවේ, අපේ රට තමයි ප‍්‍රධාන බල ශක්ති මධ්‍යස්ථානය වෙලා තිබුණෙ තෙල් ගබඩා කිරීමේ පහසුවත් එක්ක. ත‍්‍රිකුණාමල වරයා ස්වභාවික වරායක් හැටියට එවැනි ගනුදෙනුවකට හොඳම ස්ථානයක්. එහි මුහුද ඉතාම සන්සුන්, දරුණු රළ පහරවල් එන්නෙ නැති තැනක්.

1960 දී අපි බොහොම උද්ව්ගතර සටන්පාඨ මගින් එම තෙල් ටැංකි ජනසතු කෙරුවා. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවක් ටී.බී. ඉලංගරත්න මහතා පිහිටෙව්වා. ඒ තෙල් ටැංකි කීපයක් පමණක් අද පාවිච්චි කරනව. ඉතිරි තෙල් ටැංකි අද යකඩ වලට විකුණනන්න කපාගෙන ගිහින් තියෙනව. ඒ තෙල් සමාගම් සියල්ලම සිංගප්පූරුවට ගියා. අද සිගප්පූරුව  අද මේ කලාපෙ තෙල් වෙළඳාම පිළිබඳ ප‍්‍රධාන වාණිජ මධ්‍යස්ථානය බවට පත්වෙලා තියෙන්නෙ.

ඒ වගේම ගුවන් තොටුපළ, ගුවන් තොටුපළකට අපේ භූගෝලීය පිහිටීමත් එක්ක විශේෂ ස්ථානයක් නිර්මාණය වෙලා තිබුණ. ඒ අවස්ථාව අපි අහිමි කර ගත්ත. ඒක ඩුබායි රටට, සංගප්පූරුවට මාරුවෙලා ගියා. මේ වගේ මේ භූගෝලීය පිහිටීමෙන් අපට තිබුණු වටිනා අවස්ථා බොහොමයක් අපේ සටන්පාඨ නිසා නැතිකරගෙන තියෙනව.

ඒ වගේම මේ කලාපෙ අනිත් රටවල් අපිව පහුකරගෙන ගියේ කොහොමද කියන එක කල්පනා කරල බලන්න  ඕනෙ. 1960 දි කොරියාවේ ඒක පුද්ගල ආදායම අපේ ඒක පුද්ගල ආදායමෙන් 1/3 යි. දුගී දුප්පත් පැල්පත් වාසීන්ට අපි කීව්වෙ කොරියානුවො කියල. අපි අදටත් එහෙම කියනව. අද අපේ ළමයි පෙළ ගැහෙනව ඒ කොරියාවට යන්න. කොරියාවේ ඒක පුද්ගල ආදායම අපේ ඒක පුද්ගල ආදායම වගේ 8 ගුණයක්. අපේ අතේ තියෙන හෑන් පෝන්එක, හයිවුන්ඩායි කාර්එක, ගෙදර තියෙන එල්.ජී. රූපවාහිනිය මේ ඔක්කොම කොරියාවේ නිර්මාණ.

තායිවානය 1980 දි හිටියෙ හරියටම අද ලංකාව ඉන්න තැන. ඩොලර් 4000 සීමාවෙ. ඔවුන්ගෙ ආර්ථිකය තීරණාත්මක වෙනස්කම් ඇති කරන්න තීරණය කෙරුව. මයික්‍රො චිප් හදන රටක් බවට ඒ රට පරිවර්තනය කරන්න ගත්ත තීරණය. අපනයන වලින් 56% ක් එතන තියනව. අපේ 1990 අපනයනය ගත්තොත්, අද අපේ අපනයනත් එක්ක ලොකු වෙනසක් තියෙනව. සමහරු අහනව ඉන්දියාවට අපේ අපනයනය වැඩි වෙලා නෑ නේද කියල. ඉන්දියාවට නෙමේ මුළු ලෝකයටම අපේ අපනයනය වැඩි වෙලා නැහැ. දළ දේශීය නිෂ්පාදනය අනුව ගත්තම සියයට තිස් ගණනක් තිබුණු අපනයනය අද 15% ටත් අඩු වෙලා තියෙනව. ඒ පැත්තෙන් අපේ අපනයනය සීග‍්‍රයෙන් කඩා වැටිල තියෙනව. අපේ අපනයන විවිධාංගීකරණය කරන්න අපි අසමත්වෙලා තියෙනව.

අපේ එකම නැග එන ක්‍ෂේත‍්‍රය මෘදුකාංග වෙළඳාම පමණයි. එය අපට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් එකම නැග එන ක්‍ෂේත‍්‍රය බවට පත් වෙලා තියෙනව. අපි කල්පනා කරල බලල අපේ රටේ ආර්ථික උපාය මාර්ගය වෙනස් කරගන්න  ඕන. තවදුරටත් මේ රටේ ලාභ ශ‍්‍රමය නැහැ. අපි කවුරුත් පිළිගත්තත්, නොපිළිගත්තත් පිළිගත යුතු ඇත්තක් තියෙනව. යකඩ කර්මාන්ත පවත්වගෙන යනව, ගොඩනැගිලි ඉදිකිරීමේ කර්මාන්ත පවත්වගෙන යනව, මේවායේ ශ‍්‍රමිකයො හු`ගදෙනෙක් විදේශිකයො. අම්පාරෙ ගොයම් කපන්නෙ විදේශිකයෙ. වව්නියාවේ හේන් කොටන්නෙ විදේශිකයො. කොළඹ නගරෙ කොන්ක‍්‍රිට් අනන්නේ විදේශිකයො. මේ හැමෝම සංචාරක විසා මගින් රටට ඇතුළු වෙච්ච පිරිස්. ඒක තමයි ඇත්ත. මෙයට හේතුව ඒ ශ‍්‍රම බලකායක් ශ‍්‍රමය වගුරුවන්න ඇවිත් තියෙනව. අපේ ඒක පුද්ගල ආදායම ඉහළ යාමත් සමග අපට ඒ ප‍්‍රශ්නයට මුහුණ දෙන්න සිද්ධවෙලා තියෙනව. ඔය ප‍්‍රශ්නෙ තායිලන්තයෙන්, ලා ඕසෙයන් අනිත් රටවලත් තියෙනව. අපිත් ඒ තත්ත්වයට ක‍්‍රමයෙන් පත්වේගෙන යනව.

ඒ වාතාවරණය හමුවෙ අපිට අපේ අලූත් ශ‍්‍රමය, අපිට ලාභ ශ‍්‍රමය පෙන්නන්න බෑ. මොකද බංගලිදේශයේ, වියට්නාමයේ අපිට වඩා ලාභ ශ‍්‍රමයට වෙළෙඳ පොළ විවෘත වෙනව. ලාබ බලශක්තිය මෙහෙ නැහැ. ලාභ පරිසර නීති මෙහෙ නැහැ. ඒ නිසා 1977 ආර්ථිකය විවෘත කළා වගේ ආයෝජකයන්ට එන්න කියූ පමණින් කර්මාන්ත ඇති වෙන්නෙ නැහැ.

අලූත් උපායමාර්ග හැටියට නව උද්පාදනය අපි තෝරගෙන තියෙනව. ඒ නව උත්පාදනය කරා යන්න ටිකක් අසීරුයි නමුත්, අපේ උගත් ජනතාවත් එක්ක අපිට ඒක කරන්න පුළුවන් දෙයක්. භාණ්ඩ වෙළෙඳ ගිවිසුම් අපි අත්සන් කෙරුව. අපි සේවා ක්‍ෂේත‍්‍රයට ඇතුල් වෙද්දි අපේ මේ නැගඑන ක්‍ෂේ‍්‍රත‍්‍රවලට බාදාවක් ඇති නොවන විදිහට ඒ කටයුත්ත කරන්න  ඕනෙ. අපිට අපේ සියලූම විද්වත් ප‍්‍රජාවගෙ සංවාදය ඉතා අවශ්‍යයි.

අපේ මේ රට ඇතුළෙ තියෙන විවිධ වෘත්තින්ගෙන් ප‍්‍රමිතිය ඉතා අවශ්‍යයි එවැනි දේවල් කරන්න. දැන් උදාහරණයක් හැටියට මෙතන අදහස් වුනා ඉන්දියාවේ ආචාර්ය උපාධිධාරීන් ගැන, ඉංජිනේරු උපාධාධාරීන් ගැන. ඉංජිනේරු උපාධිය ගැන ලෝකයේ තියෙනව සම්මුතියක්. ප‍්‍රමිතියක්. වොෂිටන් සම්මුතිය කියල. වොෂින්ටන් සම්මුතියට අනුව ක‍්‍රියාකරන්න අපේ ඉංජිනේරු ආයතනයට මෑතදි බලය ලැබුණ.  ඒ සම්මුතියට අනුකූල අය පමණයි අපි ඉංජිනේරුවො හැටියට පිළිගන්නෙ. නමුත් අවාසනාවකට ශ‍්‍රී ලංකාව ඇතුළෙ ඉංජිනේරු වෘත්තිය නියාමනය කිරීමට නියාමන අධිකාරියක් නැහැ.දි බර්නාඞ් සොයිසා මහත්තය ඒක පාර්ලිමේන්තුවෙ ගේන්න හැදුව. මම මේක ගෙනාව. අදටත් ඒක අනුමත කරගන්න අපිට බැරි වුනා. ඒක අපේ රටේ, අපේ සමාජයේ තියෙන ලොකු අඩුපාඩුවක්. වෛද්‍ය වෘතිය නම් යම් ප‍්‍රමාණයකට තියෙනව. නමුත් නීතිඥවෘත්තියටත් ඒ ප‍්‍රශ්නය තියෙනව. ගණකාධිකාරි  වෘත්තියටත් ඒ ප‍්‍රශ්නය තියෙනව. තවත් බොහෝ වෘතීන්වලට ඒ ප‍්‍රශ්නය තියෙනව. ඒ නිසා අපේ මේ රට ඇතුළෙ ඒ ප‍්‍රමිති ව්‍යුහය ඇති කරගන්නෙ නැතුව අපි සේවාවන් විවෘත කරන්න ගියොත් පුද්ගලයින්ට, වෘතියවේදින්ට ලොකු ප‍්‍රශ්න ඇතිවෙන්න තියෙනව. කොහොමටත් රජය මේ පිළිබඳව සියලූ දෙනා එක්ක සාකච්ඡුා කරනව. වෘත්තීය පුද්ගලයන් රටට ගලා ඒම සම්බන්ධයෙන්, ඉංජිනේරුවරු, වෛද්‍යවරු, වාස්තුවිද්‍යාඥයො රටට ගලා ඒම සම්බන්ධායෙන් වගන්තිය රජය අත්සන් නොකරන බව රජය දැනටම ප‍්‍රකාශ කර ඉවරයි. ගරු අග‍්‍රාමාත්‍යතුමත්, ඒ විෂය අදාල මලික් සමරවික‍්‍රම මැතිතුමත් ඒ ගැන ප‍්‍රකාශ කරල ඉවරයි. ඒ ක්‍ෂේත‍්‍රවල අපේ ප‍්‍රමිතිය, ඒ නියාමන බලය ශක්තිමත් කරගත යුතුයි ඒ ක්‍ෂේත‍්‍ර සමග ඉදිරියේදී කටයුතු කිරීමට.

ඒ නිසා නවෝත්පාදනයට තුඩුදෙන ක්‍ෂේත‍්‍ර ශක්තිමත් කරගෙන, විශේෂේයෙන්ම තොරතුරු තාක්‍ෂණ ක්‍ෂේත‍්‍ර, ගනකාධිකරණ ක්‍ෂේත‍්‍ර ශක්තිමත් කරගත්තොත් විශාල ආනාගතයක් අපේ දරුවන්ට ඇති කරගන්න පුළුවන්. අපි හඳුන්වන බි.පී. ඕ., කේ.පී. ඕ. රැුකියා අපේ අනාගතය ඒ සඳහා, අපේ දරුවන් තමයි අපිට තියෙන විශාලතම වස්තුව, උගත් ශ‍්‍රමබලකාය තමයි අපේ වස්තුව. ඒ උගත් ශ‍්‍රමබලකායට අපේ ශක්තිය ලබාදිය යුතුයි. එවැනි උපායමාර්ගයක් රටට ඇති කරගැනීමත්, ඒ වගේම අපේ වෘත්තිමය ක්‍ෂේත‍්‍රවල නියාමන බලය ශක්තිමත් කරගැනීමත්, ඒ වගේම නිර්භීතව, සටන්පාඨ වලින් තොරව ඉදිරිපත් වීමෙනුත් මම හිතනව ආර්ථික අතින් යම් ජයග‍්‍රහණ අත්පත් කරගන්න වෙනව. ඒකට සංවාදය ඉතාම අවශ්‍යයි. ඒකට එක පියවරක් තබපු ජාතික විද්වත් සභාවට අපේ උපහාරය පිරිනමින්, මේ සාකච්ඡුා සභාව තුළින් අපි නොදන්නා කරුණු, සමහරවිට අපි වැරදි තැන් වටහා ගන්නට හැකියාව ලැබෙයි කියල මම හිතනව. අපි සියලූ දෙනාට සම්මුත්තියක් අනාගතයේ ඇති කරගන්නට හැකිවෙයි කියල මම විශ්වාස කරනව. මේ යහපාල පාලනයක් ලැබුණෙ හිතුවක්කාරව, දඩබ්බරව ක‍්‍රියාකරන්න නෙමෙයි සංවාදවලට විවෘත වෙමින්, සියලූම අදහස්වලට විවෘත වෙමින් කටයුතු කරන්නයි කියනඑක අවධාරණය කරමින්, ඒ සඳා කටයුතු කරන බව ප‍්‍රකාශ කරන්න කැමතියි.

(2016.03.10 දින පස්වරුවේ කොළඹ 7, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ ශ‍්‍රවණාගාරයේ පැවැති විද්වද් හමුවේදී මහානගර හා බස්නාහිර පලාත් සංවර්ධණ අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතා විසින් කරන ලද කතාව)

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *