ණය උගුල – අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුව දැවැන්ත වශයෙන් බදු වැඩි කරමින් සිටියි. මෙය අනිවාර්යයෙන් ම ජනතාව මත අධික පීඩනයක් ඇති කරන බව සහතික ය.

මහින්ද රාජපක්ෂ සැබැවින් ම ජනාධිපතිවරණයට මුහුණ දෙන්නට නියමිතව තිබුණේ මේ ආර්ථික අර්බුදය මෝදු වද්දී ය. එ් බව කල් තියා දැනගෙන ඔහු ජනාධිපතිවරණය කල් තබා පැවැත්වූයේ ය. එසේ නො වී නම්, මෙම ජනප්‍රිය නො වන ආර්ථික පියවර ගන්නට සිදු වන්නේ ඔහුට ය. ආර්ථික ඝාතකයෝ කිසිවෙක් තවමත් කිසිදු දණ්ඩනයකට ලක් වී නැත.

ණය හා දූෂණය අලුත් ම තත්වයක් නො වේ. එහෙත්, ශ්‍රී ලංකාවේ ණය බර බෙහෙවින් වැඩි වන්නට රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ දූෂණ හේතු විය. බාල ප්‍ර‍මිතියෙන් යුත් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නිදසුනකි. විශේෂයෙන් ම, අධ්‍යයනයකින් හා සැලසුමකින් තොරව කරන ලද හම්බන්තොට වරාය, ගුවන් තොටුපළ, ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා, ක්‍රීඩාංගන ආදී දැවැන්ත ඉදි කිරීම් ද මෙම තත්වයට හේතු විය.

සංවර්ධනය සඳහා රටකට ණය ගන්නට සිදු වේ. එහෙත්, ණය අරගෙන කරන ව්‍යාපෘති මගින් එම ණය ගෙවන්නට බැරි නම් සිදු වන්නේ ණය බර වැඩි වීම පමණි. හම්බන්තොට කරන ලද දැවැන්ත ව්‍යාපෘතිවලින් ණය ආපසු ගෙවන්නට ආදායම් ලැබෙන්නේ නැත.

රට පුරා මහාමාර්ග ඉදි කිරීම සඳහා ද රාජපක්ෂ රජය විශාල වශයෙන් ණය ලබා ගත්තේ ය. ඒවා ද දැන් ආපසු ගෙවිය යුතු ය.

වත්මන් ආණ්ඩුවෙන් ද දූෂණය මුළුමනින් ම නැති වී ඇතැයි සිතන්නට බැරි ය. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව තවමත් පැහැදිලි නො කළ අභිරහසකි. අලුත් ම වාර්තා අනුව කියවෙන කරුණක් වන්නේ රජයේ ගොඩනැගිලි තිබියදී කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතා පෙරේරාගේ සැමියාට මසකට රුපියල් දෙකෝටියකට වඩා ගෙවමින් ගොඩනැගිල්ලක් කුලියට ගන්නට යන බවයි.

මේවා සිදු වන හැටි කවුරුත් දනිති. නිල කුලී, ටෙන්ඩර් යටින් අත යට ගනුදෙනු හුවමාරු වේ. පසුගිය කාලය පුරා ම සිදු වූයේ එවැනි ගනුදෙනු ය.

දැන් මෙම තත්වයට විසඳුම කුමක් ද? මහින්ද රාජපක්ෂ බලයට ගැනීම ද?

මහින්ද කළේ ඉතා ජනප්‍රිය බොළඳ වැඩකි. සීමාන්තිකව ණය ගනිමින් කරන ලද සෝබනකාර වැඩවලින් ජනතාව සතුටු වී සිටිය හ. ඔහු බලයෙන් ගිලිහෙන විට එය යා හැකි උපරිමයට ගොස් තිබිණි.

ලංකාවට ණය අවශ්‍ය ය. ඒ නිසා කුමන තත්වයක් යටතේ වුව ආණ්ඩුව පැරණි ණය ගෙවයි. ණය ගෙවා ගන්නට බැරි වුණහොත් අලුතින් ණය ගන්නට ලැබෙන්නේ නැත.

මහින්ද මේ රටට කර ඇති විනාශය සවිස්තරව පැහැදිලි කළ යුතු ය.

මෙම අර්බුදයෙන් ගොඩ එන්නට ආණ්ඩුව යෝජනා කරන්නේ ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමයි. එහෙත්, පවත්නා ලෝක ආර්ථික අර්බුදය තුළ විප්ලවීය අන්දමින් ලංකාවට ආයෝජන ගලා එනු ඇතැයි අපේක්ෂා කළ නො හැකි ය. මේ වන විට තේ, රබර් වැනි අපනයන ආදායම් ද පහළ වැටී තිබේ. රජයට තව දුරටත් යැපෙන්නට සිදු වන්නේ විදේශ රැකියා, සංචාරක කර්මාන්තය වැනි විදේශ විනිමය ආදායම් මාර්ග මත ම ය. ආනයන පාලනය කිරීම ද සලකා බලන්නට සිදු විය හැකි තත්වයකි.

මෙම ආර්ථික තත්වය ජනතාවගෙන් සඟවා විසඳුම් දෙන්නට හැකි එකක් නො වේ. එය විවෘතව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කළ යුතු ය. සියලු විස්තර ඉදිරිපත් කළ යුතු ය. එසේම, විකල්ප යෝජනා ඉදිරිපත් කරන්නට ද විරුද්ධ පක්ෂවලට අවස්ථාව ලබා දිය යුතු ය.

මෙයත් සඳහන් කළ යුතු ය. අප සාමාන්‍යයෙන් හුරු වී තිබෙන්නේ දූෂණය ගැන දේශපාලනඥයන්ට බනින්නට ය. ඊට පෙරාතුව මෙයත් මතක් කළ යුතු ය. රාජපක්ෂ යුගය යනු දූෂණය බිම් මට්ටම දක්වා ම විමධ්‍යගත කළ අවදියකි. දේශපාලනයේ ඉහළ සිට ප්‍රාදේශීය සභා මට්ටම දක්වා ද, නිකම් සිට පඩි කෑ උපාධිධාරීන්, සහනාධාර මත ලබා දුන් පොහොර නාස්ති කළ ගොවීන් ආදී බොහෝ දෙනා මේ දූෂණවලට සම්බන්ධ ය.

ඒ නිසා විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට ද මේ සියලු දෙනා සම්බන්ධ විය යුතු ය.

(අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka බ්ලොග් අඩවියෙනි )

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *