ඉන්දියාවට පත්කළ මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ කැපෙයි ! කැනඩාව , සෞදි අරාබිය පත්කළ තානාපත්වරු ප්‍රතික්ෂේප කරති

 

ඉන්දියාවේ මහ කොමසාරිස් තනතුර සඳහා ශ්‍රී ලංකාවෙන්  නම් කළ මිලින්ද මොරගොඩ මහතාට කැබිනට් මට්ටමේ පිළිගැනීමක් ලබාදීම ඉන්දියාව විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම පත්වීම නොකෙරෙන තත්ත්වයට පත්ව ඇති බවත් , කැනඩාවට පත්කළ මහ කොමසාරිස් වරයා සහ සෞදි අරාබියට පත්කළ තානාපතිවරයා පිළිගැනීම එම රටවල් විසින් ප්‍රතික්ෂේප කොට ඇති බවත්, වාර්තා වෙයි.

ඉන්දියානු මහ කොමසාරිස් ලෙස මිලින්ද මොරගොඩ මහතාගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කොට ව්‍යවස්ථා සභාවෙන් පසුගිය සැප්තැම්බර් මස අනුමත කොට තිබුණි. කෙසේ වෙතත්, ඔහු කැබිනට මට්ටමේ මහ කොමසාරිස්වරයකු ලෙස පිළිගැනීමට ඉන්දියාව කැමති වී නැත. මේ නිසා මිලින්ද මොරගොඩ මහතා එම තනතුර භාරගෙන නැති අතර ඉන්දියානු මහ කොමසාරිස් තනතුර මේ වන විට හිස් ව පවතියි. මොරගොඩ මහතා වෙනුවට වෙනත් අයෙකු පත්කිරීමට සිදුව ඇති බව කියති.

මිලින්ද මොරගොඩ මහතා ඉන්දියානු මහ කොමසාරිස් ලෙස පත්කරන ලද්දේ මේ රටේ අන්තවාදී ජාතිකවාදී බලවේගවල දැඩි විරුද්ධත්වය මධ්‍යයේ ය.

කැනඩාවට පත්කළ මහ කොමසාරිස්වරයා මෙන් ම සෞදි අරාබියට පත්කළ තානාපතිවරයා ද එම රටවල් විසින් පිළිගෙන නැත. තානාපති සේවා මුලධර්ම අනුව රටකට එසේ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ඇත. එයට කරුණු දැක්වීමක් අවශ්‍ය නැත.

කෙසේ වෙතත්, කැනඩාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ කමිටු සාමජිකයකුවීමත් , ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා පිළිබඳව ප්‍රශ්නයක් කවුන්සිලය හමුවේ පවතිද්දී ශ්‍රී ලංකාවෙන් එරටට පත්කර යවා ඇත්තේ විශ්‍රාමලත් ගුවන් හමුදා නිලධාරියකු වීමත් , කැනඩාව එම පත්වීම නොපිලිගැනීමට හේතුව යයි කියති.

සෞදි අරාබියට පත්කළ තානාපතිවරයා කලින් එරට සේවය කළ අයෙක් වන අතර දෙරට අතර ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක ඉවත් කරගනු ලැබුවෙකි. එම අතීත ප්‍රශ්නයට සම්බන්ධ වූවකු නිසා එම පත්වීම නොපිළිගැනීම සිදු වූ බව කියති.

මෙම ප්‍රශ්න කිහිපය ඇතිවුයේ ශ්‍රී ලංකාව පත්වීම් කිරීමේ දී ප්‍රමාණවත් අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීම නිසා බවට චෝදනා නැගී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *