මහජන මුදලින් දුන් පොහොර හා වෙනත් සේවාවලින් ගොවීන් රටට දී ඇත්තේ කුමක් ද? – අජිත් පැරකුම් ජයසිංහ

images

මා ජීවත් වන්නේ ගමක ය. මගේ බිරිය රජයේ සේවිකාවකි. පාට් ටයිම් ගෙවිලියකි. ඇය ගෙවතු වගාව කරන්නී ය. එළවළු වවන්නේ නම් හුදෙක් ම මානසික තෘප්තිය සඳහා ය. නැතිනම් ඒ යන වියදම්වලින් එළවළු කඩෙන් ගන්නට පුළුවන. හැබැයි අප විසින් වවන ලද පලතුරු ගස්වල ඵලදාව නරක නැත. අල වර්ග අස්වනු නම් නෙළා ගන්නේ අල බහින බවට අන්ඩර් ග්‍රවුන්ඩ් ආරංචි ලැබී එන වල් ඌරෝ ය. රිලව් හා වඳුරෝ ද යම් ප්‍රමාණයකට වග කියති. ඒ ගැන අපේ නම් ලොකු විරෝධයක් නැත. උනුත් කන්නට ඕනෑ ය. ගෙඩි කඩන්නට බැරි තරම් උස ගස්ලබු, ඇඹරැල්ලා, රඹුටන් ආදී ගස් කීපයක් අපි කුරුල්ලන්ට ම වෙන් කර ඇත. හැබැයි අප ගොවීන් ලෙස අප හඳුන්වා ගනිමින් වරප්‍රසාද ඉල්ලන්නේ නැත. ගෙවතු වගා කරන්නන් ලෙස අපට නම් මහින්දගේ කාලේ දුන් පැළ නො වෙන ඇට පැකැට් හා පලතුරු පැල කීපයක් හැර අන් කිසිවක් ලැබී නැත. අප කිසිවක් බලාපොරොත්තු වී ද නැත.

ගොවි සංවිධානයේ සභාපති ඉන්නේ අපේ ගේ ළඟ ය. ඔහු වවන කිසි දෙයක් නැත. ඔහු කිසි දිනෙක වෘත්තීය ගොවියෙක් වූයේ ද නැත. එහෙත් වෘත්තීය මට්ටමෙන් ගොවි සංවිධාන නිලධාරියෙක් වුණේ ය. ලේකම් නම් වෘත්තීය ගොවියෙකි. ඉස්සර කුඹුරු ගොවිතැන් කළේ ය. දැන් තේ වවනවා ය. පසුගිය කාලයේ මේ කට්ටිය හතරවරං ගසා ඇති බවත්, එබැවින් තනතුරුවලින් ඉවත් කරන බවත් ගොවි නියාමක කියයි.

අපේ ගමේ කුඹුරු එකින් එක පුරන් වෙනවා ය. සමහරු කුඹුරු ඉඩම් හොරෙන් ගොඩ කර ගෙවල් හදනවා ය. කුඹුරු ගොවිතැන යම් දුරකට කරන්නේ ට්‍රැක්ටර් හිමියෝ දෙතුන් දෙනෙක් පමණි. මන්ද, කුඹුරු කෙරුවාවෙන් ජීවත් වන්නේ ඔවුන් පමණි.

ප්‍රධාන වශයෙන් රජයේ රැකියා වැනි වෘත්තීන්වල නියුතු පහළ මධ්‍යම පංතිකයෝ අමතර ආදායම් සඳහා විධිමත් අන්දමින් විවිධ වගා කරති. තේ, රබර් වගා නම් දැන් හාන්සි ය. ඒවාට විදේශ වෙළඳපොළවල ඉල්ලුමක් නැත. ආණ්ඩුවෙන් උපදෙස් නො ලැබුණත්, දැන් දැන් මිනිස්සු ගම්මිරිස්, කුරුඳු ආදී වෙනත් බෝග ද වවමින් බෝග විවිධාංගීකරණය කර ගන්නට උත්සාහ කරති.

ගොවිතැනින් පමණක් ජීවත් වන්නේ ඉතා ම සුළු පිරිසකි. ගොවිතැන් කරන අය වෙනත් විවිධ ප්‍රධාන රැකියා කරති. සමහරුන් ගොවිතැන් කරන්නේ ආණ්ඩුව පොහොර සහනාධාර දෙන නිසා ය. නැතිනම්, කුඹුරු ඉඩම් රජයට පවරා ගනු ඇතැයි බිය නිසා ය. මේ අතරවාරයේ කුඹුරු ගොවිතැන වැඩකට නැති නිසා කිසිවෙක් කුඹුරේ කන්කුන් පාත්තියක් දැම්මොත් පෙත්සම් ගසා එය නවත්වන අයත් සිටිති.

මේ අතර ග්‍රාමීය දිළින්දෝ පිරිසක් ගම්වල සිටිති. ඔවුන් අතරින් ඇතැමෙක් අලසයෝ ය. නැතිනම් බේබද්දෝ ය. නූගත්තු ය. හැබැයි කතා කළොත් උන් සියල්ල දත් ය. කාගෙන්වත් ඉගෙන ගන්නට දෙයක් නැත. විප්ලවවාදී ය. ගම්වල ඕනෑ තරම් කුලී වැඩ තිබේ. ඒ නිසා මොවුහු බැරි ම විට කුලී වැඩට යති.

ඔවුන් බලා සිටින්නේ ආණ්ඩුවෙන් නිකම් දෙන දෙයක් අරගන්නට ය. නිකම් මොනවා හරි දෙන බව ආරංචි වුණොත් සියලු වැඩ නවත්තා ඒක ගන්නට පෝලිමේ සිටිති. මේ පවුල්වල ගැහැනු ගමට එන මයික්‍රෝ ක්‍රෙඩිට් කොම්පැනිවලින් අවුරුද්දට සීයට හතළිස් අට, හැට පොළියට ණය ගනිති. ගමේ පොලියෙස්ටර්ලාගෙන් ණය ගන්නේ ඇතැම් විට අවුරුද්දට සීයට එකසිය විස්සේ පොළියටයි. ඔවුහු ඒවායින් කොටහළු මගුල් කති. මොබයිල් ෆෝන්, ටීවී, ප්ලාස්ටික් පුටු, මෝටර් සයිකල්, ත්‍රීවීල් ගනිති. මේ පවුල්වල තරුණ ළමයි මුල් කාලේ බයික්වලින් එහෙ මෙහෙ යමින් සිට පසුව ඈනුම් අරිමින් ත්‍රීවීල් පාක්වල වේලෙති.

ගම්වල වඩු වැඩකට, මේසන් වැඩකට මිනිහෙක් හොයා ගන්නට නැත. පොල් කැඩීම වැනි දේ නම් කරන්නට කිසිවෙක් නැති තරම් ය. කුඹුරුවල, තේ හා රබර් වතුවල බරපතල ශ්‍රම හිඟයක් තිබේ. එහෙත් සුදුසුකමකුත් නැතිව, රස්සාත් නැතිව දේශපාලකයන්ට පෝස්ටර් ගහන්නට දත මැදගෙන සිටින තරුණ බලකායක් ගම්වල සිටිති. මොළේ තියෙන එවුන් කෙසේ හෝ කොරියාවට පැන ගනිති. ගිය ඇතැමෙක් ගල් වෙති.

ලංකාවේ ඇතැම් පුද්ගලයෝ හා සංවිධාන ග්‍රාමීය දිළින්දන් ද අර මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු බව කියන ගොවීන් ලෙස සලකති. මන්ද, වෙන කිසිවක් කරන්නට නො දත් හැම එකා ම තමන් හඳුන්වන්නේ ගොවියන් ලෙසටයි. එහෙම ගොවිතැන් කරන්නට බැරි බව ද, ගොවිතැන යනු දක්ෂ කර්මාන්තයක් බව ද එය සැබැවින් කරන්නෝ දනිිති.

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම සඳහා බරපතල සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය ය. ග්රාමීය දිළිඳුකම යනු හුදෙක් ආර්ථික ප්‍රශ්නයක් පමණක් නො වේ.

රටේ ආහාර නිෂ්පාදනය කරන ගොවියන්ට රජය උපකාර කළ යුතු ය මන්ද, ඔවුන් කරන්නේ අතිශය වැදගත් කාර්යභාරයකි. රජය හෙවත් සමාජය ගොවියන්ට සලකන්නේ නැතැයි කියන්නට බැරි ය. සමාජය ඇත්තෙන් ම ඔවුන් වෙනුවෙන් සැලකිය යුතු පිරිවැයක් දරයි. ගොවියන්ට වාරි ක්‍රම සකසා දෙන්නටත්, ඒවා නඩත්තු කරන්නටත්, පොහොර සහනාධාර දෙන්නටත්, වී මිළ දී ගන්නටත්, ඉන්පසු ඒ ගත් වීවලින් කොටසක් විනාශ කරන්නටත් වැය කරන්නේ මහජන මුදල් ය. ගොවියන් නො වන ජනතාව ඒ වෙනුවෙන් සෑහෙන්න බදු බරට උර දෙති. එපමණක් නොව, ලංකාවට අඩු මිළට පිටරටින් ආනයනය කළ හැකි බෝග වැඩි මිළට ලංකාවෙන් ම මිළ දී ගන්නේ ද ගොවියන් වෙනුවෙනි.

ගොවියන් අපට මෙසේ කරති. බෝංචි කරල අග්ගිස්සෙන් වෑස්සෙන තරමට කෘමි නාශක ගසා නිසි කල ඉක්ම යන්නටත් පෙර කඩා අපට එවති. සුනාමි මැෂිම ආ විට වල් නාශක පාරක් ගසා ගොයම නවාගෙන කපා ගනිති. මඤ්ඤොක්කා අලය ගලවන්නට පෙර පස බුරුල් වන්නට වල් නාශක ගසති. මහජන මුදලින් දෙන පෝර ටික නාස්ති කර දමති. මේ බලු වැඩ කරන්නට ගොස් තමන් ද වස විෂ කා වකුගඩු ලෙඩ ද හදා ගනිති.

ඇතැම් ගොවිතැන් සඳහා අධික ලෙස විදේශ යෙදවුම් යොදා ගැනේ. හාන ට්‍රැක්ටරය හා එයට ගහන ඉන්ධන පමණක් නොව උදැල්ල පවා ආනයනය කරන ඒවා ය. පොහොර හා කෘෂි රසායනික ආනයනය කරන ඒවා ය. දේශීයව යොදවන්නේ හිරු එළිය, ජලය හා ශ්‍රමය පමණි.

මේ සියල්ල මැද අතිශය සාර්ථක ලෙස අපනයනයට පවා කෘෂි බෝග නිෂ්පාදනය කරන සාර්ථක ගොවි ව්‍යාපාරිකයෝ ද සිටිති. නියම ගොවීන් කියන්නේ ඔවුන් මිස ග්‍රාමීය දිළින්දන් නො වේ.

ගොවිතැන හා ගොවියා යනු සංකීර්ණ ප්‍රපංචයකි. එහෙත්, ඇතැමෙක් ගොවියා යනු අමුඩ ගසන, බුලත් විට කන, සීපද කියන හාදයෙකැයි මිථ්‍යා ප්‍රතිරූපයක් රටේ පතුරුවමින්, පහේ ශිෂ්‍යත්ව පංතියේ සිටින ළමයින් රවටමින්, තමන් ද දැන දැන රැවටී, රට ම රවටන්නට උත්සාහ කරති.

කෘෂිකර්මාන්තය ඵලදායිතාව ඉලක්ක කරගෙන විප්ලවීය ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ සඳහා සංවාදයක් ගොඩනැගිය යුතු ය. කෘෂිකර්මාන්තයේ යෙදෙන අය මෙන් ම කෘෂිකර්මාන්තය වෙනුවෙන් දෙනු ලබන බදු සහන හා වරප්‍රසාද ආදියට උර දෙන ජනතාව ද මේ සංවාදයට සහභාගි විය යුතු ය.

කෘෂිකර්මාන්තයේ ගැටලු බොහොමයක් තිබේ. එකම ගැටලුව නාස්ති කරන්නට තරම් පොහොර මහජන මුදලින් ලබා නො දීම පමණක් නො වේ. මෙතෙක් කල් මහජන මුදලින් දුන් පොහොරවලින්, මහජන මුදලින් සපයන ලද සේවාවලින් ගොවීන් රටට කර තිබෙන්නේ කුමක්දැයි ඇසීම ද කෘෂිකර්මාන්තයේ ම ගැටලුවකි.

(w3lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *