පව් අනේ චම්පික! එයා ගැන කතා කරන්න කවුරුවත් නැහැ – අජිත් පැරකුම් ජයසිංහ

Champika2003දී අපි හිරු කණ්ඩායමේ මූලිකත්වයෙන් සිහල දමිල කලා හමුව සංවිධානය කළෙමු. එය වනාහි උතුරේ, නැගෙනහිර, කඳුරට හා දකුණේ සිංහල හා දෙමළ භාෂා පදනම් කර ගත් කලාකරුවන්ගේ කතිකාවක් වූ අතර අපගේ අරමුණ වුණේ කලාකරුවන් අතර සාම දේශපාලනය ඉදිරියට ගෙන යාමයි.

එයට කොටි සංවිධානයට හිතවත් කොටස් ද සහභාගි වූ හ. එහෙත්, එය අපගේ දේශපාලන වැඩසටහනෙහි කොටසක් මිස ඔවුන්ගේ දෙයක් වූයේ නැත.

මෙම වකවානුවේදී කොටි සංවිධානය විසින් පොංගු තමිල් නම් ප්‍රචාරාත්මක සංදර්ශනයක් පවත්වන ලද අතර සිහල දමිල කලා හමුව කිසිදු ආකාරයකින් එයට සමාන වූයේ නැත.

එහෙත්, චම්පික රණවක එදා මෙම වැඩසටහනට එරෙහිව සිය දඩබල්ලන් ලිහා දැමුවේ ය. දිවයින පුවත්පත, ජවිපෙ ලංකා පුවත්පත වැනි මාධ්‍ය භාවිතා කරමින් චම්පික මෙම වැඩසටහනට එරෙහිව දරුණු ජාතිවාදයක් මුදා හළ අතර අවසානයේදී එයට පහර දීමට නිශාන්ත ශ්‍රී වර්ණසිංහගේ මූලිකත්වයෙන් මැරවර පිරිසක් ද එව්වේ ය. දෙවන දිනයේ චම්පික හා තිලක් කරුණාරත්න ම ප්‍රහාරක බලකාය මෙහෙයවූ මුත් අතරමගදී පොලිසිය එය නතර කළේ ය.

ඇත්තම කියනවා නම්, ඔවුහු එම වැඩසටහන අසාරථක කළ හ. ආරම්භයේදී ම ඔවුන් එල්ල කළ ප්‍රහාරයෙන් පසු අප එය කළේ ප්‍රතිරෝධාත්මකව පමණි. අපේ ආරාධනාවෙන් පැමිණි කලාකරුවන්ගේ ජීවිත රැක දෙන්නේ කෙසේ ද යන උභතෝකෝටිකයෙන් අපි පීඩාවට පත් වුණෙමු. එහි අරමුණ වූ කලා හා දේශපාලන කතිකාව සාර්ථක වූයේ නැත. සිංහල, දෙමළ සංස්කෘතික සමාජයන් අතර ගොඩනැගෙන්නට තිබුණු සම්බන්ධය වෙනුවට අවසානයේදී සිදු වූයේ කොටි සංවිධානයේ මතය වූ සිංහලයන් සමග කිසිවක් කළ නො හැකි ය යන මතය ම දෙමළ කලාකරුවන් අතර යළි ස්ථාපිත වීමයි.

සිහල දමිල කලා හමුව පිළිබඳ අප පැවැත්වූ මෙම පුවත්පත් සාකච්ඡාවේ මේ හා සමාන ඡායාරූපයක් දිවයින පුවත්පත සිය මුල් පිටුවේ පළ කළේ පොංගු තමිල් සංවිධායකයන් ලෙස අප නම් කරමිනි. පුවත්පත් පැමිණිලි කොමිෂම විසින් විසඳන ලද පළමු පැමිණිල්ල වුණේ හිරු කණ්ඩායම විසින් මෙම සිද්ධිය හා සම්බන්ධව දිවයින පුවත්පතට එරෙහිව කරන ලද පැමිණිල්ලයි. දිවයින අපෙන් සමාව ගත්තේ ය.  ඡායාරූපයේ වමේ සිට ධර්මසිරි බණ්ඩාරනායක, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය කාර්තිගේසු සිවතම්බි, අජිත් පැරකුම් ජයසිංහ, රෝහිත භාෂණ

මේ පරණ කතාව මතක් වුණේ අද චම්පිකට සිදු වී තිබෙන වින්නැහිය දකින විට ය. චම්පික දැන් ජාතිවාදී උමතුව නමැති වතුරෙන් ගොඩ දාන ලද අසරණ මාළු පැටියෙකි.

චම්පික මහ රෑ තනිව වාහනය පැදෙව්වා ද නැද්ද යන්න අපි නො දනිමු. එම වාහනයේ ගැටුණු මෝටර් සයිකලය පැදවූ අය රේස් ගියා ද නැද්ද යන්නත් අපි නො දනිමු.

එහෙත්, අනතුර එතරම් බරපතල එකක් නො වේ. චම්පික හෝ ඔහුගේ රියදුරු හෝ කටයුතු කර ඇති ආකාරය ද නීති විරෝධී නැත. දැන් මෙම අනතුර පිළිබඳ ඇසින් දුටු සාක්ෂි ඉදිරිපත් කරන අය ම තමන් එම වාහනය පැදවූ අයට පහර දෙන්නට ගිය බව කියති. ඔවුන්ට එසේ පහර දෙන්නට ඇති බලය කුමක් ද? වාහන අනතුරක් සිදු වූ විට කට්ටිය සමග එක් වී රියදුරුට තඩි බාන මෙවැනි පුහු වීරයෝ ඕනෑ තරම් ලංකාවේ සිටිති. උමතුවකින් පෙළෙන්නකු නො වන සාමාන්‍ය මිනිහෙක් සිතා මතා රිය අනතුරක් ඇති කරන්නේ නැත. අනතුරක් සිදු වූ විට අනතුරට භාජනය වූ පුද්ගලයා මෙන් ම අනතුර සිදු කළ පුද්ගලයා ද කම්පනයට පත් වෙයි.

මෙතැන තිබෙන චෝදනාව වන්නේ චම්පික රිය පදවා අනතුරක් සිදු කර පසුව රියදුරා එයට ඉදිරිපත් කළ බවයි. එනම්, ප්‍රෝඩාවක් කළ බවයි. ඇමතිවරයකු එහෙම කළා නම් එය නීති කඩ කිරීමකට අමතරව මහජන විශ්වාසය කඩකිරීමක් ද වේ.

මහෞෂධ පණ්ඩිතයන් හෝ අසඩක් වැනි කෙනෙකු හෝ වෙත මෙම ප්‍රශ්නය ගෙන ගියා නම් ඇතැම් විට චම්පිකට මෙම වාහනය දී එය ඔහුට පදවන්නට පුළුවන් ද යන්න පරීක්ෂා කරන්නට ඉඩ තිබේ. මන්ද, මෙවැනි අයින්ස්ටයින්ලා ප්‍රායෝගික වැඩවලදී දුර්වල නරපණුවෝ ය.

දැන් මේ සාමාන්‍ය රිය අනතුර ලොකු දේශපාලන ප්‍රශ්නයක් වී හෝ කරගෙන හෝ තිබේ. චම්පික නිසා ඕනැ දෙයක් වෙච්චාවේ කියා මෙතෙක් බලා සිටියත් මේ සිදු වන කලබැගෑනියේ දේශපාලන වැදගත්කමක් ඇති බව වැටහුණ නිසා අපි ඒ ගැන කතා කරන්නට අදහස් කළෙමු.

මේ රිය අනතුරට සම්බන්ධ චම්පික ද, රියදුරා ද යන්න සෙවීමේ වැදගත්කම අවධාරණය කරන දේශපාලනය එක්නැලිගොඩ මැරූ අය කවුරුද කියා සොයනවාට විරුද්ධ ය. භාර වූ දෙමළ කැරැලිකරුවන් යයි සැක කළ තරුණයන් දහස් ගණනකට සිදු වුණේ මොකක්දැයි සොයනවාට විරුද්ධ ය. පසුගිය කාලයේ නඩු නොමැතිව මරා දමන ලද විවිධ තරාතිරම්වල මිනිසුන් ගැන සොයන්න හිතනවාටවත් කැමති නැත. නිදසුනක් ලෙස පසුගිය කාලයේ ආයුධ පෙන්නන්නට ගිය අපරාධකරුවන් යයි කියා මිනිසුන් මරා දැමූ හා ඒ ඝාතන සාධාරණීකරණය කළ අය ගැන සොයමු ය කිව්වොත් මේ අය මොනවා කියනු ඇද්ද?

පළමුකොට ම, මේ නගන චෝදනාව ඇත්ත නම්, දැන් ජ්‍යේෂ්ඨ ඇමතිවරු ද මහ රෑ තනිව වාහන පදවාගෙන පාරේ යති. එති. සුපර් මාකට්වලින් බඩු ගනිති. බොහෝ දුරට සාමාන්‍ය මිනිස්සු ලෙස කටයුතු කරති. 2015 ජනවාරි 08ට පෙර ඇමතිවරු පාරේ ගිය හැටි මතක් කර ගන්න.

අනෙක් පැත්තෙන් දැන් මෝටර් සයිකල් ගැන්සිවල හුජ්ජ කොල්ලන්ටත් දැන් බය නැතිව ඇමතිවරුන්ට චැලෙන්ජ් කරන්නට පුළුවන්කම තිබේ. 2015 ජනවාරි 08ට පෙර මෙම ඇමතිවරයාට ම මෙහෙම චැලෙන්ජ් කළා නම් මුන්ට ගෝඨාගේ පිහිට ය.

අනෙක් කාරණය තමන් මුළු ලෝකය ම හොල්ලාගෙන ඉන්නවා යි චම්පිකලා හිතාගෙන හිටියාට අලුත් පරම්පරාවේ කොල්ලෝ චම්පික කියන්නේ මොකෙක්ද කියාවත් දන්නේ නැත.

චම්පික ඔබේ මෙගාපොලිසිය හැදෙමින් තිබේ.

හසන්ත මහත්තයෝ ආශ්චර්යය කියන්නේ ඔන්න ඕක ය. සූරියෝ උඹ නැතුව පාළු ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *