ඇමෙරිකානු සෙනෙට් සභාවට එරෙහිව ට්‍රම්ප් මෙහෙයවූ කැරැල්ලෙන් හතරක් මරුට ; ට්‍රම්ප් වහාම බලයෙන් නෙරපන්න සාකච්ඡා

ඇමෙරිකාවේ මීළඟ ජනාධිපතිවරයා නිල වශයෙන් නම් කිරීම සඳහා එරට සෙනෙට් සභාවේ සහ කොන්ග්‍රස් මණ්ඩලයේ ඒකාබද්ධ රැස්වීම පැවති කැපිටල් හිල් ගොඩනැගිල්ල වටලා එය අත්පත් කර ගැනීමට ජනාධිපති ට්‍රම්පට හිතවාදී පිරිස් මෙහෙය වූ කැරැල්ලෙන් මේ වනවිට හතර දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

මෙම මරණ සිදුවුයේ සෙනෙට් සභා ගොඩනැගිල්ල මුදාගැනීමට පොලිසිය සහ ආරක්ෂක අංශ කළ මෙහෙයුමේ දී ය.

සෙනෙට් සභා ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරීන් ඇතුළු වීම නිසා එහි සිටි උප ජනාධිපති මයික් පෙන්ස් ඇතුළු සෙනෙට් සභිකයින් ඉවත් කර ගැනීමට පොලිසිය ක්‍රියා කළේ  ය. පැයකට අධික කාලයක් එම ගොඩනැගිල්ල කැරලිකරුවන් යටතේ පැවතී අතර සෙනෙට් සභාවේ සභාපති  ධුරය දරන උප ජනාධිපතිගේ ආසනයේ කැරලිකරුවකු වාදී වී සිටින දර්ශන මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලැබීය.

පසුව පොලීසිය මැදිහත් වී කැරලිකරුවන් ඉවත් කිරීමට යාමේ දී පොලිස් වෙඩි පහරින් සිව් දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා ඇත.

සෙනෙට් සභාව රැස් වී සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ සභාපතිත්වයෙනි. පගුගිය ජනාධිපතිවරණයේ දී ද ට්‍රම්ප්ගේ උප ජනාධිපති තනතුරට තරග කොට පරාජයට පත් වූ ඔහුට උප ජනාධිපති ලෙස සෙනෙට් සභාවට නායකත්වය දෙමින් ඡන්ද ප්‍රතිඵල නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ වගකීම පැවරී  ඇත.

ජනාධිපති ට්‍රම්ප් මයික් පෙන්ස්ට බලපෑම් කරමින් කිවේ ඡන්ද ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කිරීමේ බලය ඔහුට ඇති බවයි.

කෙසේ වෙතත්, මයික් පෙන්ස් සෙනෙට් සභාවට ලිඛිතව කීවේ තමන්ට ව්‍යවස්ථානුකුලව පැවරී ඇත්තේ ඉලෙක්ටෝරල් කොලීජියේ ඡන්ද නිල වශයෙන් ගණන් කොට ප්‍රකාශයට පත්කිරීම බව යි. ඒ සඳහා ව්‍යවස්ථාවෙන් නියම කොට ඇති විධිවිධාන අනුව කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේ ය.

ට්‍රම්ප්ගේ අනුගාමිකයින් සෙනෙට් සභාවට කඩා වැදුනේ එම ක්‍රියාවලිය පවතින අතරවාරයේ දී ය. ඒ සඳහා ඊයේ උදේ ඔවුන් අගනුවරට කැඳවුනු ලැබුවේ  ට්‍රම්ප් විසින් ම ය.

කෙසේ වෙතත්, කැරලිකරුවන් පලවා හැරීමෙන් පසු යලි රැස් වූ සෙනෙට් සභාව ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලිය යලි ආරම්භ කළේ ය.

උප ජනාධිපති මයික් පෙන්ස් එහි දී කිවේ මෙය ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මාරු පහරක් බව යි. එය දැඩි ලෙස හෙළා දකින බව ඔහු පැවසීය.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභාවේ බහුතරයේ නායක මිච් මකානෙල් ප්‍රකාශ කළේ මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව යි. එම පක්ෂයේ තවත් බොහෝ දෙනෙක් ට්‍රම්ප්ගේ ක්‍රියාව විවේචනය කරමින් කතා කළේ ය.

ට්‍රම්පට පක්ෂව ඊයේ වනවිට සිටි සෙනෙට් සභික සංඛ්‍යාව 13 කි. මේ වනවිට එය 6 දක්වා අඩු වී ඇති බව වාර්තා වෙයි.

ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභිකයින් 45 ක් ඇතුළු සෙනෙට් සභිකයින් 93 දෙනකු ඔහුට විරුද්ධ වී සිටිති.

මේ අතර ඇමෙරිකාහු ජන මාධ්‍ය වාර්තා කළේ මෙම තත්ත්වය යටතේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයෙන් වහා ම ඉවත්කොට ජනවාරි 20 දින ජෝ බයිඩන් ජනාධිපති ලෙස වැඩ භාරගන්නා  තෙක් එම තනතුරේ වැඩ බැලීමට උප ජනාධිපති මයික් පෙන්ස් පත් කළ යුතු බවට යෝජනාවක් ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වී ඇති බව යි.

සේනාධිනායක ලෙස ට්‍රම්ප් තව දුරටත් කටයුතු කිරීම අනතුරුදායක බවට වන පිළිගැනීම මෙම යෝජනාවේ පදනම වී තිබේ . එයට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඇති බව ද කියති.

කෙසේ වෙතත්, එම යෝජනාවට  තවමත් උප ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වී නැති බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *