ජාත්‍යන්තර ගිවිසුම් හදන්නේ කෙසේ ද ?.- මහාචාර්ය රොහාන් සමරජීව

rohan samarajivaමෙම කොටස සරළ උදාහරණයක් වන භාණ්ඩ වෙළදාමෙන් පටන් ගත හැක. භාණ්ඩ වෙළඳාම යනු රටවල් දෙකක් වන ඒ නමැති රටේ භාණ්ඩ බී නැමති රටට යවනවා යැයි සිතමු. බී නමැති රට එ ම භාණ්ඩය ලබාගත් පසු ඒ නමැති රටට අදාළ ගෙවීම කරනු ලැබේ. ඒ ගණුදෙනුව එපමණකි. ඒ මුදල් දෙන්නේ මොන වෙලාවේ ද? මොන ආකාරයට ද යන්න වෙනම කාරණයකි. මේවා යවන විට යවන්නේ වරායක් නැතිනම් ගුවන් තොටුපලක් හරහා ය. එම භාණ්ඩ තොගය ලබාගන්නේ ද වරායක් හෝ ගුවන් තොටුපලක් හරහා ය. මේක දෙස බලාසිටින ආණ්ඩුව තමන්ගේ වියදම් පියවා ගැනිමට බදු ලෙස මුදලක් අයකරගනී. සමහරවිට ආනයනයන්ගෙන් පමණක් නොව අපනයනයන්ගෙන් ද මෙලෙස බදු අයකර ගන්නා බව අපි දනිමු. තීරු බදු අයකරනවා යැයි පවසන්නේ මෙසේ කරන අයකිරීමට ය. ආණ්ඩුවේ අයවැය පියවා ගැනීම සඳහා ආණ්ඩුව ඉස්සර හිතුමනාපයට තීරු බදු අයකළේ ය. තීරුබදු මේ ආකාරයට අපනයනයන්ට අයකළ විට ලෝක වෙළඳපොලේ එම භාණ්ඩවලට තරගකාරිත්වයක් නැති වී එම භාණ්ඩ විකුණාගන්නට නොහැකි වේ. මේ තතු යටතේ සහ ආර්ථික විද්‍යාවේ දියුණුවත් සමග මේ ඉහළ තීරුබදු වලින් කාටවත් හොඳක් නොවන බව ඒ අය තේරුම් ගත් හ. ඒ නිසා ආදායම් පියවා ගැනීමට වෙත් ක්‍රම හඳුන්වා දෙන්නට විය. එහි දී තීරු බදු ක්‍රමයෙන් අඩුකර දියුණු රටවල් 05%ක වැනි කුඩා ගණනකට එය අඩුකර තිබේ. භාණ්ඩ වෙළඳාම පිළිබඳ ගිවිසුම් වල වැඩියෙන්ම කෙරෙන්නේ මේන්න මේ කාර්යය වේ.

2015 පමණ වෙනවිට මෙම තීරු බදු සෑහෙන්නට අඩුවී ඇත. දැන් ලංකාවේ පසුගිය කාලයේ අපේ ආණ්ඩුව පැරා ටෙරිෆ් යනුවෙන් බදු ක්‍රමයක් ඇති කළේ ය. දේශිය නිෂ්පාදන වෙළඳ පොළට පැමිණෙන විට අල සහ ළුෑණුවලට ගහන බද්ධ එවැනිනකි. අස්වැන්න එනවිට ගහන එම බද්ද විචල්‍ය බද්දක් වේ. ආදායම් පියවා ගැනීමට 100%ක් ගසන කාර් බද්ද වැනි දේ ඇරෙන්නට අනිකුත් තීරුබදු අඩුකර තිබේ. ඊ ළගට මේ දේ කරගෙන යනවිට ඒත් මිනිසුන්ට නොයෙකුත් බාධක ඇත. ඒවාට බදු නොවන බාධක යනුවෙන් හැඳින්වෙන තව බාධක සමූහයක් ඇත. ඒකට හොඳම උදාහරණ ගැන මීට පෙරත් සාකච්ඡාකර තිබේ. හොඳම උදාහරණය තමයි ආහාර සඳහා වන නීති රීති. පිට රටින් ගෙනෙන කෘෂි හා ආහාර ද්‍රව්‍යය සඳහා යම්කිසි ප්‍රමිතියක් පවත්වාගෙන යනු ලැබේ. එය මිනිස් ජීවිත වලට යහපත් දෙයකි. 2000 සිට ඉන්දු ලංකා ගිවිසුම යටතේ අපි සොසේජස් ඉන්දියාවට යැවීමට පටන් ගත්තෙමු. සොසේජ් බහාලුම ඉන්දියාවේ චෙන්නායි වරායට යැව් පසු ඒ අය ප්‍රමිති සහතිකය ඉල්ලුවේ ය. එවිට අපේ රටේ ප්‍රමිති සහතියකය එම අපනයන සමාගම විසින් ඉදිරිපත් කෙරින. එවිට ඉන්දියානු බලධාරින් ලංකාවේ ප්‍රමිති සහතිකට ප්‍රතික්ෂේපකර ඉනිදියාවේ ප්‍රමිති සහතිකය ඉල්ලා සිටියේ ය. ඒ සහතිකය ගන්නට සොසේජස් සාම්පලයක් රැගෙන චෙන්නායිවල සිට සැතපුම් 300ක පමණ දුරක් ගෙවා කාම්පූර්වලට යන්නට සිදුවිය. එතනට ගොස් එතන නිළධාරින්ට යාප්පු වී ඒ සහතිකය ගෙන ආපසු එනවිට සොසේජස්වල ගන්නට දෙයක් නැත. තීරු බදු නොවන බාධක ලෙස හැඳින්වෙන්නේ මෙවැනි බාධකයන්ට ය.

මේකට විසඳුමක් ලෙස අපේ වෙරිටේ කියන ආයතනය මැදිහත් වී විසඳුම් සොයාගෙන අපනයනකරුවන්ගේ සංගම් සමග එකතු වී ආර්ථික හා තාක්ෂණික ගිවිසුම් රාමුවක් සකස් කළේ ය. දැනට මේ සඳහා තිබෙන එකම නිල ලියවිල්ල වන්නේ එයයි. ඒක මගින් රටවල් දෙකේ එක් පරියේෂණ ආයතනයක් පරික්ෂාකර බලා නිකුත්කරන සහතිකය එකිනෙකා පිළිගන්නා බව එහි සඳහන් ය. එවිට ලංකාවේ සහතිකය ඉන්දියාව පිළිගන්නා අතර ඉන්දියාවේ සහතිකය ලංකාව පිළිගනි. තත්ත්ව සහතිකය ගැනීමේ දී අර ඇතිවන රස්තියාදුව දැන් නැත. භාණ්ඩ වෙළඳාමේ දී ඇතිවන බදු නොවන බාධකය යම් පමණකට අඩු කරගත්තේ ඒ ආකාරයට ය. භාණ්ඩ වෙළඳාමේ දී අද ඔයවගේ තමයි ගිවිසුම්ගත වන්නේ.

ඊ ළගට සේවා වෙළඳාම පැමිණේ. අපේ ආර්ථිකයේ වැඩි හරියක් පවතින්නේ සේවාවන් ය. ලංකාවේ පමණක් නොව ඕනෑම රටක වර්ධනය වන අංශය සේවා අංශය වේ. සේවා අංශය වර්ධනය වන්නට, වර්ධනය වන්නට, සේවා අපනයන කිරීමේ තාක්ෂණික හැකියාවත් දැන් අපිට ලැබී ඇත. ඉස්සර බැරි දේවල් දැන් කළහැක. ඉස්සර දුරකථන සේවා මිල අධික පමණක් නොව ඉතාමත්ම දුර්ලභ ය. ඒ වෙනුවට දැන් ඕනෑම කාර්යාලයක මහජනයාට මුහුණදෙන කොටස තමන්ගේ රටේම තබාගෙන පටුපස කොටස වෙත් රටක පිහිටුවිය හැක. එසේ කර සේවයේ ගුණාත්මක බව අඩු නොවී අර තාක්ෂණය මගින් සම්බන්ධකර පවත්වාගෙන යා හැක. මෙහෙ කාර්යාලයට පාරිභොගිකයෙකු පැමිණ ප්‍රශ්නයක් ඇසුවොත්, උත්තරය දැනගන්නට ඕනේ පිටිපස්සේ ඉන්න අය නම් අපි ඒ අයගෙන් එවෙලේම අසනු ලැබේ. ඒ අයගෙන් උත්තර ලබාගත හැකි නමුත් ඒ අය ඉන්නේ වෙනත් රටක ය. එසේ කර තිබෙන්නේ ඒ රටේ අය ඒ වැඩය කරන්නට සූදානම් මෙන්ම ඒ රටේ වියදම් අඩු නිසාය. එවිට එය සේවා අපනයනයක් බව අප තේරුම්ගත යුතු ය. ඒකයි ඔය මැදපෙරදිගට ගොස් එකවුන්ටන්ට් වැඩකරන එකයි අතර වෙනසක් නැත. එසේ වැඩකරන අය එයාගේ ගෙවල් දොරවල් දාලා, තමන්ගේ දරුපවුල් වලින් ඈත් වී එහේ ගොස් තාවකාලිකව පදිංචිවේ. නමුත් මේ ක්‍රමවේදයේ දී තමන්ගේ දරුපවුල් සමග මෙහේ සිට එම සේවයම කරති. මේක නව තාක්ෂණය තුළින් ඇතිවූ වෙනසකි. දැන් මේ ක්‍රමයට ඇත්ත වශයෙන්ම සේවා අපනයන කටයුත්තක් සිදුවේ. අර මිනිසා මැදපෙරදිග ගොස් සේවාව නිමවා එනවිට ඒ මිනිසාගෙන් තීරුබදු අය නොකරන බව ඉතා පැහැදිළි ය. මේ නිසා සේවා ආර්ථිකයක් තුළ තීරුබදු ක්‍රමයක් නැත. එවිට අපිට තිබෙන්නේ අර තීරුබදු නොවන බාධකයන් ය. ඒ අනුව මේක වෙනත්ම ස්වරූපය කි.

එතකොට ඔය බදුනොවන බාධකවලට අත තියනවිට ම තමන්ගේ ආර්ථිකයට ඇගිලි ගැසීමේ ස්වරුපයක් පැමිණේ. භාණ්ඩ වෙළදාමේ දී තීරු බදු ප්‍රශ්නය වරායේ දී අවසන් වූවත් මෙතන එහෙම නොවේ. විශේෂයෙන්ම අර ප්‍රමිති පරික්ෂාවේ දී වගේ අවස්ථා වල දී ඒ සඳහා ගතවන කාලය රටවල් දෙකටම සමාන වියයුතු වේ. ඒ බව අර ගිවිසුමට ඇතුලත් වනු ඇත. අතන දී අපිට තවත් දෙයක් කිව හැක. එනම් ඉන්දියානු නියැදියකට දෙන තීන්දුවට පැය 6ක් යන්නේ නම් ලංකාවේ නියැදියට දෙන තීන්දුව පැය 6කට වැඩි නොවිය යුතු ය. ඒ වගේ කොන්දේසි දැමිය හැක. ඔය ජාත්‍යන්තර වෙළඳ නීතියේ ප්‍රධානම දේ වන්නේ එ වැනි දේ ය. තමන්ගේ රටේ නිෂ්පාදකයාට මෙන්ම විදේශිය නිෂ්පාදකයාට එකසේ සැළකීම එහි ප්‍රධානම දේ වන්නේ ය. ඔය තත්ත්වය යටතේ මේ ගිවිසුම් අත්සන් කරන්නේ. මේ ගිවිසුම් හදන්නේ විප්ලවවාදීන් නොව යථාර්තවාදි ආණ්ඩුවේ නිළධාරින් වේ. මේක මහ සංකීර්ණ වැඩක් බව ඒ අය මෙහිදී පෙන්වා දුන් හ. විශේෂයෙන්ම සේවා ගිවිසුම් අත්සන්කරන විට මේ ආකාරයට අත්සන් කිරීම යහපත් යැයි ඔවූහු යෝජනා කළ හ. භාණ්ඩ ගිවිසුම්වල අපේ තිබෙන්නේ සෘණ ලැයිස්තු ක්‍රමයට ය. සෘණ ලැයිස්තු ක්‍රමය කියන්නේ අපි ගිවිසුම මූලිකව අත්සන් කරනවා එකග වූ මූලික කොන්දේසිවලට අනුව සියලුම ක්ෂේත්‍රවලට බලපාන ආකාරයට. එවිට කවුරු හරි අනේ අපි ඊ ළග සැරේ ඡන්දය පරදියි, ජනයා කළබල වෙයි යනාදි වශයෙන් මැසවිලි නැගීමට පුළුවන. එවිට එහෙනම් සෘණ ලැයිස්තුවක් දෙන ලෙස ඒ අයට යෝජනා කළ හැක. එවිට ඒ සෘණ ලැයිස්තුවෙ යම් යම් ක්ෂේත්‍ර ඉවත්කරගත හැක. එවිට ඉවත් කර නොගත් සියල්ලම ඒ ගිවිසුමට ඇතුලත් වේ. ධන ලැයිස්තුව කියන්නේ එයට වඩා හාත්පසින්ම වෙනස් ලැයිස්තුවකට ය. ඒක ඉතාම ගතානුගතික ක්‍රමය කි. ඒකෙන් කියන්නේ අපි යම් කිසි ක්ෂේත්‍රයක් නම් කර ඉදිරිපත් නොකළොත් ඒක ඇතුලත් වන්නේ නැත. අපි නම් කරන දේ පමනයි ගිවිසුමෙන් බැදෙන්නේ. එහෙම උනාම කුමක් හෝ අතපසුවීමකින් හෝ ක්ෂේත්‍රයක් දාගන්නට නොහැකි වූවහොත් කලින් ආකාරයටම ගිවිසුමෙන් පිට පවත්වාගෙන යෑමට සිදුවේ.

අපිට වැඩියෙන්ම තිබෙන්නේ ඉන්දියන් වාහන බව අපි දනිමු. ඒවා එකක්වත් වෙළඳ ගිවිසුමෙන් ආවරණය වී නැත. ඒවා තිබෙන්නේ සෘණ ලැයිස්තුවේ ය. ලංකාවේ ආණ්ඩුව ඒක සෘණ ලැයිස්තුවට දැම්මේ ය. එසේ දැම්මේ බදු අයකර ගන්නට ඇති නිදහස ආරක්ෂාකර ගැනීම සඳහා ය. අපි ඒවා ගිවිසුම ඇතුළට දමන්නේ නැත. මක්නිසා ද යත් බදු ගන්නට ඕනේ නිසා ය. ඉන්ධනත් තියෙන්නේ ගිවිසුමෙන් පිට ය. එවිට ධන ලැයිස්තුවට දාන්නේ කුමක් ද යන්න අපෙන් අසති. ජාත්‍යන්තර වෙළඳ සංවිධානය සමගයි ලංකාව සේවා ගිවිසුමක් ප්‍රථමයෙන් අත්සන් කළේ. ඒක අත්සන් කරනවිට අපි ක්ෂේත්‍ර 3ක් ඉදිරිපත් කළේ ය. සංචාරක ක්ෂේත්‍රය, විදුලි සංදේශ ක්ෂේත්‍රය හා මුල්‍යමය සේවා ක්ෂේත්‍රය යන ක්ෂේත්‍ර 3 ඒ ගිවිසුමට ඇතුලත් වේ. ඒ තුනට පමණයි ලෝක වෙළඳ ආයතනයේ සේවා විධාවිධාන බලපාන්නේ. වෙන එකකටවත් බලපාන්නේ නැත. ධන ලැයිස්තුව වැඩ කරන්නේ ඒ ආකාරයට ය. එවිට අපි කියනවා මේ වෙළඳාම මාදිළි 4කින් කළහැකි බව. මේ මාදිළි හැම එකකටම අපි බැදෙනවා ද නැති ද යන්න මෙහිදි ප්‍රකාශ වේ. උදාහරණයක් ලෙස විදුලි සංදේශ ක්ෂේත්‍රයේ තුන් වැනි මාදිළිය එනම් ආයෝජන හා සම්බන්ධ මාදිළියට අපි බැඳෙන බව සඳහන් වේ. ඒ ආකාරයට තමයි ඒ ගිවිසුමට අපි බැඳී ඇත්තේ. හතරවෙනි මාදිළිය හෙවත් ස්වාභාවික මිනිසුන් පිළිබඳ මාදිළියට අපි බැඳි නැත. ඒක ඇතුලත් නොකරන බව අපි පවසා ඇත. ඒ අනුව ඒ ගිවිසුම යටතේ ස්වාභාවික පුද්ගලයින් ගෙනෙන්නට නොහැකි ය. නමුත් ගිවිසුමට ඇතුලත් කළ හෙයින් නෛතික පුද්ගලයින්ට නැත්නම් ආයෝජකයින්ගේ පැමිනීමට අදාල වේ. සංචාරක කර්මාන්තයට අදාලවත් තුන්වැනි මාදිළිය පුළුවන් බව අපි ලියා ඇත. මේ අනුව අපිට පේනවා අපි අකැමැති නම් යම් ක්ෂේත්‍ර ගිවිසුමට නොදා ඉන්නට පුළුවන් වගේ ම ක්ෂේත්‍ර ඇතුල් කර මාදිළි නොදා ඉන්නට ද පුළුවන. දැන් අපේ ආණ්ඩුව කියනවා අපි 4වෙනි මාදිලිය හෙවත් මිනිසුන් ගෙන්වන එක නොකරකන බව. සීපා ගිවිසුමේ 4වෙනි මාදිළිය තිබුණු නමුත් එට්කා එකේ 4වෙනි මාදිළිය නැතිබව ආණ්ඩුව පවසා තිබේ. ඒක කරන්නට ක්‍රමවේදයක් තිබේ. අනික් පැත්තේ කට්ටිය කියන කථාව ඊ ළග කොටසින් කථා කරමු.

සාකච්චා සටහන මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *