කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර,ජනාධිපති කොමිසමක් පත් කර විමර්ශනයක් කරන්න – මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය

විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන සැළසුම් මොනවාද? යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රමාද කර ඇතිදැයි සොයා බැලීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් 2020.12.28 දින ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය. එම ඉල්ලීම සමග පහත සඳහන් කරුණු ද ජනාධිපති තුමන් වෙත දැනුම් දෙනු ලැබිය.

ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉතා සීඝ්‍ර ආර්ථික පිබීදීමකට අවශ්‍ය කරුණු සාකච්ඡා කර ඇති අතර එම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ දායකත්වය ඉතා ඉහළ වේ.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන බලශක්ති අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලිබල කර්මාන්තයෙහි නියාමන ආයතනය ලෙස 2011 වසරේ සිට විදුලි ජනන සැලසුම් රටට මෙන්ම රටෙහි බලශක්ති ප්‍රතිපත්තියට අනුකූල ලෙස අනුමත කරනු ලැබූ නමුත් 2015-2020 කාලය තුළ කිසිදු විදුලි බලාගාරයක් පද්ධතියට එකතු වී නොමැත. විදුලි ජනන සැලසුම් අනුමත කිරීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට පැවැරෙන අතර විදුලි බලාගාර ඉදිකිරීම සම්බන්ධ කාර්ය භාරයයන් ලංකා විදුලිබල මණ්ඩලයට පැවැරේ. එහෙත් රටට බරක් නොවන පරිදි නිසි කලට නිසි පරිදි විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය පියවර ගත යුතුව තිබීයදී එය එලෙස ක්‍රියාත්මක නොවන බවක් පෙනෙන්නට තිබේ.

විදුලිබල පද්ධතියට අවශ්‍යවන්නා වු බලාගාර වෙනුවට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා යම් යම් පාර්ශව විසින්, බලාගාර ඉදිකිරීම කූඨ උපක්‍රම මගින් ප්‍රමාද කරන බවටවන සැකයක් අප සේවක සංගමයට ඇති අතර ඔබ තුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි සඳහන් 70% ක් වන පුනර්ජනනීය බලශක්ති ජනනයට අදාළ ප්‍රතිපත්තිය පිළිගෙන ඒ අනුව කටයුතු කිරීමට ද මැලිකමක් දක්වන බව ද පෙනේ.

විදුලිබල කර්මාන්තයෙහි යහ පැවැත්මට මෙන්ම, ඒකාධිකාරී ස්වරූපයක් දරන කර්මාන්තයක් තුළ පාරිභෝගික සුබසිද්ධිය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා නියාමන ආයතනයක ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රබල පිටුවහලක් සපයනු ලබයි. මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙහි අවශ්‍යතාවය, විදුලිබල මණ්ඩලයෙහි ඉංජිනේරු සංගමය ද ඇතුළුව එහි වෘත්තීය සමිති ද අවධාරණය කර ඇති අතර මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත මගින් නියාමනයට ලක් කිරීමට හදුනාගෙන ඇති විදුලිබල, ජල සේවා හා ඛනිජතෙල් යන කර්මාන්ත තුනට අදාළ රජයේ ගරු අමාත්‍යවරුන්, ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් හා විශේෂයෙන්ම සමස්ථ විදුලි පාරිභෝගිකයින් ද නියාමන ආයතනයක් ලෙස එහි වැදගත්කම අවධාරණය කර ඇති වටපිටාවක මෙම කොමිෂන් සභාව වසා දැමීමට යම් බලවේගයක් ක්‍රියාත්මක වී ඇතැයි යන සාධාරණ සැකයක් අපට පවතී.

එසේ හෙයින් මෙම කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර, විදුලි බලාගාර නිසි ලෙස ඉදිනොවීම මත මතු වී ඇති මෙම අර්බුදය පිළිබඳව සාධාරණ විනිශ්චයක් කිරීම උදෙසා, මෙම අර්බුදයට සැබෑ වගකිව යුත්තන් කවුරුන් ද යන්න සොයාගැනීම අත්‍යවශ්‍ය වන බැවින් හා ජනාධිපති කොමිසමක් මගින් එම කරුණු අනාවරණය කර ගැනීමට හැකිවන බැවින් ද ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමන් ඉතා ඉක්මනින් ලබා දෙනු ඇතැයි අප සංගමය අපේක්ෂා කරයි. එමෙන්ම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම තුළින් සමස්ථ රටවාසී ජනතාව ජනාධිපතිතතුමන් වෙත තබන ලද විශ්වාසය තහවුරු වන බව ද අපගේ විශ්වාසයයි.

මෙම ප්‍රවෘත්ති නිවේදනය සදහා පූර්ණ මාධ්‍ය ආවරණයක් ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

 

සභාපති

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *