ඇඞ්වර්ටයිස් ෆර්ම් එකක් විදිහට ජ.වි.පෙ. ගොඩක් ඉස්සරහින් ඉන්නව – සර්පයා (කේ. කේ. සමන් කුමාර) සමග පිළිසඳරක්

 

2016.03.05 - K.Kඇඞ්වර්ටයිස් ෆර්ම් එකක් විදිහට ජ.වි.පෙ. ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඔවුන් නිර්මාණශීලීව, සැලසුම් සහගත ඉදිරිපත් කරන්නන්. ජ.වි.පෙ. පසුගිය කාලයේ රටේ දේශපාලනය උදෙසා යම් කාර්යභාරයක් කෙරුව. ඉන් එහාට දෙයක් කරන්න ඔවුන්ට ඉතිරිවෙලා නැහැ කියලයි මම හිතන්නෙ.  ඔවුන් සමාජ සාධාරණත්වය වෙනුවෙන්, ඒ සඳහා අවශ්‍ය වචන ටිට වෙනුවෙන් පෙනී සිටින එක පමණයි ජ.වි.පෙ. ට ඉතිරිවෙලා තියෙන්නෙ.

ඔබ කලා ලෝකයට පැමිණිලා  දශක හතරක් විතර වෙනවා. ග‍්‍රන්ථ කර්තෘවරයෙක්, මාධ්‍යවේදියෙක් වශයෙන් ක්‍ෂේත‍්‍ර කිහිපයක ඔබේ වපසරිය පුළුල් වෙනවා. ඔබ කලාකරුවකු වීම පිළිබඳව තෘප්තිමත් වෙනවද කියල මම ඇහුවොත්….?

‘‘තෘප්තිය කියන්නෙ මොකක්ද’’ එක මත තමයි එය රඳාපතවතින්නෙ. එහෙමත් නැත්නම් තමන් සොයන තෘප්තිය වෙන දෙයකින් ලබන්න පුළුවන්ද කියන එක මත තමයි උත්තරය රඳා පවතින්නෙ. එතකොට හිතන්න වෙනව, ‘‘පාරිභෝගික සමාජයේ වටිනාකම් අනුවද තමන් තෘප්තිමත් වෙන්නෙ?’’ කියන එක. මම නම් මේ ලැබුණ ජීවිතයට කැමතියි. මට මේ ජීවිතය හැර වෙනත් ජීවිතයක් ලැබුණ නම් මම කැමති නැතිවෙන්න පුළුවන්.

අද වෙන විට කලාකරුවන්ගෙ තෘප්තිය රඳා පවතින්නෙ සම්මාන එක්ක. නැත්නම් කලාකරුවෙකු වීම තුළින් ඇති කරගන්නා සමාජයේ ස්ථාපිත වීම මත. තමන් සමාජයේ නියෝජනය වන ආකාරය, තමන් ලබන තනතුරු අනුව. ඇතැම්විට ඇතැම් කලාකරුවන් තෘප්තිමත් වෙනව වෙන්න පුළුවන්. එයින් ගම්‍ය වෙන්නේ ඇතැමෙක් කලාව ඉනිමගක් කරගන්නව කියන එකයි. කලාව තමන්ට පිටින් තියෙන වෙන ව්‍යාපෘතියක්. තමන්ට යාගන්න බැරි තැන්වලට යන්න තියෙන ඉනිමගක්.

නමුත් කලාව කියන්නෙ එහෙම එකක් නෙමෙයි. කලාකරුවෙක් වෙනව කියල එකක් නැහැ. විදුලි කාර්මික විද්‍යාව ඉගෙන ගෙන විදුලි කාර්මිකයෙක් වෙනව වගේ කලාකරුවෙක් වෙන්න බැහැ. ප‍්‍රතිභාව උප්පත්තියෙන් ගේනවා කියන්නෙ එකද කියල හරියටම කියන්න මට බැහැ. සමාජ, දේශපාලන, වාතාවරණයක් එක්ක රටක තියන සාමුහික අවිඥානය විසින් තමයි කලාකරුවෙක් බිහි කරන්නෙ. තෘප්තිය කියන දෙය රඳාපවතින්නේ සමාජය පිළිගන්නා දේවල්වල නෙමෙයි. සමාජය පිළිගන්නා කිසිම දෙයක් කලාකරුවකු පිළිගන්නෙ නැහැ. සමාජය පිළිගන්නා දෙයට විරුද්ධව යන බලවේග, දේශපාලන ප‍්‍රවනතා, යක්‍ෂාවේෂ වෙච්ච, අවජාතක, අහිකුණ්ටික, ජීවිතයක් තමයි කලාකරුවෙකුගෙන් ප‍්‍රකාශ වෙන්නෙ. ඔහුගෙ තෘප්තිය කියන එක හරියට ‘‘ඔබ උපන්න එක ගැන ඔබ තෘප්තිමත්ද?’’ කියල අහනව වගේ. එහෙමත් නැත්නම් ‘‘ඔබ ජීවත්වෙන එක ගැන ඔබ තෘප්තිමත්ද?’’ කියල ඇහුවොත් මොකක්ද දෙන්න පුළුවන් උත්තරේ. ඉපදිලා ඉන්නවා. වගේම  කලාකරුවෙක් වෙලා ඉන්නවා. කලාකරුවෙක් තමන් තෘප්තිමත්ද නැද්ද කියල හිතන්නවත් අවශ්‍ය නැහැ. මොකද වෙන කෙනෙක් වෙන්න උත්සාහ කරනව නම්, ඔහු කලාකරුවෙක් නෙමෙයි.

මම දන්නවා කලා ලෝකෙ දක්‍ෂකම් දැක් වූ කලාකරුවන් කීපදෙනෙක් ව්‍යාපාරිකයන් වෙන්න ගිහින් කලාවත්, ව්‍යාපාරත් දෙකම අහිමිවෙලා අතරමං වෙලා ඉන්නව. ඔවුන් අතින් කලා නිර්මාණ කිරීමත් නතර වෙලා. අසාර්ථක ව්‍යාපාරිකයන් බවටත් පත්වෙලා.

ඔව්. එහෙම පිරිසක් ඉන්නවා. මම හිතන්නෙ ඔවුන්ට දෙකම නැතිවෙන්න එකක්වත් හරියට තිබුණෙ නැහැ කියල. ලබන්න ගිය එක නැතිවුනාට ප‍්‍රශ්නයක් නැහැ. එය ලැබෙන්නත් පුළුවන්. නැතිවෙන්නත් පුළුවන්. එය නැති වුනත් තමන් හිටිය කලාවවත් ඉතිරි වෙන්න  ඕනෙ. ඒකෙන් පෙනෙන්නේ ඔවුන් කලාකරුවන් වශයෙන් ඉඳලත් නැහැ කියන එක. අනික කලාකරුවන් කියන්නෙ කිසිවක් ලබාගන්නා මෙවලමක් නෙමේ. කලාකරුවා කියන්නේ ශ‍්‍රමණ වෘතයක් වගේ දෙයක්. (මම කියන්නෙ අද ඉන්න ශ‍්‍රමණයන් ගැන නෙමෙයි. අතීයේ එක අරමුණකින්  කැපවීමකින් තම අරමුණ කරා ගිය ශ‍්‍රමණයන් ගැන*

ඔබව සමාජයේ හඳුන්වන්නේ ඔබේ නමින් නෙමේ. ‘සර්පයා’ කියන නමින්. ඔබේ නම කිව්වොත් බොහෝ දෙනෙක් නොදන්නවා වෙන්න පුළුවන්. එහෙත් ‘සර්පයා’ කිව්ව ගමන් කලා ලෝකයේ බොහෝ දෙනෙක් ඔබව අඳුර ගන්නව. ඔබට ඒ නම පටබැඳුනෙ කොහොමද? කුමන වකවානුවෙද?

1984 දි මගෙ කෙටිකතා පොතක් එනව ‘‘සර්පයෙකු හා සටන් වැද’’ කියල, එම පොත නිකුත් වූවායින් පසුව මාව හැම තැනම ‘සර්පයා’ කියන නමින් හඳුන්වන්න ගන්නව. මම ඒ කාලෙ ‘දිවයින’ පුවත්පතේ නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කෙරුව. ස්ථිර විශේෂාංගයක් තිබුණෙ නැහැ. පල කිරීමට සුදුසුයි කියල මට හිතෙන එකක් ලියල, ගිහින් දෙනව. එතකොට මම පාසැලෙන් ඉවත්වුන ගමන්. මට ‘දිවයින’ හරහා පත්තර ලෝකයේ මිත‍්‍රයන් ඇති වෙනව. මේ කාලෙ මාව මිත‍්‍රයන් ‘සර්පයා’ කියල ආමන්ත‍්‍රණය කරන්න පටන් ගත්ත. ගුවන් විදුලි සංස්ථාවෙදි දවසක් සුනන්ද මහෙන්ද්‍ර මහතා සර්පයෙක් ගැන කතන්තදරයක් කිව්ව. ඊළ`ගට මට අලූතෙන් හමු වෙන මිත‍්‍රයන්ද සර්පයා කියන්න පටන් ගත්ත. එහි මගේ කෙටිකතාවේ නිමිත්ත තියනව. ඒ වගේම මගේ සාහිත්‍ය තුළ තියෙන අනුරාගය හා ලිංගිකත්වය එක පැත්තකින් සංකේතවත් වෙනව. ඒ නම ඉබේම මගෙ නමට වඩා මාව හඳුන්වන නාමය බවට පත් වුණා. ඇත්තෙන්ම අදටත් අතරම මගදි මට මගේ නම කියල කවුරුහරි කතාකෙරුවත් මට එය සන්නිවේදනය වෙන්නෙ නැතිතරම්. ඒත්  ‘සර්පයා’ කියල කිව්ව ගමන් මට ඒ කතා කෙරුවෙ මට බව දැනෙනව.

ලංකාවේ මාධ්‍ය භාවිතය පිළිබඳ වරින්වර ප‍්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවෙනව. නමුත් ඒ පිළිබඳව සංවාදයක් නොමැති තරම්. ලංකාවේ භාවිතා වන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය භාවිතය නිවැරදිව සිදුවෙනවද? එම මාධ්‍ය තුළින් ජනතාවට සංනිවේදනය වෙන්නේ නිවැරදි පණිවිඩයක්ද?

සංනිවේදන මාධ්‍යවලින් ජනතාවට සංනිවේදනය වෙන්නෙ ‘‘ජනතාවට අවශ්‍යදේද?’’ කියල ඇහුවොත්, මේ මාධ්‍යයයන්ට ඇලී ගැලී සිටින ජනතාවට නම් අවශ්‍ය දැනට පවතින මාධ්‍ය භාවිතය තමයි.  ජනතාවට හොඳ මාධ්‍ය සංනිවේදනයක් අවශ්‍යනම් ජනතාව හොඳ ප‍්‍රති ග‍්‍රාහකයන් පිරිසක් විය යුතුයි. අද ජනතාව තරම් දේශපාලඥයන් නරක නැහැ. ඔවුන් ජනතාව හොඳින් තේරුම් අරගෙන ජනතාවට දෙන්නෙත් ජනතාවට අවශ්‍ය දෙයයි. දේශපාලඥයන් නොයෙක් තක්කඩි වැඩ, කොමිස්, ගේම් ගහනව ඇති. මේ ජනතාව මේ පිළිබඳව දැනගත් විට විශ්මයට පත්වෙලා ඉන්නේ තමන්ටත් එහෙම කරන්න බැරිවීමේ වික්ෂොප්යෙන්. ජනතාවගෙන් 90% ක් ඇතුළෙම අප‍්‍රකාශිත දේශපාලඥයෙක් ඉන්නව. ඒක නිසා තමයි ඔවුන් තක්කඩින්, හොරුන් පාර්ලිමේන්තුවට යවන්නෙ. වැඩියෙන්ම තක්කඩි දේශපාලඥයන්ට තමයි වැඩියෙන්ම ඡුන්ද ලැබෙන්නෙ. වැඩියෙන් ¥ෂණය කරපු. වැඩියෙන් හොරාකාපු දේශපාලඥයන් තමයි මනාප ලැයිස්තුවෙ ඉහළින්ම වැජඹෙනනෙ.

බුදු දහම ගෙනියන්න ඉන්න එහෙත්, ජාවාරම්කාර හාමුදුරුවන්ට වැඳවැටෙන සමාජයක් ඇති වෙන්නෙ ජනතාවගේ දීන මානසිකත්වය නිසයි. අපි වැඳවැටිය යුත්තේ අපිට වඩා හොඳ පරමාදර්ශි චරිතයකට. අපි ගරු කළ යුත්තේ එවන් චරිතයකටයි. තක්කඩි දේශපාලඥයන්ටයි, ජාවාරම්කාර හාමුදුරුවරුන්ටයි ගෞරව කරන්න මිනිස්සුන් පෙළඹෙනව නම් ජනතාව ඊටත් වඩා විකාර තැනක ඉන්න  ඕනැ. ඊටත් වඩා කුජීත තැනක ඉන්න  ඕනැ. මනුෂ්‍යයන් හැටියට නෙමෙයි මම කියන්නෙ, මිනිසුන් හැටියට ඔවුන් ඉතාමත් සරල, සමාජයේ යථාර්ථය නොවැටහෙන පිරිසක්. නමුත් මතවාදීව, සවිඤ්ඤානකව ඔවුන් ඉතාමත් තක්කඩි රැුලක් අද ජනතාව. අපි දේශපාලනය කියන එක භාණ්ඩයක් වශයෙන් ගත්තොත් ජනතාව කියන්නෙ, එම භාණ්ඩය අලෙවි කරන්න නිර්මාණය කරපු වෙනම වෙළෙඳ පොළක්. එතෙන්දි ජනතාවට අවශ්‍ය දේ ඒකම තමයි. ඔවුන් දන්නෙ, පිළිගන්නෙ මාධ්‍යයෙන් කියපු දේ සහ පූජක පක්‍ෂය විසින් කියන ලද දේයි.  ජනතාවට තමන් ඉන්න තැන ඉඳල හිතන, තමන්ගෙ කියල දෙයක් නැහැ.

දැන් විකාශය වෙන ටෙලි නාට්‍යයයි, ප‍්‍රවෘත්ති විකාශනටිකයි, දේශපාලඥයන්ගෙ වාදටිකයි අහල තම මතවාදය ඒ අනුව නිර්මාණය කරගත්ත ජනතාවක් තමයි අද ඉන්නෙ. මාධ්‍යය හිතන්න  ඕනැ ජනතාවට  ඕන මොකක්ද කියන එක නෙමයි. සමාජයේ ඉදිරි දැක්මකට අවශ්‍ය, මානව සංහතියේ ඉදිරි ගමනකට අවශ්‍ය මොනවද කියන එකයි. අද මාධ්‍ය එහෙම ස්ථාවරයක කිසිසේත්ම නැහැ. සියලූම මාධ්‍ය පිටුපස තියෙන්නෙ කළු සල්ලි. මාධ්‍ය කියන්නෙ කුජීත වෙළෙඳ පොළක්. රේස් සල්ලි, කුඩු සල්ලි එහෙමත් නැත්නම් ආදායම් බදු වලින් බේරෙන්න වියදම් කරන කළු සල්ලි සහ හොරකම් කරන ලද සල්ලි තමයි අද මාධ්‍ය පසුපස්සෙ තියෙන්නෙ. මාධ්‍යයට තියන ලැදියාව නිසා මාධ්‍ය ආයතනවලට ආව පිරිසට බඩවියත රැුකගන්න, උන්ගෙ සල්ලිවලින් ජීවත්වෙන්න සිද්ධ වෙලා තියෙනව.

ඒ එක්කම මාධ්‍යකරුවන් වරප‍්‍රසාධිත තත්ත්වයක් ගොඩනගාගෙන තියෙනව. ‘ප්‍රෙස්’ ලේබල් එකට, ‘මීඩියා අයි.ඞී.’ එකට වෙනම වරප‍්‍රසාදයක් ලබාගෙන තියෙනව. මාධ්‍ය කියන දේ යම්කිසි විදිහකින් නැතිවුනා කියල හිතමු. එදාට මාධ්‍යකරුවන් කියල ඉහළින් හිතා ඉන්න අයට සමාජය ඉදිරියේ කරකියාගන්න දෙයක් නැති වෙනව. මාධ්‍ය කියල හදල තියෙන බලය උඩ තමයි මොකුත්ම කරගන්න බැරි මිනිස්සු රැුඳිල ඉන්නෙ. ඔවුන් ඇතුළෙ ඇති සාරයක් නැහැ. ඔවුන් මාධ්‍යයට එනකොට තිබුණ සාරයත්, මාධ්‍යය තුළට ඇවිත් විනාශ කරගෙන. මාධ්‍ය අද කරන්නෙ විනෝදාශ්වාද සංස්කෘතිය තුළ, එයට අනුගත වූ මිනිසුන්ට රාගයත්, මුඛරිකමත් අලෙවි කිරීමයි. තනිකරම වෙළඳ ප‍්‍රචාරණයක් සිදුවෙන්නෙ. අපි කඬේකට ගිහින් ඇඳුමක් ගන්න බැලූවොත්, ඒ කඬේ තියෙන්නෙත් ඉන්දියන් ටෙලි නාට්‍යවල ශිල්පීන් අඳින ඇඳුම් විලාශිතාවන්. වෙළඳාමෙන් තොර කිසිම දෙයක් මාධ්‍ය තුළ නැහැ. මේ සමාජයට ඉතාම කුජීතු බලපෑමක් මාධ්‍ය මගින් කරනව.

අද සමාජයේ විවාහ බිඳ වැටීම් සීග‍්‍රයෙන් සිද්ධ වෙනව. අද මාස දෙකෙන් තුනෙන් අලූත විවාහක ජෝඩු දික්කසාද වෙනව. ඒ වේගය, රැුල්ල නැවත මොනව කරලවත් ආපහු හරවන්න බැරි තත්ත්වයකට මුහුකුරා ගිහිල්ලා. ලිංගික නිදහසක් නව මාධ්‍ය සංස්කෘතිය තුළින් ඇතිවෙලා තියනව කියල කිව්වත් එහෙම දෙයක් වෙලා නැහැ. එහෙම වෙලා තියෙනව නම් මම අගේ කරනව. අද තියෙන්නෙ, එකිනෙකා රවට්ටන, ගේම් ගහන මාධ්‍යයක්. අද ලිංගි තෘප්තියත් ගනුදෙනුවක් බවට පත්කරගෙන තියෙනව. මේ සියල්ලට මාධ්‍යය වගකිවය යුතුයි.

මිනිසා තුළ මනුෂ්‍යත්වය කියන කිසිදු සාරයක් නැති තත්ත්වයකට පසුගිය දශක කිහිපය තුළ පත්කිරීම ගැන මේ විද්‍යුත් මාධ්‍ය සංස්කෘතිය වග කියන්න  ඕන. මේ මාධ්‍යකරුවන් මාධ්‍යය කරන්නෙ නැතුව කාර්මික විද්‍යාලයකින් වෘත්තිය පුහුණුවක් ලබලා විදුලි කාර්මික, වැද්දුම් ශිල්පි වගේ වෙනත් රැුකියාවක් කෙරුව නම්, ඔවුන්  රටට කරන විශාල සේවයක් කරන පිරිසක් වෙනව. ඔවුන් මේ කරන දේවල්වලින් තමන්ගෙ දරුවන් ඇතුළු ඊළ`ග පරම්පරාව විනාශ කිරීමක් ඔවුන් සිදු වෙමින් තියනව. අධ්‍යාත්මය විනාශ කරන මුදලින් තමයි ඔවුන් තමන්ගෙ අඹුදරුවන්ට කන්න දෙන්නෙ. මේක මහ කුජීතු මාධ්‍ය සංස්කෘතියක්.

මේ හැම අවුලකට දොස් අහන්න වෙන්නේ 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් ගෙනෙන ලද විවෘත ආර්ථිකයට. කුඩු සංස්කෘතිය, තුප්පහි සංගීතය මේ හැම දෙයකම මුල විවෘත ආර්ථිකය ලෙසයි බොහෝ දෙනෙක් දකින්නෙ. එහි සත්‍යයක් තියනවද? ඇත්තෙන්ම එතනද හැරවුම් ලක්‍ෂය. එය සත්‍යය නම් අද වනතුරු එයින් මිදෙන්න, එය වෙනස් කරන්න බැරි වුනේ ඇයි?

ලෝක ප‍්‍රවනතාවලින් අපි කාටවත් මිදෙන්න බැහැ. අපි දේශපාලනයෙදි හිතනවා අපිට අහවල් ආණ්ඩුව හොඳ නැති නිසා අපි ඡුන්දෙ දීල අහවල් ආණ්ඩුව පෙරලූවා කියල. ඇත්ත තත්ත්වය ඒක නෙමෙයි. ලෝක දේශපාලනයෙ න්‍යාය පත‍්‍රයක් අනුව එය සිද්ධ වීමයි. ජනතාවගේ කැමැත්ත නිර්මාණය කරන්නෙ ලෝක දේශපාලන න්‍යාය පත‍්‍රයකට අනුවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකව, සී.අයි.ඒ එක, රෝ ඔත්තු සේවය තමයි මේ න්‍යාය පත‍්‍ර හදන්නෙ. මේව කෙරෙන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ කිව්ව වගේ ඍජු ඔත්තු කාරයො දාලා, සල්ලි දීලා නෙමයි. ඒව නිර්මාණශීලීව කාටත් නොදැනි සිද්ධ වෙනව. ඒ ඉතාම සියුම් ආකාරයකට. හැම රටක්ම ලෝක දේශපාලන න්‍යායපත‍්‍රයකට  දැනුවත්ව හෝ නොදැනුවත් අනුගත වෙලා කටයුතු කරනව. ‘‘රටේ පාලකයා තනතුරෙන් පහ කළ යුතුද?’’ කියන එක තීන්දු කරන්නෙ රටේ ජනතාව නෙමේ තීන්දු කරන්නෙ. කලින් පත් වූ නායකයත් අපි තීන්දු කරල පත් කරපු කෙනෙක් නෙමේ.
1977 දි කඩා වදින්නෙ ලෝක ප‍්‍රවනතාවක්. රොනල්ඞ් රේගන්, තැචර්, ජේ.ආර්. ජයවර්ධන මේ තුන්දෙනා එකම දේශපාලන න්‍යායපත‍්‍රයක් තමයි ප‍්‍රකාශයට පත් කෙරුවෙ. ජේ.ආර්. ‘‘සාහිත්‍ය කන්නද?’’ කියල අහන්නෙ බඩක් තියන මිනිසුගෙන් පිරි සමාජයක් ඇති කිරීමේ අවශ්‍යතාවය මත. තැචර් යකඩ ගැහැනිය වෙන්නෙ ඇයි. සම්පූර්ණයෙන්ම වාමාංශික ව්‍යාපාරය අවසන් කළ නිසා. ඇය කියන්නෙ සමාජය කියල දෙයක් නැහැ. තියෙන්නෙ පවුල් සමූහයක් කියලයි. අපි අද කල් ගෙවන්නේ ඒ පවුල් ටිකක් විතරක් තියන සමාජයක. රේගන් කම්කරු පන්තිය ගැන කියන්නෙත් එහෙම. මේ සියල්ල එකම න්‍යාය පත‍්‍රයක්. මේ සියල්ල සමාජ කඳවුර බිඳ වැට්ටවීමේ න්‍යාය පත‍්‍රයක දිගු කාලසටහනක් අනුව සිදු වූ ක‍්‍රියාදාමයක්.
තාක්‍ෂණය විසින් නූතන සමාජය ගිලගෙන තියෙනව කියන එක පිළිගන්නවද?

1977 ගෙනාපු තාක්‍ෂණය තමයි අපි අද වඳුරො වගේ ඒ මේ අත හරවා හරවා බලන්නෙ. අපි තාමත් වඳුරු පැටවු වගේ මේ තාක්‍ෂණය අතපත ගානව. ටෙලිවිෂන් එක, සුපර් මාකට්, හයි වේ වගේ තාක්‍ෂණයක් තමයි අපි වඳුරට අවුන දැලි පිහියවගේ ඒ මේ අත පෙරළමින් බල බල අපි විසින්ම අපිව කපා ගන්නෙ.

තාක්‍ෂණය ජනතාවගේ ජීවිතය පහසු කරල තියෙනව කියල පිළිගන්න බැරිද?

ජනතාවගේ ජීවිතය පහසු කරල තියෙනව, පහසු කරල මොකක්ද කරල තියෙන්නෙ? ඔය පහසු වෙලා ඉතිරි වූ කාලය මොහොකටද යොදවල තියෙන්නෙ? තාක්‍ෂණයෙන් මිනිස්සු ළං කරන්න  ඕන, මානුෂික සම්බන්ධතාවන් ගොඩනගන්න. නමුත් කරල තියෙන්නෙ මොකක්ද? ගෙදර ඉන්න මිනිස්සු අතරත් සන්නිවේදනය අද බිඳවැටිල. බිරිඳයි සැමියයි දැන් හමුවෙන්නෙ ෆේස් බුක් එක හරහා. කෑම මේසෙදි, සාලයෙදි මධ්‍යම පන්තිය කථා කරපු එක අද බිඳ වැටිල. අද සියලූම මානව සම්බන්ධතා බිඳ වැටිල. මේක කාගේ අවශ්‍ය තාවයක්ද? මිනිස්සු හුදකලා කරල, මිනිස් සම්බන්ධතා බිඳවට්ටලා ව්‍යාජ මිනිස් සම්බන්ධතා බිඳ වට්ටලා, කෘතිම සමාජ සම්බන්ධතා නිර්මාණය කරල අවසන්. ඔය තාක්‍ෂණය හරහා ආදරයවත්, මානව සම්බන්ධතාවත් ගොඩ නැගිල නැහැ. සෙල්ෆි එකට, අප් ලෝඞ් කරන ඡුායාරූපයකට අද සම්බන්ධතා කෘතිමව ගොඩනැගිල. මේ පාරිභෝගික තාක්‍ෂණ ධනවාදයේ අවශ්‍යතාවය.

මේ තාක්‍ෂණ ධනවාදය විසින් සියලූම මානුෂික හරයන් විනාශ කරල තියෙනව. මේකෙන් හොඳ දේවලූත් සිද්ධ වෙනව. කන්‍යාභාවය කියන දෙය මත කරන අගය ඉදිරියෙදි හොයන්නවත් නැති වෙනව. දැන් රුපියල් 2000/- කට වගේ කන්‍යාභාවය බද්ධ කරන්න හැකියාවක් තියෙනව. ඉදිරයේදී කවුරු විරුද්ධ වුනත් ගබ්සාව නීතිගත කරන්න සිද්ධ වෙනව. මෙය මතවාදීව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එකිනෙකා ගැන වගකීමක් නැති, මිනිස් සම්බන්ධතාවක් නැති සමාජයක් ඇතුළෙ මේ වගේ දේවල් සිද්ධ වෙනව.  එයින් නැගෙන ආතතිය, මානව සම්බන්ධතාවයක් නැති කම, ගෙදර සාමූහික කමක් නැති එක බැඳීමක් නැති සමාජයක් නිර්මාණය කරල. අද බස් එකේ යන කොට ළ`ග අසුනෙ ඉන්න කෙනා එක්ක අද අදහස් හුවමාරු කරගන්න විදිහක් නැහැ. ඔහු ඉන්නේ මහ පොළොවෙ නෙමේ අන්තර්ජාලයෙ. අපිට අද සාරධර්ම කියල ඉතිරි වෙලා තියෙනනෙ මානවීය සාරධර්ම නෙමෙයි. අපිට ඉතුරුවෙලා තියෙන්නෙ ගතානුගතික ආගමික මතවාද. එයට අනුව නම් අපි හරිම සාර්ධර්ම රකින පිරිසක්. අපි එය රකිනව. ඊළ`ග පරම්පරාව වෙනකොට මේ රට පිස්සන් කොටුවක් බවට පත්වෙනව.

60 දසකය පුරාත්, 70 දශකයේ මුල් භාගයේදී අපිට හොඳ සිනමාවක් තිබුණා. පතිරාජා, වසන්ත, ධම_සිරි, සෙනරත් යාපා, විජය ධමී ශ‍්‍රී වගේ නිර්මාණාත්මක පරපුරක් එම යුගයේ ඉතාම ප‍්‍රසස්ත මට්ටමේ සිනමා නිර්මාණ කෙරුව. සංගීතය පැතතෙන් නන්දා මාලනී, මාලනී බුලත්සිංහල, ටී.එම්. ජයරත්න, වික්ටර්, සුනිල් වගේ ගායක පරපුරක් ප‍්‍රබුද්ධ ගීත තුළින් මතු වෙනවා. සුගතපාල ද සිල්වා, ධර්මසිරි බණ්ඩාරනායක, ආර්. ආර්. සමරකොන්, පේ‍්‍රමරංජිත් තිලකරත්න, ජයලත් මනෝරත්න ප‍්‍රබුද්ධ නාට්‍ය වේදිකාවට ගේනව. ගතානුගතික සංගීතයේ නිම්වළලූ පුළුල් කරමින් පේ‍්‍රමසිරි කේමදාසයන් කැන්ටටා, සංධවනි නිර්මාණය කරනව. සේකරගෙ, පේ‍්‍රමකීර්තිගෙ, සුනිල්ගෙ පෑන් තුඩින් ප‍්‍රබුද්ධ ගී පදමලා ගලා එනව. එදිරිවීර සරච්චන්ද්‍ර නොරිකෝ සං, ද්වෙන්දරා සං ව අපිට හඳුන්වල දෙනව. කරුණාසේන ජයලත් ගෙ දම්මි, සුගත් අපේ ජීවිතවලට ආරූඪ වෙනව. ඒ ආව ප‍්‍රබුද්ධ රැුල්ලට මොකද වුනේ? අද ඒ රැුල්ල කොතනද නතර වෙලා තියෙන්නෙ?

ධනේශ්වර සමාජයේ නිර්මාණයක් තමයි විනෝදාස්වාදන මාධ්‍ය  සංස්කෘතිය. අපේ නාට්‍ය කලාව, ප‍්‍රබුද්ධ චින්තන ධාරාව ඇකිලූනේ ඒ තුළින්. ඒය ම අද යුරෝපයේ සිද්ධවේගෙන යනව. අද යුරෝපයේ නාට්‍ය රංගශාලා පවත්වාගෙන යන්න බැරි තත්ත්වයකට පත්වෙලා. නාට්‍ය ශාලා පේ‍්‍රක්‍ෂකයන්ගෙන් හිස්වෙලා. රසවින්දනයෙන් මිනිස්සු ඈත්වේගන යනව.
කෘතිම, ප්ලාස්ටික් වෙච්ච පරම්පරාවකට කරන්න පුළුවන් නිර්මාණත්, විඳින්න පුළුවන් නිර්මාණත් තමයි අද එළියට එන්නෙ? ඒ ගොල්ලන්ට එක කලාව තමයි. ඒ තුළත් හොඳ නිර්මාණ නැත්තෙ නැහැ. හොඳ නිර්මාණයක් කරන්න  ඕන කමක් ඇති වුණත් අද කරන්න බැහැ. අද ගීතයක කරව කියන්නෙ විශාල ආයෝජනයක්. ඒක කරන්නත්  ඕන වෙළෙඳ පොළක් බලාගෙන. ගීතයක් නම් රි`ගින් ටොන්ස් වලට දාන්න පුළුවන්ද කියල හිතන්න  ඕනෙ. ඒක බලාගෙන තමයි නිර්මාණ කරන්න සිද්ධ වෙන්නෙ.

අදත් දක්‍ෂයො ඉන්ව. දැනෙන අය ඉන්නව. ඊට කලින් අපි බලන්න  ඕනෙ අපිට කලාව නැති වුනේ ඇයි? අපිට හොඳ නාට්‍ය බලන පන්තිය නැති වුනේ ඇයි? ඇත්තටම සමාභාව්‍ය කලාව රස විඳින්න පිරිසක් අපිට හිටිය 70 වට කලින්. නිදහස ලබල, ඉතා කෙටිකාලයක් ඇතුළත ලංකාවේ කලාව යන්න පුළුවන් ඉහළම තැනට ගියා කියල කියන්න පුළුවන්. ඒකට ඉන්දියානු ආභාෂය ලැබුනා. බටහිර ආභාෂය ආවා. අපිට ද්විභාෂිත බුද්ධිමතුන් හිටිය. ඒ භාෂා දෙකෙන් උගත් පරම්පරාවල් හිටිය. ද්වි භාෂිත අධ්‍යාපනය නැති වුනාට පස්සෙ, අපිට බටහිර දැනුම ගලා එන එකත් නැති වුනා. ෂට් භාෂා පරම්ෂ්වරල, නැති වුනාට පස්සෙ, පාලි භාෂාව පාසැල්වල උගන්වන එක නැති වුනාට පස්සෙ, ඒ පැත්තෙන් ආව දැනුමත් නැතිව ගියා. භරතමුණිගෙ පොතක් පරිවර්තනය කරල තිබ්බොත්, ඉන්දියන් රසවාදය පරිවර්තනය කරල තිබුණොත්, ඒක ආයුරුවේද බෙහෙත් තෙල් වල නම් වගේ තත්ත්වයක් ඇති වුනා. ඒක අවුල් සහගත තත්ත්වයක්. ලංකාව නූතනකරණය වුනේ පාරිභෝගිකවාදයත් එක්ක.

අධ්‍යාත්මයවත්, මතවාදයවත්, දර්ශනයවත්, කලාවවත් නූතන කරණය වුනේ නැහැ. මේ ප‍්‍රශ්නය තිබුණා. 70 ව දශකය පුරා ඉතාම නිහීන රැුල්ලක් ඇති වුනා. 70 දශකය අවසන් වෙන කොට ජේ.ආර්.ගෙ ආගමනයත් සමගම විවෘත ආර්ථිකය, තාක්‍ෂණ ධනවාදය, ගෝලීය කරණය ඇති වෙනව. විශේෂයෙන්ම මේ ව්‍යාජ දේශපාලනයත් සමග එන්නේ පාදඩ දේශපාලන වාතාවරණයක්. ඊට පෙර තිබුණෙ අත්තෝනෝමතික පාදඩ දේශපාලනයක් නෙමෙයි. යම් යම් පාදඩකම් දේශපාලනය තුළ තිබුණ. වමේ ගත්තත්, දකුණෙ ගත්තත්  ඞී. එස්. ල, ඩඞ්ලි ල, ඇන්. ඇම්. ල ගෙ ශික්‍ෂණයක්, විනයක් තිබුණ. ඔවුන් අතින් වැරදි වුනේ නැහැ කියල කියන්නෙ නැහැ. දේශපාලනය තුළ සටකපට වැඩ කෙරුව. ඔවුන් මේ තරම් නිර්ලජිතව, මේ තරම් කොල්ල කාරී විදිහට කටයුතු කෙරුවෙ නැහැ. අන්තිමට පාදඩ දේශපාලනයක් ඇවිල්ල රට අරක්ගත්ත. මර්වින් සිල්වා එක් සංඛේතයක් විතරයි. එතන ඉඳල මර්වින් පැටවු ගොඩක් ඉන්න තැනකට දේශපාලනය තල්ලූ වුනා. වමත් එතෙන්ඩ ගියා. මානව හිමිකම් කතා කරන මිනිස්සුත් එතෙන්ඩ ගියා.

මේ දේශපාලනය තුළ ඇකිලිලා ගිය පන්තියක් තියනව. ඒ පන්තිය තමයි, කලාවට අනුග‍්‍රහය දැක්වුවෙ. සම්භාව්‍ය මධ්‍යම පන්තිය සහ උගත් මධ්‍යම පන්තිය, සම්ප‍්‍රධායික මධ්‍යම පන්තිය ඇකිලිලා ගියාට පස්සෙ  කලාව රසවිඳින පිරිස නැතිව ගියා. ඉන්පසුව තමයි මේ හරසුන් බොල් කලාව එන්න පටන් ගත්තෙ.

මේක කවුරු වෙනස් කරයි කියලද අපි බලාපොරොත්තු වෙන්නෙ?

මේ තත්ත්වය, මේ ක‍්‍රමය තුළම ඇතිවෙන හැල හැප්පීමකින් ඇති වෙනව මිසක් අපිට වෙනස් කිරීමක් කරන්න බැහැ. මේ දේශපාලන සංස්කෘතිය වාමාංශය ගොදුරු කරගන්නව, කලාකරුවන් ගොදුරු කරගන්නව. සමාජයේ ඉදිරිගමනට දායක වෙන සියලූ බලවේග පරාජය කරනව. මේක විශාල දේශපාලන න්‍යායපත‍්‍රයක්. ඒකට දේශපාලඥයන් හා කලාකරුවන් අහුවෙනව. ජනතාවත් අහුවෙලා. නිර්ධන පංතිය බෙල්ල මුලින්ම අහුවෙලා.

පසුගිය වසරේ (2015* ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා බලයෙන් පහකර යහ පාළනය සඳහා මෛත‍්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති තනතුරට පත්කර ගැනීම දෙවන නිදහස් අරගලය වශයෙන් ඇතැම් පුද්ගලයන් හැඳින්වුවා. නැත්නම් එසේ උද්දාමයට පත්වුනා. ඇත්තටම එම සංසිද්ධිය දෙවන නිදහස් අරගලය වශයෙන් හඳුන්වන්න පුළුවන්ද?

එක එක කරත්තවල නැග්ග උදවිය තමන් නැග්ග කරත්තෙ ගැන වර්ණනා කරනව. මම නම් ඔය කිසිම කරත්තයකට ගොඩවෙලත් නැහැ. ගොඩවෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. නමුත් මමත් කලින් පැවතුන ක‍්‍රමය වෙනස් වියයුතුයි කියන තැන හිටිය.

ධනේශ්වර ක‍්‍රමය වෙනස් වෙන්නෙ නැහැ. ඒක පැහැදිලිව පෙනෙනව. මේ සියල්ල කරන්නෙ ධනේශ්වරය. එක පාලකයෙක්ගෙ භාවිතය හරි නොයන විට තවත් පාලකයෙක් ගෙන එන තැනට ඔවුන් වැඩකටයුතු කරනව. සිරිමාවොගෙ මුහුණ ජේ.ආර්.ගෙ මුහුණට හැරෙනව. ජේ. ආර්. ගෙන් පස්සෙ, පේ‍්‍රමදාසගෙ මුහුණට හැරෙනව. ඊට පස්සෙ ඞී.බි. විජේතුංග, චන්ද්‍රිකා, මහින්ද, මෛත‍්‍රී එකම ක‍්‍රමයක මුහුණු වෙනස් වෙනව. හැබැයි කලින් තිබුණ වෙස් මුහුණට වැඩිය මේ මුහුණ හොඳයි. කලින් වෙස් මුහුණ තුළ තිබුණෙ ලෝක ධනේශ්වරවාදය තුළින් අත්හදා බලන ලද, අන්තිම ජඩම වෙස් මුහුණ.

ජේ.ආර්. ක‍්‍රියාත්මක කෙරුවෙ සිරිමාවොගෙ මහවැලිය. ඇත්තෙන්ම මේකෙ මුල ඞී.එස්. යුගයට අයිති වෙනව. එයින් රටම පාරිසරික අර්බූදයකට ගියා. මවැලිය උතුරට හරවන්න පුළුවන් වුනා නම්, මේ යුද්ධය ඇති නොවෙන්නත් තිබුණ. එක එක්කෙනාගේ පෟද්ගලික දේශපාලන අරමුණුවලින් තමයි රට දුක්වින්දෙ.

හැම තිස්සෙම ඒකාධිපති ප‍්‍රචණ්ඩ රජයකට පස්සෙ ඒ තත්ත්වය සමනය කරන්න ඊට වෙනස් එකක් එනව. මහින්ද රාජපක්‍ෂ එන්නෙ මානව හිමිකම් වෙනුවෙන්. ඔහු නතර වෙන්නෙ මානව හිමිකම් ගැන කතාකරන්නවත් ඉඩක් නැති තත්ත්වයක් නිර්මාණය කරල. ඒ වචනෙටවත් අර්ථයක් නැති තැනකට පත්වෙනව. ඒක හරියන්නෙ නැති වෙනකොට වෙනත් මුහුණක් ආදේශ කරනව. මේ එකම මෙනූ එක තමයි දිගටම ක‍්‍රියාත්මක වෙන්නෙ. මොනව කෙරුවත් සමස්ථ ධනේශ්වර ක‍්‍රමය වෙනස් වෙන්නෙ නැහැ. මේ ඞීල් එක ක‍්‍රියාත්මක කරන්න චණ්ඩියෙක් එනවට වැඩිය කතා බහ කරල ඞීල් එකක් දාන්න පුළුවන් මිනිහෙක් එන එක හොඳයි.

හැම මැතිවරණයකදිම අපිට මතුපිටින් පෙනෙන්න තියනව ජනතා විමුක්ති පෙරමුණට ලොකු බලයක් තියනව කියල. එහෙත් මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙනකොට තියෙන්නෙ බලාපොරොත්තු වූ තත්ත්වය නෙමෙයි.

ඇඞ්වර්ටයිස් ෆර්ම් එකක් විදිහට ජ.වි.පෙ. ගොඩක් ඉස්සරහින් ඉන්නව. ඔවුන් නිර්මාණශීලීව, සැලසුම් සහගත ඉදිරිපත් කරන්නන්. ජ.වි.පෙ. පසුගිය කාලයේ රටේ දේශපාලනය උදෙසා යම් කාර්යභාරයක් කෙරුව. ඉන් එහාට දෙයක් කරන්න ඔවුන්ට ඉතිරිවෙලා නැහැ කියලයි මම හිතන්නෙ.  ඔවුන් සමාජ සාධාරණත්වය වෙනුවෙන්, ඒ සඳහා අවශ්‍ය වචන ටිට වෙනුවෙන් පෙනී සිටින එක පමණයි ජ.වි.පෙ. ට ඉතිරිවෙලා තියෙන්නෙ. වෙන දෙයක් කරන්න ඔවුන්ට පසුබිමක් මේ දේශපාලන රටාව තුළ නැහැ.

අද මාක්ස්වාදය ගෙනල්ල විප්ලව කරන්න බැහැ. ඉදිරියට කරන්න පුළුවන් වෙයි. අද කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ වගේ විරෝධතා තමයි. අඩු ගණනේ සමාජ වාදියෙක් නමටවත් සිටිය යුතුයි. කෑ ගසා, විරෝධය දක්වා අපිට නැති වෙන්න යන අයිතිවාසිකම් ටික රැුකගන්නවත් පිරිසක් සිටිය යුතුයි. ජනතාවට සිය ඉල්ලීම් ලබා දීමට පිරිසක් සිටිය යුතුයි. ජ.වි.පෙ. ත් නැත්නම් එහෙම කෑගහන්නවත් කෙනෙක් නැහැ. ඒ කොටස තමයි ඔවුන්ට කරන්න තියෙන්නෙ ඒකත් නැත්නම් ජ.වි.පෙ. කියන්නේ ප‍්‍රචාරක ආයතනයක් පමණයි.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *