බත්තරමුල්ලේ මහින්දගේ කාර්යාලය ඒකාබද්ද විපක්ෂය වර්ජනය කරලා – “සත්හඩ” වාර්තා කරයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා නව පක්ෂයක් බිහි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් විසින් දැරූ තැත මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යර්ත කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇති බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ දී මෙම දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර වූ සාකච්ඡුාව වූයේ බැසිල් රාජපක්ෂ මහතාට හා නාමල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ ඉහළ තනතුරු දෙකක් ලබා දී මෙම ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමය. එහෙත් එම යෝජනාව ජනාධිපතිවරයා විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එමෙන්ම පසුගිය දා පැවැති ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මහින්දවාදීන් ලෙස පෙනී සිටි කණ්ඩායමේ බහුතරයක් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවට ජනාධිපතිවරයාට සහතික වී ඇත.

මේ අනුව රාජපක්ෂවරු ශ‍්‍රීලනිපය බිඳවීම වෙනුවෙන් ගෙන ගිය මෛත‍්‍රී විරෝධය මුළුමනින්ම අඩපණ වී තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර ද ශ‍්‍රීලනිපය දෙකඩ කර වෙනම පක්ෂයක් ගොඩනැගීමට ගන්නා උත්සාහයට එරෙහිව සිටී. එය බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එජාපයේ නායකයා හා එක්ව කරන කුමන්ත‍්‍රණයක් බවට ද ඔවුන් චෝදනා කර ඇති බව වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය ලෙස පසුගිය දා බත්තරමුල්ලේ නෙළුම් මාවතේ විවෘත කරනු ලැබූ කාර්යාලය ඒකාබද්ධ විපක්ෂය වර්ජනය කර තිබේ. මෙම කාර්යාලය සඳහා මාසිකව ලක්ෂ තුනක නඩත්තු වියදමක් බැසිල් රාජපක්ෂ මහතා දරන අතර එම කාර්යාලය පරිපාලනය කරන්නේ ආචාර්ය රංජිත් බණ්ඩාර, විලී ගමගේ, අනිල් කොස්වත්ත, රේණුක පෙරේරා, චරිත හේරත්, ලක්ෂ්මන් හුළුගල්ල යන බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයන් විසිනි. ඊට අමතරව මේ කාර්යාලයට පැමිණෙන්නේ එජාපයෙන් වෙන් වුණු දිනේෂ් දොඩංගොඩ මහතා පමණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ද මේ වන විට ශ‍්‍රීලනිපය රැකගත යුතු බවට කරන ප‍්‍රකාශ හරහා තම පරාජය භාරගෙන ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

සුභාෂ් ජයවර්ධන

( සත්හඩ පුවත්පතේ වාර්තාවකි )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *